2017 ජුලි 22 වන සෙනසුරාදා

අපේ පිනෝකියෝලා

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

යහළුවෝ දෙදෙනෙක් ඔරුවක නැගී ගඟකින් එතෙර වන්නට පටන් ගත්හ. ගඟ මැදට ළං වෙද්දී ඔරු පත්ලේ සිදුරකින් ඇතුළට වතුර පිරෙන්නට විය. ඔරුව ගිලෙන්නට යන බව දැනගත් එක් යහළුවෙක් දෙවියන්ට භාරහාර වෙමින් මෙසේ කීවේය.

“අනේ දෙවියනේ, අපිට විපතක් නොවී ගඟෙන් එතෙර වන්නට උපකාර කළ මැනවි. එයට කෘතගුණ සළකනු පිණිස ඔබ වහන්සේගේ දේවාලයට මල් පහන් සුවඳ දුම් පුදා පූජා වට්ටියක්ද පිරිනැමීමට කටයුතු කරන්නෙමි”.

අනෙක් යහළුවාද දෑත් එක්කොට අහස දෙස බලමින් මෙසේ පවසන්නට විය.

“අනේ දෙවියනේ අපේ ජීවිත ගලවා දුනහොත් ඔබවහන්සේට දේවාලයට ඇතෙක් බරට රත්තරන්ද, මිණි මුතු යොදා සකස් කළ රිදී කගහතක්ද පූජා කිරීමට බාර වන්නෙමි”.

ඒ ඇසූ පළමු යහළුවා තම සගයා දෙස පුදුමයෙන් බැලුවේය.

“යාළුවා තමුසෙ මරු විකාරෙන්ද දොඩවන්නේ? ඔය කියන දේවල් කරන්ඩ රිදි, රත්තන් තියා තඹ දොයිතුවක්වත් අපිට තියෙන එකක්යැ?”

දෙවැනි යහළුවා සරදම් සිනාවක් පාමින් මෙසේ පිළිතුරු දුන්නේය.

“ඒ පොරොන්දු ගඟෙන් එගොඩවෙනකල් විතරයි යාළුවා”

මෑතකදී මේ “සිනා කතාව” කියා තිබුණේ අපේ රටේ හිටපු ප්‍රබලතම දේශපාලනඥයෙකි. එතුමාගේ කටේ රත්තරන් දැමිය යුතුය.

ලංකාවේ “පොරොන්දු දේශපාලනයත්” අර දෙවෙනි යාළුවාගේ බාරහාරවීමට සමානය. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ලය. ගඟ මැදදි කියන කතා එතෙර වූ පසු කාටත් අමතකය.

බාර ඔප්පු නොකළ විට දෙවියන් කෝප වෙතැයි විශ්වාසයක්ද ඇති නිසා බොහෝ දෙනා ඊට බිය වෙති. පොරොන්දු ඉෂ්ට නොකළ විට ජනතාවද කෝප වෙන නමුදු දේශපාලකයින් ජනතාවට බය නොවන නිසා ප්‍රශ්නයක් පැන නොගනී. තොග පිටින් පොරොන්දු දෙති. ඉටු නොකිරීම පිළිබඳව කන්ටේනර් ගණන් බොරු හේතු කියති. 

ලංකාවට පැමිණි විදේශීය සංචාරකයෙක් ආපසු සිය රටට ගොස් මෙරට ඉංග්‍රීසි පුවත්පතකට එවූ ලිපියක සඳහන් වූ රසවත් කියුමක් මගේ මතකයට නැගෙයි. 

“ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ හොඳ ලක්ෂණයක් වන්නේ සියල්ලන්ම වාගේ අත් ඔරලෝසුවක් පැළදීමය. එහෙත් පුදුමයට කාරණය වන්නේ ඒ කිසිම කෙනෙක් වෙලාවට වැඩ නොකිරීමය”.

ශ්‍රී ලංකාවේ සංචාරයෙන් පසු තම අත්දැකීම් විස්තර කළ තවත් සංචාරකයෙක් මෙසේ ලියා තිබුණි.

“ඉන්දියාව හා සසඳන කල ශ්‍රී ලංකාව පිරිසිදුය. පාකිස්ථානය හා සසඳන කල ශ්‍රී ලාංකිකයා අවංකය. එහෙත් ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ ඉන්දියාවත් පාකිස්ථානයත් පරාජය කිරීමටය”.

කලකට පෙර ඉංග්‍රීසි තීරු ලිපි රචකයෙකු තම ලියවිල්ලක මෙසේ සඳහන් කර තිබුණි. 

ශ්‍රී ලංකාව කරුණු තුනකට ලෝක ප්‍රසිද්ධය.

එක - ක්‍රිකට් ක්‍රීඩාවටය

දෙක - ත්‍රස්තවාදයටය

තුන - ඇත්ත සේ පෙනෙන අමූලික බොරු කීමටය

ඇත්තට, ඇත්තටම අගයක් නැති සමාජයක බොරුව ඇත්ත බවට පත්වෙයි. හිට්ලර්ගේ නාසි පර්මනියේ ප්‍රචාරණ ඇමතිවරයා වූ ජෝශප් ගොබෙල්ස්ගේ මතය හා ක්‍රමය වුයේද ඇත්ත වෙනුවට බොරුව ප්‍රචාරය කිරීමය. දිගින් දිගටම බොරුව ගෙනියන විට එය ඇත්තකැයි ජනතාව පිළිගන්නා බව ඔහු හිට්ලර්ටද ඒත්තු ගැන්වුයේය. වර්තමානයේ පවා සන්නිවේදන හා දේශපාලන ක්ෂේත්‍රවල ගොබෙල්ස් න්‍යාය ලෙස හැඳන්වෙන්නේ එකී පච ප්‍රචාරණයයි. ඒ ගොබෙල්ස් අද ජීවතුන් අතර නැතත් වෙනත් ගොබෙල්ස්ලා ලෝකය පුරාම අමාත්‍ය මණ්ඩලවල දක්නට ලැබෙයි.

ඉතාලි ජාතික ක්ලෝඩිගේ සුප්‍රකට ළමා නවකතාවේ එන ප්‍රධාන චරිතය වන “පිනෝකියෝ” නමැති රූකඩ ළමයාට ඇත්තේ දිග නාසයකි. ඔහු බොරුවක් කියූ විට නාසය තවත් දිගු වෙයි.

මෑතකදී මනෝ විද්‍යාඥයින් කළ පර් ෙය්ෂණයකදී හෙළිවූයේ “පිනෝකියෝ” කතාවේ කිසියම් සත්‍යයක්ද ගැබ්වී ඇති බවයි. බොරුවක් කියන විට මිනිසුන්ගේ ශරීර උෂ්ණත්වය වෙනස් වෙයි. එයින් නාසය, කණ වැනි තැන්වල පෙනුමේ වෙනස්කම් (විශේෂයෙන් වර්ණය) ඇතිවෙයි. ලෝකයේ සිටින බොහෝ දේශපාලනඥයින්ගේ නාසය දිගය. කන් ලොකුය. එය නායකත්වයේ ලක්ෂයක් ලෙසද හැඳින්වෙයි. එහෙත් දැන් අපට පෙනී යන්නේ එය “පිනෝකියෝ ලක්ෂණයක්” බවය.

එංගලන්තයේ කම්බ්‍රියා හිදී, ලෝකයේ හොඳම බොරුකාරිය තේරීමේ තරගයක් පැවැත්වෙයි. එහෙත් ඊට දේශපාලනඥයින් හා නීතිඥයින් වැනි “වෘත්තීය බොරුකාරයින්”ට සහභාගි වීමට අවසර නැත.

එක් අවස්ථාවක එම තරගයෙන් ජයග්‍රහණය කළේ සුප්‍රසිද්ධ පූජක උතුමෙකි. එතුමා කියූ ජයග්‍රාහී බොරුව මෙසේය. 
“මගේ ජීවිතේ කිසිම දවසක මම බොරුවක් කියලා නෑ”

එම තරගයට සහභාගි වූ ශ්‍රී ලාංකිකයෙක් කියූ බොරුව මෙසේය.

“අපේ රටේ ආණ්ඩු දෙකක් තියෙනවා. එකක් පැරදුණු ආණ්ඩුව. අනික දිනපු ආණ්ඩුව”

බොරුවක් වෙනුවට සත්‍යයක් කීම නිසා ඔහු තරගයෙන් ඉවත් කෙරුණි.

♦ කපිල කුමාර කාලිංග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00