2017 ජුලි 22 වන සෙනසුරාදා

වාහන බිස්නස් දැන් බ්‍රේක්ඩවුන්

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 276

2017 වසරේ මැදවන්නට මෙරටට වාහන ආනයනය ඊට පෙර මාසයට වඩා 1/3 ප්‍රමාණයකින් පහළ බැස ඇත. පසුගිය මැයි මාසයේ ත්‍රිරෝද රථ හා යතුරුපැදි හැර සෙසු වාහන ආනයනය 39000කට ආසන්නව තිබුණද, ජූනි මාසයේදී එම සංඛ්‍යාව 26,000 දක්වා පහළ බැස ඇති බව ආනයන සංඛ්‍යා ලේඛන අනුව පෙනේ. මෙලෙස විශාල වශයෙන් වාහන ආනයනය අඩුවීම නිසා ගැනුම්කරුවන් මෙන්ම ව්‍යාපාරිකයෝ ද අමාරුවේ වැටී සිටිති. වාහන ව්‍යාපාරිකයන් පමණක් නොවේ. එයට අතිරේකව වාහන ව්‍යාපාරය නිසා වක්‍ර රැකියා අවස්ථා හිමිකර ගන්නෝද බොහෝ දෙනෙක් වෙති. ඔවුන්ගේ පවුල්වල සාමාජික සංඛ්‍යාව ලක්ෂ ගණනකි. මේ සියල්ලන්ටම සෙනසුරු දසාව ලැබී තිබේ.

වයර් සහ ටියුබ් නිෂ්පාදන කර්මාන්ත, ටයර් ටියුබ් අලුත්වැඩියා කිරීම බැටරි කර්මාන්තය, අමතර කොටස් ව්‍යාපාරිකයන්, ගරාජ් හිමියන්, දුම් පර්යේෂණ ආයතන හා වාහන සේවාකරුවෝ ද ඒ අතර වෙති. භාණ්ඩයකට බද්දක් පැනවූ විට බද්දේ වටිනාකම භාණ්ඩයේ මිලට එකතු වී එහි මිල ඉහළ යාම සාමාන්‍ය වෙළෙඳපොළ රටාව වේ. එහෙත් වාහන වෙළෙඳපොළ එයට වෙනස්ය. කුමන හෝ හේතුවක් නිසා ආනයනික වාහනයක මිල ඉහළ ගියවිට රට තුළ ඇති සියලුම වාහනවල මිල ඉහළ යාම සිදුවේ. අලෙවි සල්වල ප්‍රදර්ශනයට තබා ඇති වාහන මෙන්ම පුද්ගලයන් සතු වාහනවලද මහමඟ දුවන ඒවායේ ද මිල ඉහළ නගී. එසේම රටට ගෙන්වන “රීකන්ඩිෂන්” වාහනවලද පාවිච්චි කළ වාහනවලද මිල සමානුපාතිකව ඉහළ යයි.

මෙවර වාහන මිල ඉහළ යාමට වාහන ආනයන බදු වැඩිවීම මෙන්ම රුපියලේ අගය අවප්‍රමාණවීමද බලපා ඇත. එපමණක් නොව බැංකු පොලිය ඉහළ නැගීම සහ ලීසිං පහසුකම් සියයට 50ට බැස්සවීම මෙන්ම ලීසිං පොලිය වැඩිකිරීමද හේතු වී තිබේ. ආණ්ඩුව මෙලෙස වාහනවලට සම්බාධක පනවා ඇත්තේ වාහන ආනයනය අධෛර්යමත් කර විදේශ විනිමය ආරක්ෂා කිරීමට බව පැවසුවද, කුඩා වාහනවලට බදු පනවන ආණ්ඩුව රාජ්‍ය සේවකයන් සඳහා සහ මැති ඇමැතිවරුන් ආදී දේශපාලනඥයන් සඳහා බදු සහන යටතේ විශාල එන්ජින් ධාරිතාවකින් යුතු සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම දිගින් දිගටම සිදුකෙරේ. මෙහිදී කිසිදු ප්‍රතිපත්තියක් හෝ නිර්ණායකයක් නොමැත. ඇතැම් අමාත්‍යංශ සඳහා මෙන්ම අමාත්‍යවරුන් සහ නිලධාරීන් සඳහා පරිපූරක ඇස්තමේන්තු මගින් පාර්ලිමේන්තුවෙන් මුදල් අනුමත කරගැනීමට උත්සාහ ගනී. මෙයට පෙර පසුගිය වරක ඇමැතිවරුන් සඳහා ඉල්ලු වාහනවලට මුදල් වෙන්කිරීම අග්‍රාමාත්‍යවරයා විසින් කල්දමනු ලැබ ඇතිබව සැලවිය. එහෙත් යළිත් වරක් පසුගියදා ඇමැතිවරුන් කිහිපදෙනකුට වාහන ආනයනය සඳහා රුපියල් දොළොස් කෝටි දශලක්ෂ අනුඅට දහස් හයසියයක් හා ඇමැතිවරුන් කල්බදු ක්‍රමයට ලබාගෙන ඇති වාහනවලට වාරික මුදල් ගෙවීම සඳහා රුපියල් එක්කෝටි හැටඑක් ලක්ෂ අනුපන්දහස් හත්සීයයක පරිපූරක ඇස්තමේන්තුවක් ද අනුමත කරගෙන තිබේ. මේ අනුව අපට පෙනීයන්නේ විදේශ විනිමය පිරිමැසීමට යැයි කියමින් පොඩි මිනිසාගේ වාහනයට බදුගහන ආණ්ඩුව තම අවශ්‍යතා සඳහා සීමාවකින් තොරව විනිමය නාස්ති කරන බවය.

මෙම ආණ්ඩුව බලයට පත්වූ පසු පසුගිය වසර තුනක කාලයට තෙවරක් වාහන බදු වෙනස් කර තිබේ. දින 100 වැඩ සටහනේදී ද අනතුරුව ඉදිරිපත් කළ අයවැය ලේඛන දෙකේදී ද වාහන බදු වැඩිකර ඇත. අවසාන වරට රවී කරුණානායක ඉදිරිපත් කළ පසුගිය අයවැයේදී ඔහු ප්‍රකාශ කළේ තවත් අවුරුදු දෙකක් වනතුරු වාහන බදු වෙනස් නොකරන බවය. ඒ අනුව වාහන වෙළෙඳපොළ ස්ථාවර වේයැයි පැවසුව ද අයවැයෙන් අනතුරුව විවිධ බදු ගැසීම, බැංකුවල ණය, පොලී සහ ලීසිං ප්‍රතිශත වෙනස් කිරීම නිසා වාහන මිල යළි යළිත් ඉහළ නගින බවක් දක්නට ඇත. විශේෂයෙන් කුඩා මිනිසා පාවිච්චි කරන යතුරුපැදි, ත්‍රීවිලර් රථ සහ කුඩා එන්ජින් ධාරිතාවෙන් යුතු වාහනවල මිලද පසුගිය සමයේ සියයට 200ට ආසන්නව අසීමිත ලෙස ඉහළ නංවා තිබේ.

අද වාහන ව්‍යාපාර ලෝකය වැඩියෙන් සමන්විත වී ඇත්තේ කුඩා වාහන රීකන්ඩිෂන් වාහන සහ පාවිච්චි කළ වාහන වලින්ය. මෙම මිල ඉහළ යාම නිසා එම වාහන ව්‍යාපාරිකයෝ ද පාරිභෝගිකයෝ ද අමාරුවේ වැටී සිටිති. සීමාසහිත ඇසෝසියේටඩ් මෝටර් වේස් (AMW) සමාගමේ කළමනාකරු (මරුටි) ටිරාන් ද සොයිසා පවසන්නේ කුඩා මෝටර් රථ සඳහා සියයට 250ක බද්දක් මේ වනවිට ගෙවන්නට සිදුව ඇති බවය. 2015 නොවැම්බර් 2016 මැයි සහ 2016 නොවැම්බර් යන මාසවල කීපවරක් අානායන බදු වැඩිකර ඇතිබව ඔහු කියයි. මේ නිසා කුඩා ප්‍රමාණයේ 800 සී.සී. ඇන්ජින් ධාරිතාව ඇති ඇල්ටෝ මෝටර් රථය මිල රුපියල් ලක්ෂ 23 ඉක්මවා ඇති බව ඔහු පවසයි. එහෙයින් පසුගිය සමයේ අලෙවිය සියයට 30කට අධික ප්‍රමාණයකින් පහළ ගිය බව පවසන ඔහු රථ සඳහා දුරකතන මගින් කරන විමසීම්ද බොහෝ සේ අඩුව ඇතිබව කියයි. දැනට පවත්වාගෙන යන ප්‍රදර්ශන ස්ථාන සහ අලෙවිසල් අඩු කිරීමට සිදුව ඇති අතර ප්‍රවර්ධන වැඩසටහන් ද අවම කර ඇතිබව ඔහු කියයි.

ආනයන බදු ඉහළ දැමීම මෙන්ම රුපියල අවප්‍රමාණවීමද මිල ඉහළ යාමට බලපා ඇති අතර මෙම තත්ත්වය දිගටම පැවතුන හොත් ව්‍යාපාර කටයුතු ගැටලුකාරී වන බවද පෙන්වා දෙයි.

වාහන ආනයනකරුවන්ගේ සමිති සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ:-

“වෙළෙඳපොළ අස්ථාවර වෙලා. පාරිභෝගික විශ්වාසය අඩුවෙලා. අද එක මිලක්. හෙට තව මිලක්. ඒ හින්දා තීරණයක් ගන්න අමාරුයි. ලීසිං පොලිය වැඩිවෙලා. ලීසිං දෙන ප්‍රමාණය වාහනයේ වටිනාකමින් අඩකට අඩුවෙලා. බැංකු පොලිය සියයට 17ට නැගලා. මිනිසුන් අලුත් ආයෝජනවලට යන්නේ නැහැ. ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍යවලට වැය කළාට පසු වාහන, යන්ත්‍රෝපකරණ, සුවදායක භාණ්ඩ ආදියට යොමුවෙන්නට මුදල් නැහැ. මේ නිසා පුද්ගලයන් ගෙන්වන වාහන සහ සමාගම් ආනයනය කරන වාහන සංඛ්‍යාව අඩුවෙලා. බලපත්‍රවලට ලබාගන්නා මිල අධික වාහන පමණයි ගෙන්වන්නේ.”

ඔහු පවසන්නේ ව්‍යාපාරිකයන් වාහනවලට ගෙවන්නේ බැංකුවලින් ණය ලබාගෙන බවයි. පසුව ආණ්ඩුව සමයේ තිබූ බැංකු පොලිය මේ වනවිට සියයට 17 දක්වා ගුණයකින් ඉහළ ගොස් ඇත. ඒ නිසා ව්‍යාපාරිකයන්ට වාහන ගෙන්වන ප්‍රදර්ශනාගාරවල දිගටම තබා ගත නොහැකිය. කෙටි කාලයකින් විකුණා දැමිය යුතුය. එසේ නොවුණු විට මාසෙන් මාසෙට බැංකු පොලිය එකතුවීම නිසා වාහනයේ මිල ඉහළ නංවන්නට සිදුවේ. එසේ මිල ඉහළ ගිය විට ඉල්ලුම පහළ යයි. මෙය දෙපැත්ත කැපෙන ආදායමක් බවට පත්ව ඇත. මෙම තත්ත්වය මත වාහන ව්‍යාපාරය කඩා වැටී ඇත. අද සමස්ත රටේම ව්‍යාපාරිකයන්ට රටේ ආර්ථික තත්ත්වය සහ ආණ්ඩුවේ බදු නීති අහිතකර ලෙස බලපායි. ගෙන්වන වාහන නොවිකුණා දිගටම තබාගැනීමෙන් පාඩු සිදුවන අතර ඇතැම් විට ඉතාම අවම ලාභයකට අලෙවි කරන්නට සිදුව තිබේ. ව්‍යාපාරිකයෝ ස්වකීය ව්‍යාපාර කරගෙන යාමට අවශ්‍ය නිසා පාඩුවට හෝ ස්වල්ප වශයෙන් ආනයනය කරති.
අලුත් මුදල් ඇමැති සමඟ තම සංගමය සාකච්ඡාවක් ඉල්ලු නමුත් එය නොලැබුණ බව ඔහු කියයි. ලබන අයවැය ලේඛනයේදී හෝ රටට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත්කර පසුබැස ඇති ආර්ථිකය පණගැන්විය යුතුය. එසේ නොවුවහොත් තත්ත්වය තවත් අයහපත් වනු ඇත යන්න ඔහුගේ අදහසය.

මෝටර් වාහන වෙළෙඳුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ගිහාන් පිලපිටිය පවසන්නේ වාහනවලට ඉතාම ඉහළ බද්දක් ක්‍රියාත්මකවීම නිසා වාහන ආනයනය පහළ බසිමින් පවතින බවයි. ඒජන්තවරුන් මාර්ගයෙන් ගෙන්වන අලුත් වාහන ආනයනය අඩුවී ඇති බව පවසන ඔහු මෙයට පෙර රජය ආනයනකරුවන්ගෙන් වාහන මිලට ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වුවද දැන් එයද නැවතී ඇති බවද කියයි. “මෙතෙක් කල් ආණ්ඩුව අපි ගෙන්වන වාහන විවිධ අංශ සඳහා මිලදී ගැනීමේ සම්ප්‍රදායක් පැවතුණා. එහෙත් පසුගිය වසරේ සිට ඒවාට අලුතින් වාහන නොගෙන ලීසිං සමාගම් හරහා කුලී පදනමට ගන්නට පටන් අරන්. මේ නිසා අලුතින් වාහන ආනයනය කරන වෙළෙදුන්ට ප්‍රශ්න ඇතිවී තිබෙනවා. සාමාන්‍ය මිනිහා මිලදී ගන්නේ මිල යම් පමණකට හෝ අඩු ඇන්ජින් ධාරිතාව සී.සී. 1000ට අඩු කුඩා වාහන‍යයි. වෙනත් වාහන මිලට ගන්නේ වැඩි වශයෙන් ආණ්ඩුව සහ විවිධ ආයතන මඟින්

ඔහු කියන්නේ තම සංගමය අලුත් මුදල් ඇමැති මංගල සමරවීර හමුවී සාකච්ඡා කළ බවයි. එහිදී යම් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇති අතර සහනයක් දීමට සලකා බලන බව පවසා තිබේ. දැන් මේ පිළිබඳ කමිටුවක් පිහිටුවා ඇති අතර ආණ්ඩුව එහි නිර්දේශ ක්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාසය පළකළ හැකිවේ. රටකට ආනයනය කරන භාණ්ඩවල වටිනාකම ගණනය කරන ක්‍රමවේදය හැමතැනටම සාධාරණ විය යුතුයි. පවතින ක්‍රමවේදය අලුතින් වාහන ආනයනය කරන්නන්ට අසාධාරණය. බදු සංයුතියේ ගැටලු පවතී. පාවිච්චි කළ වාහන අපනයනය කරන අයට වාසිදායක වේ. ඇන්ජින් ධාරිතාව 1500 සී.සී. දක්වා අඩු බදු ක්‍රමයක් ඇති අතර 1500 - 1600 සී.සී. වාහනවල බදු වෙනස විශාල වේ. ඔහු පවසන්නේ මෙම තත්ත්වය පැවතුනහොත් රටට අලුතින් වාහන ගෙන්වීම තවදුරටත් පහළ බසිනු ඇති බවය. පාවිච්චි කළ වාහන රට තුළට ගෙන්වීම ඉහළයාම පරිසර ප්‍රශ්නවලට මෙන්ම මාර්ග තදබදය ආදි විවිධ ගැටලුවලට හේතු වේ. ඒ නිසා ආණ්ඩුව දිරිමත් කළයුත්තේ අලුත් වාහන ආනයනය කිරීම බව ඔහු පෙන්වා දෙයි.

මෝටර් රථයක් මිලට ගැනීමට බලාපොරොත්තුව සිට පසුව ඒ අදහස අතහැර දැමූ දැරණියගල සුනිල් සී. පෙරේරා.
“එක කාලයක් තිබුණා කාර් ගන්න පොරොත්තු ලේඛනයේ ඉන්න ඕනෑ. මුදල් බැන්දට පස්සෙ වාහනය ගන්න මාස 2 - 3 බලා ඉන්න වුණා. ඒත් අද එහෙම නෑ. සල්ලි තියෙනවා නම් රටේ ඕනෑම ස්ථානයකින් තමන්ට අවශ්‍ය වාහනය කඩෙන් බඩු ගන්නවා වාගේ ගන්න පුළුවන්. ඒත් අද වාහනවල මිල ඇහුවාම එම මුදල වාහන ගෙවා ගන්න පුළුවන් අය බොහොම අඩුයි. ලීසිං ගෙවීමේදී ද සියයට 16 - 17 පොලියක් ගෙවන්නට වෙලා තියෙන නිසා එහෙම කිරීමත් අපහසුයි. මෙයට වසර දෙක තුනකට පෙර රුපියල් ලක්ෂ 15 - 17 අතර ගන්න පුළුවන් වුණු ඉන්දියානු ඇල්ටෝ රථයක් වුණත් මේ වනවිට ලක්ෂ 23 පනිනවා. අඩුපාඩු සියල්ල සම්පූර්ණ කළවිට ලක්ෂ 26 - 27 විතර වෙනවා. එය සාමාන්‍ය මිනිහට ඔරොත්තු දෙන්නෙ නැහැ. ඒ හින්දා මම වාහනයක් ගැනීමේ අදහස අතහැරියා.”

පුංචි මිනිහාට අඩුම ගාණට ගන්න තියෙන කාරයක් වුණත් අද වනවිට ගන්න බැහැ. ආණ්ඩුවේ ලොකු ලොක්කන් කෝටි ගණන්වල වාහන පහසු ක්‍රමවලට මිලදී ගන්නා අතර අපි වාගෙ අයට මෙහෙම සැලකිල්ල මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලබන අයවැයෙන් හෝ අලුත් මුදල් ඇමතිතුමා අපට සහනයක් දෙයි කියලා හිතනවා.”

(මෙම සාකච්ඡාව සඳහා “වාහන ලීසිං ඇසෝෂියේෂන්” හි සභාපති ආනන්ද සෙනෙවිරත්න සම්බන්ධ වීමට උනන්දුවක් දැක්වූයේ නැත.)

♦ යසවර්ධන රුද්රිගු

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00