2017 ජුලි 08 වන සෙනසුරාදා

සරසවි සිසුන්ට ගහපු රස්සා ගැටේ

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 270

මේවා දෙකයි පනහේ තීන්දු  - අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

මෙහෙම ගියොත් මේ ආණ්ඩුවටත් අබසරණයි  - ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

පොලිස් වාර්තාවලින් කොහොමද සිසුන් වැරදියි කියන්නේ -  - මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් පසුගිය 20 වැනිදා කැඳවූ සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සිසූහු සෞඛ්‍ය අමාත්‍යාංශය අත්පත්කරගෙන පැය තුනක පමණ කාලයක් එහි රැඳී සිටියහ. එහිදී සිසුන් විසුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් සිදුකළ පහර දීම නිසා 87 දෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ. ආරක්ෂක අංශයේ කිහිප දෙනෙක් ද තුවාල ලැබූහ. උද්ඝෝෂණයට සහභාගී වූවන් අතින් අමාත්‍යංශ දේපලවලට හා අවට තිබූ වාහනවලටද අලාභ හානි සිදුවී තිබුණි. අමාත්‍යාංශයට ඇතුළු වීම හා දේපලවලට හානි කිරීමට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මේ වන විට තීරණය කර තිබේ.

මේ වසරේ පහුගිය මාස කිහිපය තුළ පමණක් සිදු වූ උද්ඝෝෂණ සංඛ්‍යාව සියය ඉක්මවයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ගෙවුණු මාස හය තුළ සෑම මසක උද්ඝෝෂණ දෙක බැඟින් දැවැන්ත උද්ඝෝෂණ 10ක් පමණ කැඳවා තිබුණි. කොළඹ දී පැවැත්වූ සයිටම් විරෝධී උද්ඝෝෂණවලින් සියයට අසූවකට වැඩි ප්‍රමාණයකට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරක ජල ටැංකි යොදා ගනිමින් අමානුෂික ලෙස පහර දී තිබිණි. කිහිප වරක්ම ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගන්නා ලදී. මේ සටහන ලියන අවස්ථාවේදීත් තවත් දැවැන්ත ශිෂ්‍ය විරෝධතාවක් කොළඹ දී පැවැත්වෙමින් තිබුණි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල කැඳවුම්කරු ළහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩල කැඳවුම්කරු ශිෂ්‍ය භික්ෂු සුතානන්ද තැම්පිටිය හිමියන් සහ ෆයිසාන් අහමඩ් යන තිදෙනා අත්අඩංගුවේ සිටියහ. ශිෂ්‍ය අරගල මෙවන් පසුබිමක පවතිද්දී රජය දක්වූ ප්‍රතිචාරය ද දරුණුය.

ශිෂ්‍ය විරෝධතා මර්දනය කිරීමට එල්ල කළ ප්‍රහාරවලට අමතරව උද්ඝෝෂණවලට සහභාගී වූ සිසුන්ගේ රැකියා අයිතිය අහිමි කරන බවට ද රජයේ පාර්ෂ්වයෙන් ප්‍රකාශ නිකුත් විය. රජයේ ප්‍රමුඛ සේවාවන් වන පරිපාලන සේවාවල කළමනාකරණ සේවාවල ගණකාධිකරණ සේවාවල වෛද්‍ය සේවාව වැනි සේවා සඳහා උද්ඝෝෂණවලට සහභාගී වන්නන් බඳවා නොගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව රජයේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී පොලිස් වාර්තා හා අදාළ පුද්ගලයාගේ අතීත ක්‍රියාකලාපය ගැන වාර්තා ලබා ගෙන ඔවුන්ගේ බඳවා ගැනීම් තීරණය කරන බව ද පවසා තිබුණි. උද්ඝෝෂණවලට සහභාගී වී පොදු දේපළ වලට හානි සිදුවී ඇති විටක එවන් පුද්ගලයන් ඉහල තනතුරුවලට පත්නොකරන බවද සඳහන්ය. මේ ප්‍රකාශය සිසුන්ගේ මූලික අයිතීන් දෙකක් වන ප්‍රකාශන අයිතිය හා රැකියා අයිතිය අහිමි කිරීමක් බව පෙනී යයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු ‍ජෙෂ්ඨ ඇමැතිවරයකු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීය. “අපේ කාගෙවත් පෞද්ගලික ඉල්ලීම් වෙනුවෙන්වත් හිසේ අමාරුවටවත් අපි විරෝධතාවයක් කළේ නැහැ. අපි ඉල්ලුවේ රටේ ජනතාවගේ ඉල්ලීම් සහ අවශ්‍යතාවන්. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් තමයි අපි පෙනී සිටියේ. ආණ්ඩුව කියනවා විරෝධතා කරන අයට රැකියා දීම සම්බන්ධව තීරණයක් ගන්නවා කියලා. රජයේ රැකියා කියන්නේ මහජනතාවගේ බදු මුදල්වලින් නඩත්තුවෙන ජනතාවට සේවය කරන්න තියෙන තැනක්. එහෙමනම් ආණ්ඩුව කොහොම ද මෙවැනි තීරණයක් ගන්නේ? මේ හදන්නේ ශිෂ්‍යයෝ මර්දනය කර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට. අපි කියන්නේ රැකියා අහිමි කරලාවත් සිසුන් හිරේ දාලාවත් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. මිනිස්සුන්ගේ අයිතීන් කප්පාදු කිරීමට එරෙහිවීම මෙවැනි ක්‍රියාවලින් වළක්වන්න බෑ. ඒ නිසා මෙවැනි දෙකයි පනහේ තීරණවලට ගන්නෙ නැතිව ජනතාවගේ ඉල්ලීම් ඉටුකරන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා”
හමුදාවල පොලීසිය වැනි රැකියාවන් සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා ගෙන්වනු ලැබේ. ඒ හැරුණු විට පොදු සංස්ථා, දෙපාර්තුමේන්තු, රාජ්‍ය ආයතන පත්වීම් සම්බන්ධයෙන් වාර්තාවක් වශයෙන් ගෙන්වන්නේ වෛද්‍ය වාර්තා පමණි. කිසිසේත්ම පොලිස් වාර්තා ගෙන්විය නොහැකිය. දැනට පවතින නීතිය අනුව පත්වීම් පාලනය කරනු ලබන්නේ ආයතන තුනකිනි. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව‍ සහ ලබාදෙන පත්වීමට අදාළ අමාත්‍යංශයයි. රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ එවැනි ප්‍රකාශයක් කළේ සිසුන් උද්ඝෝෂණ කරමින් රජයේ ආයතන අත්පත්කරමින් ක්‍රියාකරන නිසා බවයි. සාමාන්‍යයෙන් රජයේ රැකියාවක් සම්බන්ධයෙන් පසුගිය චරිතය ගැන සොයාබැලීමක් කරන බවද හෙතෙම කීය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මෙවැන අදහසක් ප්‍රකාශ කළේය.

“සාමාන්‍ය‍යෙන් සුදුසුකම් තියෙනවා නම් තරග විභාගයක් පවත්වලයි රජයේ රැකියාවක් දෙන්නේ. මෙතෙක් කල් රජයේ රැකියා දෙද්දි මූලිකව බැලුවේ අධ්‍යාපන සුදුසුකම් සහ සමහර වෙලාවට ඥාතීන් නොවන තොරතුරු දැනගත හැකි අයත් සැළකිල්ලට ගත්තා. මූලිකම ප්‍රශ්නය රජය අලුතෙන් කියන කතාව නීතියේ තියෙන දෙයක්ද යන්නයි. ආයතන සංග්‍රහයේ තියෙනවද? 1948 සිට අද වන තුර පත්වීමක් සම්බන්ධයෙන් පොලිස් වාර්තාව අවශ්‍ය වුණේ නෑ. මෙවැනි දේවල් එන්නේ ඉදිරියේදී රජයට එරෙහිව එන විරෝධතා සහ ශිෂ්‍ය උද්ඝෝෂණවලට එරෙහිව නේද්‍? පොලීසියේ වාර්තා සියට සීයක් විශ්වාස කරන්න බෑ. ඒවා පක්ෂපාති. 13 වැනි ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා අහිංසකත්වයේ පූර්ව නිගමනය කියලා. එහෙනම් පොලිසිය කොහොහොමද තීරණය කරන්නේ සිසුන් වැරදියි කියලා. කවුද පොලිස් වාර්තා හදන්නේ? ශිෂ්‍යාට කරුණු කියන්න සාධාරණ අවස්ථාවක් දෙනවද? පොලිස් වාර්තා ලියන්නේ පොලිසියට අවශ්‍ය ආකාරයට. මේවගේ උභතෝකෝටික ප්‍රශ්න තියෙනවා. ශිෂ්‍යයෝ උද්ඝෝෂණයට ගියා. පොදු දේපලවලට හානි කළා කියලා අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරලා වරදකරු කරන්න පොලීසියට සම්පූර්ණ බලය තියෙනවා. වරදකරු වුණාට පස්සෙ රැකියාව නොදුන්නට ගැටලුවක් නැහැ” 

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ උද්ඝෝෂණ කිරීමේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ව්‍යවස්ථානුකූලවම ලැබී තිබේ. එම අයිතීන් රජයද පිළිගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ෙවන් හිමිවන අයිතීන් අනුව ශිෂ්‍යයන් සාමකාමීව උද්ඝෝෂණ කරනවා නම් වෘත්තීය සමිති සාමකාමීව ක්‍රියා කරනවා නම් ඔවුන්ගේ පත්වීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් උද්ඝෝෂණවලට සම්බන්ධවීම් පිළිබඳ වාර්තා බලපාන්නේ ඇයි? මෙවැනි නීතියක් රජය ගේන්නේ උත්සහ කරන්නේ සත්භාවයෙන්ද? මතුපිටින් බලන ඕනෑම අයකුට රජය මේ ක්‍රියාකරන්නේ උද්ඝෝෂවලට උත්තර දියනොහැකිව ප්‍රජාතන්ත්‍ර විරෝධීව බව පෙනී යයි. රජයේ ක්‍රියාකලාප නිසා සිසුන්ගේ භාෂණය හා ප්‍රකාශන අයිතිය අමුඅමුවේම උල්ලංඝණය වනවා පමණක් නොව යහපාලනයේ විනිවිදභාවයක් පිළිබඳව සැක සිතෙයි. ආණ්ඩුව ගමන් කරන්නේ පොලිස් රාජ්‍යයකට ද ප්‍රශ්නය අපි ඉදිරියේ මතුවෙන්නේ රජයේ ජ්‍යෙෂ්ඨයන් කරන මෙවැනි ප්‍රකාශ හේතුවෙනි.

උද්ඝෝෂණවල නිරතවන සිසුන්ගේ පොලිස් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මෙසේ ප්‍රකාශ කළේය. “ශිෂ්‍ය කා‍ලේ උද්ඝෝෂණ කරපු බොහෝ අය අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. රජයේ ඉහළ නිලතල දරණවා. මේවගේ ඔලමොට්ටල තීන්දු මීට කලින් හිටපු ආණ්ඩු ගත්තා නම් රජයේ සේවයට දක්ෂ නිලධාරීන් නැතිවෙනවා. මේ ආණ්ඩුවට මතක නෑ 2015ට කලින් කරපු දේවල්. ඔවුන්ට ඒ කාලේ සිසුන් කරපු උද්ඝෝෂණ හොඳයි බලයට ආවට පස්සේ කරන උද්ඝෝෂණ නරකයි. උද්ඝෝෂණය කිරීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒකට නීති දාන්නවත් කප්පාදු කරන්නවත් කාටවත් අයිතියක් නෑ. ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයට ජනතාවගේ හඬට කන් නොදී උද්ඝෝෂණ මර්දනය කරන්න යනවා නම් මේ ආණ්ඩුවටත් අබසරණයි කියන්න තමයි වෙන්නෙ” 

උද්ඝෝෂණවල නිරත වී සිටින්නේ කිසිවක් කරකියාගත නොදන් පිරිසක් නෙවේ. විශ්වවිද්‍යාලයන්වල විවිධ දක්ෂතා දක්වන නායකත්ව හැකියාවන් පෙන්නුම් කරන දක්ෂ සිසුන්ය. ඔවුන් උද්ඝෝෂණ කරන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එකඟ විය නොහැකි නිසාය. එසේ නම් රජය මැදිහත් විය යුත්තේ සැබෑ ප්‍රශ්නය හඳුනාගෙන විසඳීමටයි. රජයට විරුද්ධ වූ පමණින් විරැද්ධ වූ සිසුන් රාජ්‍ය සේවයට නොගන්නේ නම් අප රට කුමන දිශාවට ගමන් කරයයිද? බුද්ධිමත් විශ්විද්‍යාල ප්‍රජාව රාජ්‍ය සේවයේ උසස් තනතුරුවලට බඳවා නොගන්නේ ඒ ආයතනවලට කුමක් සිදුවේද? පාර්ලිමේන්තුව මෙන් සාමාන්‍ය පෙළ පවා අසමතුන් පත්කරනවාද? මේ ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍යය.

♦ සකීෆ් සාම් තන්වීරි