2017 ජුලි 08 වන සෙනසුරාදා

උණ රෝගය තවත් පැතිරේ

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

2017 ජුලි 3 වැනි සඳු දින පාන්දර තුන පසු වී විනාඩි හතට බුධ ග්‍රහයා තමාට සතුරු රාශි භවනක් වූ කටක රාශියට පිවිස ජුලි මස 21 වැනි කිවි දින උදේ 10 පසු වී විනාඩි 19 දක්වාම කටකයේ ගමන් කරයි. 2017 ජුලි 11 වැනි කුජ දින සවස 3ට අඟහරුද තමාට නීච රාශි භවන වූ කටකයට පිවිසෙන අතර අගෝස්තු 27 වැනි ඉරැ දින උදේ අට පසු වී විනාඩි තිහ දක්වාම කටකයේ ගමන් කරනු ඇත. කටක රාශියෙහි මෙම ග්‍රහයන් දෙදෙනාම ගුරුට අයත් පුනාවය නැකතේ හතරවැනි පාදයෙන් සෙනසුරුට අයත් පුෂ නැකතේ හා බුධට අයත් අස්ලිය නැකතේ සම්පූර්ණවත් ගමන් කරනු ඇත.

මෙය අප රටට එතරම් ශුභදායී වකවානුවක් නොවනු ඇත. නොසිතූ ආකාරයේ බිහිසුණු සිදුවීම් මාලාවකට මහජනයාට මුහුණ දීමට සිදුවේ. රට තුළ ගැටුම්කාරී වාතාවරණයක්ද වැඩ වර්ජන, උද්ඝෝෂණ, අපරාධ ක්‍රියාවන් බහුල වන වකවානුවකි. ඒ හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වීමක් සිදුවන අතර නීති ක්ෂේත්‍රයේ උසස් අයකුට මාරකයක්ද ගෙන දෙන කාලයකි. නීතිය සම්බන්ධ කටයුතු ආශ්‍රිතව ප්‍රශ්න පැන නගින අතර රෝහල්වල සේවකයන්ගේ අයහපත් ක්‍රියාකාරකම්, නීති විරෝධී කටයුතු වාර්තා වනු ඇත. ගොඩනැගිලි මෙන්ම රථවාහන හදිසි ගිනිගැනීම්වලට ලක්වීමද, මහජනයා රැස්වන ස්ථානවලට යම් යම් අශුභ සිදුවීම්ද ඇති වේ. රට තුළ උණ රෝගය වසංගත තත්ත්වයක් ලෙස පැතිර යනු ද ඇත. 

විදේශීය වශයෙන් විමසා බැලීමේදී ලෝකයේ බොහෝ රටවල්වලට ස්වභාවික ආපදා වැඩි වශයෙන් ගෙන දෙන කාලයක් වේ. ඒ හේතුවෙන් ජීවිත මෙන්ම දේපලවලට ද හානි සිදුවනු ඇත. සුළි කුණාටු, ගංඟා මුහුදු ගොඩගැලීම් ජලයෙන් මෙන්ම නායයාම්, ගිනිකඳු විධාරණය හේතුවෙන්ද පීඩා ගෙන දෙන අතර පතල් ආශ්‍රිත අනතුරක්ද වාර්තා වේ. ගොඩනැගිලි හා ආර්ථික මධ්‍යස්ථාන කඩාවැටීම්, ගිනිගැනීම්, ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වීම් ද වාර්තා වනු ඇත.

මේෂ - භූමි ගැටලු

සිත අවේගශීලීව පැවතීම හේතුවෙන් අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිවිය හැක. අන් අයගෙන් නෑදෑයන්ගෙන් දුරස්ව සිටීමට කැමැති වන අතර භූමිය ආශ්‍රිත ප්‍රශ්නයක් මතු වේ.

වෘෂභ - කාර්මිකයන්ට හොඳයි

තමා ගැන වැඩිපුර සිතා කටයුතු කරනු ඇත. පවුලේ සාමාජිකයන් අතර මත‍බේද ඇතිකරගනු ඇත. කාර්මික ක්ෂේත්‍රයේ නියැලි අයට ඉතා ශුභ වේ. 

මිථුන - උණ රෝගයක්

තම තැන්පත් ධනය යම් යම් හේතු මත වියදම් විය හැක. පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවනු ඇත. සිතේ ප්‍රශ්න පැන නගිනු ඇත. හදිසි ශරීර පීඩාවක්, උණ රෝගයක් වැළඳේ.

කටක - නීතිමය ප්‍රශ්න

අන් අයට නොරුස්සන ගතියක් ඇතිවනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. මෙම වකවානුව තුළ විශාල ලෙස මුදල් ආයෝජනය කිරීම යහපත් නොවනු ඇත.

සිංහ - බාධා වැඩි වේ

යම් යම් ප්‍රශ්න කරදර ඇතිවන වකවානුවක් වනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇති කෙරේ. පවුල් දිවියේ සමගිය දෙදරා යනු ඇත. ලේ ආශ්‍රිත පීඩාවක්, හදිසි ශරීර පීඩාවක් ඇතිවනු ඇත.

කන්‍යා - අලුත් හිත මිතුරන්

නිතර සතුටින් කාලය ගත කිරීමට යාම නිසා තම ධනය ඒ සඳහා යෙදවීමට කටයුතු කරන අතර අලුත් හිත මිතුරන් හමුවෙයි. විරුද්ධ ලිංගික ආකර්ශනයද ලැබෙනු ඇත. වියදම් පාලනය කරගෙන කටයුතු කළ යුතු කාල වකවානුවකි.

තුලා - රැකියා ගැටලු

තම හිතූ මතයට කටයුතු කරමින් යම් යම් අවශ්‍යතා කිහිපයක් සාර්ථක කරගත්තද රැකියාව ආශ්‍රිතව හදිසි ප්‍රශ්නයක් ඇතිවිය හැක. තම හිත මිතුරන් තමා සමඟම සිත් අමනාපකම් ඇති කරගනී.

වෘශ්චික - ව්‍යාපාරවලින් පාඩු

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ලාභ අඩුපාඩු සිදුවන වකවානුවක් වේ. සහෝදරයන් සමඟ සිත් අමනාපකම් ඇති වේ. පදිංචි ස්ථානය ආශ්‍රිතව යම් යම් ප්‍රශ්න මතුවනු ඇත.

ධනු - ශරීර පීඩා

එතරම් යහපත් නොවන අතර සෑම කටයුත්තකදීම කල්පනාකාරීව සිටීම වැදගත්ය. තම සහකරුට හෝ සහකාරියට අපලකාරී වකවානුවක් ද වේ. හිත මිතුරන්ගෙන් තමාට යම් යම් ගැටලු ගෙනදෙනු ඇත. හදිසි ශරීර පීඩාවලින් පරිස්සම් විය යුතු වේ.

මකර - උදර රෝග

හවුල් කටයුතු හා ව්‍යාපාරවල නිරත වී සිටින අයට අයහපත්ය. විශාල අන්දමේ මුදල් ආයෝජනය කර කටයුතු නොකළ යුතු වකවානුවක් වේ. උදරය ආශ්‍රිත පීඩාවක් ගෙනදෙනු ඇත.

කුම්භ - රැකියා වෙනසක්

සතුන්ගෙන් යම් යම් පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. රුකියාවේ වෙනසක් ඇතිවිය හැක. තම කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ගෙන දේ.

මීන - ලිංගික බැඳීම්

නිතර ආවේගශීලීව කටයුතු කිරීම හේතුවෙන් සමීපව සිටි අය අමනාපවීම්ද, විරුද්ධ ලිංගිකයන් කෙරේ සිත් ඇදීයාම්ද ඇතිවනු ඇත. හදිසි ලේ විෂවීමකට ලක්විය හැකි බැවින් පරිස්සම් වන්න.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ 
පර්යේෂණායතනය
ඔලබොඩුව ගෝනපල