2017 ජුනි 24 වන සෙනසුරාදා

දෙවියන්ගෙ අඩවියේ සුන්දර කළුන්දෑව හෝටලේ

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:02 290

කළුන්දෑව කඳු පන්තියටත්, දඹුලු ඔයට හා ඇළහැර ඇළටත් මායිම්ව පිහිටලා තියෙන කළුන්දෑව ගම්මානය සංචාරක ඇස නොගැටුණු බොහොම සුන්දර පාරාදීසයක්. ග්‍රාමීය පරිසරයක තිබිය යුතු සුන්දරත්වය ඒ අයුරින්ම තිබෙන මේ ගම්මානයේ තියෙන අපූරු සංචාරක නවාතැන්පොළක් තමයි Kalundewa Retreat.

මීදුමෙන් බරවුණු කළුන්දෑව කඳු පන්තිය අතරින් උදෑසන හිරු රැස් කළුන්දෑව ගම්මානයට වැටෙන ආකාරය ඉතාමත් සොඳුරු දර්ශනයක්. Kalundewa Retreat හෝටලයේ අධ්‍යක්ෂ කුමාර් සේනාරත්න මහතා කියන විදිහට කළුන්දෑව ගම්වාසීන් බොහොම තදින් විශ්වාස කරන දෙයක් තමයි දෙවියන් කළුන්දෑව කඳු පන්තියට උඩින් ඔවුන්ගේ ගම්මානය දෙස බලා හිඳිමින් එය ආරක්ෂා කරන බව. මීදුම අතරින් කඳු පන්තියට හිරු රැස් වැටිලා මැවෙන ඒ අපූරු දර්ශනය ඔවුන්ගේ විශ්වාසය තවත් ශක්තිමත් කරනවා වන්නට පුළුවන්.

“කළුන්දෑව කඳුපන්තිය හා බැඳිලා තියෙන මේ ගුප්ත බවත් වාස්තු විද්‍යාව හරහා අපි හෝටලය නිර්මාණය කිරීමේදී යොදාගත්තා. ඒ වගේම ඉතාමත් පරිසර හිතකාමී විදිහටයි මේ හෝටලය අපි පවත්වාගෙන යන්නෙ” සේනාරත්න මහතා පවසනවා. 

හෝටලයේ මුළු කාමර සංඛ්‍යාව 6ක්. ඒවා Kumbuk Chalet, Bakmee Chalets, Damunu Suite, Ehela Deluxe Room, Nika Suite සහ Nil Manel Floating Villa වශයෙන් නම් කරලා තියෙනවා. මේ හැම කාමරයක්ම උපරිම සුඛෝපභෝගීත්වයක් සමඟම සොබාදහමට ගොඩක් සමීපවන ආකාරයෙන් ඉදිකර තිබීම විශේෂත්වයක්. 

‘Tree House Restaurant’ වශයෙන් නම්කරලා තියෙන හෝටලයේ ප්‍රධාන අවන්හල පිහිටා තිබෙන්නේ වැවක් අසලයි. ආහාරපාන සකස්කිරීමේදී ගන්නේ හෝටල් වත්තේම වැවූ විෂ රසායන නැති කාබනික එළවළු සහ පළතුරුයි. 150කට වැඩි ශාක විවිධත්වයක් තිබෙන ඒ ගෙවත්තට ගිහින් වැඩි අත්දැකීමක් එකතු කරගන්නත් සංචාරකයින්ට පුළුවන්. ඊට අමතරව කළුන්දෑව කොහොමටත් ගොවි ජනතාවක් ජීවත් වෙන ගමක් නිසා ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගොවිතැන් කටයුතු කෙරෙන ආකාරය දැකගන්නත් අවස්ථාව තියෙනවා.

දඹුල්ලට, අනුරාධපුරයට, පොළොන්නරුවට, සීගිරියට වගේ සංස්කෘතික වැදගත්කමක් තියෙන බොහෝ තැන්වලටත් මෙහි සිට ඉතාම කෙටි කාලයකින් ළඟා වෙන්න පුළුවන්. 

I සනත් විරසූරිය

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00