2017 ජුනි 24 වන සෙනසුරාදා

අර්ථසාධකයට වැටෙන සීයට 14 බදු තොප්පිය

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

සේවක අර්ථසාධක අරමුදල 1958 වසරේදී අංක 15 දරන අර්ථසාධක අරමුදල් පනත අනුව ස්ථාපනය කර ඇත. මේ වන විට එය ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය බවට පත්ව තිබේ. අද වන විට එහි වත්කම බිලියන 1665කට අධිකය. පෞද්ගලික අංශයේ ආයතනවල, රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලවල මෙන්ම පෞද්ගලික ව්‍යාපාරවල සේවකයන්ට මෙහි සාමාජිකත්වය හිමි වේ. මෙම අරමුදලේ පරමාර්ථය ලෙස දැක්වෙන්නේ සේවකයන්ගේ ජීවිතයේ සැඳෑ සමයේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සහ රටේ ආර්ථික සංවර්ධනයට ඔවුන් දායක කරගැනීමයි. මෙම අරමුදලේ කළමනාකාරීත්වය දරනුයේ කම්කරු දෙපාර්තමේන්තුව වන අතර මුදල් හැසිරවීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගිනි.

සේවකයන්ගේ වැටුපෙන් සියයට 8ක් මාසිකව අරමුදලේ දායකත්වයට අඩුකර ගන්නා අතර, අවම වශයෙන් සේව්‍යයා සියයට 12ක් මෙම අරමුදල සඳහා දායකත්වය සපයයි. මෙම අරමුදලේ ඇති මුදල් මහා භාණ්ඩාගාර බිල්පත්වල, බැඳුම්කරවල මෙන්ම ව්‍යාපාර වස්තුවලද ආයෝජනය කිරීමට පනත අනුව අවස්ථාව සලසා දී ඇත. මෙලෙස රාජ්‍ය අංශවල පමණක් ආයෝජනය කිරීමට පහසුකම් සලසා ඇත්තේ එහි සුරක්ෂිතභාවය සලකාගෙනය.

එසේම මෙම අරමුදලට සමගාමීව සේවක භාරකාර අරමුදල 1980 දී අංක 46 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කර තිබේ. මෙම පනතේ 8(ඈ) හා 9 වගන්ති අනුව එහි මුදල් රජයේ භාණ්ඩාගාර බැඳුම්කරවල, බිල්පත්වල හා සුරැකුම්පත්වල ආයෝජනය කිරීමට අවසර හිමි වී ඇත. මෙලෙස ආයෝජනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ අරමුදලේ ආරක්ෂාව, ද්‍රවශීලතාව හා ඉහළ ප්‍රතිලාභ ලබාගැනීම අරමුණු කොටගෙනය. මේ වන විට අරමුදලෙන් සියයට 85ක්ම රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති අතර එම ප්‍රමාණය රුපියල් බිලියන 20කට අධික වේ.

මෙම අරමුදල් දෙකටම අදාළ පනත් මගින් ආයෝජනය කිරීමට ඉඩ සලසා ඇති ආයතනවලට පරිබාහිරව 2010 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම අරමුදල් කොටස් වෙළෙඳපොළේ හිතුවක්කාර ලෙස ආයෝජනය කිරීම නිසා විශාල පාඩුවක් සිදු වූ බව වාර්තා විය. මේ පිළිබඳ වෘත්තීය සමිති දැඩි ලෙස විරෝධය දැක්වූ නිසාම තවදුරටත් එම ප්‍රයත්නය ඉදිරියට ගෙන යාමට ආණ්ඩුවට නොහැකි විය.

දැනට සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට මුහුණ දීමට සිදුව ඇති බරපතළතම අනතුරක් වන්නේ එම අරමුදල් ලබන ආදායමෙන් සියයට 14ක් බද්දක් ලෙස ලබාගැනීමට ආණ්ඩුව පිඹුරුපත් සැකසීමය. මෙයට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන්ද සියයට 10ක් ආදායමෙන් කපාගැනීමට ක්‍රියා කර තිබුණි. එහෙත් මේ දක්වා එය ක්‍රියාත්මක කර තිබේදැයි දැනගත නොහැකිය. එසේ සිදුනොකළද අවශ්‍ය අවස්ථාවක මෙය අයකර ගැනීමට නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුව සලසාගෙන ඇත. එසේ තිබියදී සියයට 14ක් බදු ලෙස අයකර ගැනීමට සූදානම් වන්නේ දැනට ආණ්ඩුවට මුහුණපාන්නට සිදුව ඇති දැඩි මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විය හැකිය. ඇත්ත වශයෙන්ම මෙම ආදායම සේවකයාට හිමිවිය යුතු ප්‍රතිලාභයකි. 

අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි

“මෙයට කළින්ද සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජනය මත සියයට 10ක බද්දක් අයකිරීමට කටයුතු කළත් එය තවම ක්‍රියාත්මක කර නැහැ. එහෙත් එම ප්‍රයත්නය තවම අවලංගු කර නැහැ. ඒ පිළිබඳ කැබිනට් අනුමැතිය පවා ලබාගෙන තිබෙන නිසා අනාගතයේදී සියයට 10ක් බදු අයකර ගැනීමට කටයුතු කරනවා ඇති. ඒ අතර තවත් සියයට 14ක් ආයෝජනයෙන් අයකර ගැනීමට පනතක් ඉදිරිපත් කිරීමට යන බව දැනගන්නට ලැබිලා තියෙනවා. මේ නිසා සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 24ක් තරමේ විශාල මුදලක් විවිධ හේතු ඉදිරිපත් කරමින් කපාගැනීමට ආණ්ඩුව සූදානම් වන බවයි පෙනෙන්නට තිබෙන්නේ. දැනටමත් ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අතර අමාත්‍ය මණ්ඩලය නඩත්තු කිරීම, ගොඩනැගිලි, යාන වාහන ආදිය සඳහා විශාල මුදලක් අවශ්‍යව තිබෙනවා. ජනතාව ජීවන බරින් පීඩිතව සිටියදී ආණ්ඩුව ඉතාම අකාරුණික ලෙසට විවිධ බදු පනවමින් මෙම නාස්තිකාර වියදම් පියවා ගැනීමේ උත්සාහයක නිරතවෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. වංචාව, දූෂණය, නාස්තිය පිටුදකින බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් ආණ්ඩුව මේ වන විට සියලු පොරොන්දු අමතක කර වෙනත් ගමනක යෙදෙනවා.”

ඔහු පවසන්නේ වැඩ කරන ජනතාවට ඇති එකම සම්පත වන සේවක අර්ථසාධක අරමුදල රුපියල් ත්‍රිලියන 1.3කට වඩා හෙවත් බිලියන 1300කට අධික සුවිශාල අරමුදලක් බවයි. ඉතාම සුළු වැටුපකට තම ශ්‍රමය පුදකරන පෞද්ගලික අංශයේ සේවකයාට තමා විශ්‍රාම ගිය දිනයේ හෝ රෝගාබාධයකට පත් වූ අවස්ථාවක හෝ යම් උපකාරයක් හවුහරණයක් ලබාගත හැක්කේ මෙම අරමුදල නිසාය. පැවැති ආණ්ඩු සහ පවතින ආණ්ඩුවද අවිනිශ්චිත ආයෝජනවල මෙම මුදල යොදවා සේවකයාට පාඩු සිදුකර ඇත. එවැනි අසාර්ථක ආයෝජනවලින් පාඩු සිදු වූ විට එහි පාඩුව සම්පූර්ණයෙන් සේවකයා මත පවරන බලධරයන් ලාභ ලැබූ විට ඉන් කොටසක් ලබාගැනීමේ උත්සාහයක නිරතව සිටී. පසුගිය දිනවල ආණ්ඩුව භාණ්ඩාගාර බැඳුම්කර හරහාද මෙම මුදල් ආයෝජනය කර තම හිතැති පුද්ගලයන්ට වාසි ලබා දී අරමුදලට පාඩු සිදුකළ බව ඔහු පෙන්වා දෙයි. එයට පෙර ආණ්ඩු සමයේ ලාෆ් ගෑස් සමාගමේ ආයෝජනය කිරීමෙන්ද විශාල පාඩුවක් සිදුකර තිබේ. එසේම කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර කෝටි ගණනක පාඩු ලබා ඇත.
සේවක අර්ථසාධක අරමුදල් පනතේ එහි මුදල් ආයෝජනය කිරීමට පහසුවන ලෙස දක්වා ඇති ප්‍රතිපාදන උපයෝගී කරගෙන බලධරයන් මෙම අරමුදල සමඟ සෙල්ලම් කිරීමට කටයුතු කරන බව ඔහු පෙන්වා දෙයි. එහෙත් එම කොන්දේසි පනතට අඩංගු කර ඇත්තේ ඒ මගින් සේවකයාට සහන සලසා ආයෝජන ලාභ ඔවුන්ට ලබාගැනීමට මිස අරමුදලට හානිකර, පාලකයන්ට වාසි ලබාගැනීම සඳහා නොවන බව ඔහු කියයි.

“ඒ අතර ආණ්ඩුව දැනට මාස දෙකකට පමණ පෙර සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවක භාරකාර අරමුදලෙන් සියයට 14ක් බදු අයකිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරගෙන යනවා. මෙය ගැසට් කිරීමට ආසන්නවයි තිබුණෙ. එහෙත් අප සංගමය එයට එරෙහිව ජනාධිපති, අගමැති ආදී ආණ්ඩුවේ බලධරයන්ට ලියූ අතර මාධ්‍ය මගින් මේ පිළිබඳ එරෙහි වෙමින් පුළුල් ප්‍රචාරයක් ගෙන ගියා. එයින් නොනැවතී ප්‍රබල වෘත්තීය අරගලයක්ද සූදානම් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විය හැකියි මේ වන විට ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ.

එහෙත් නිශ්ශබ්දව සිට තත්ත්වය සමනය වූ පසු යළිත් රහසිගතව මෙම පනත නීතිගත කරාවි යැයි අපේ විශ්වාසයක් තිබෙනවා. එසේ වුවහොත් යළිත් සේවක අරගල දියත් කරනවා. අද සේවකයන් විශාල ආර්ථික අපහසුතාවකින් ජීවත් වන නිසා ඔවුන්ගේ ආදායම් මාර්ග වර්ධනය කළ යුතුව තිබෙනවා. එවැනි පරිසරයක ඔවුන්ගේ තත්ත්වය නගාසිටුවිය යුතුව තිබියදී බලධරයන් උත්සාහ කරනුයේ තව තවත් විපතේ හෙළීමටයි.”

2011 වසරේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙම අරමුදල අහෝසි කර ඒ මගින් පෞද්ගලික සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක කිරීමට යාම නිසා විශාල සේවක විරෝධයකට මුහුණ දීමට සිදුවිය. එම අරගලයේදී කම්කරු සහෝදරයකු තම ජීවිතයද පූජා කළ බව සිහිපත් කරන ප්‍රධාන ලේකම්වරයා සේවක විරෝධය හමුවේ එම උත්සාහය අකුලා ගැනීමට 2/3 සුවිශාල බලයක් තිබූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සිදු වූ බවද කියයි. එය එසේ නම් මෙවරද වර්තමාන ආණ්ඩුවේ කූඨ ප්‍රයත්නය පරාජය කිරීමට පෞද්ගලික අංශයේ සේවක සහෝදරයන්ට අපහසු නොවන බව කියයි.

“අපි දැනටමත් මෙම සියයට 14ක් කපාගැනීමට එරෙහිව ජනතාව පෙළගැස්සවීමට උත්සාහ කරමින් සිටිනවා. ජනාධිපති, අගමැති, මුදල් ඇමැති සහ ඇමැතිවරුන් මෙන්ම සෑම පක්ෂයකම මහජන නියෝජිතයන් දැනුවත් කරනවා. එහි ප්‍රතිඵලයක් නොලැබුණහොත් සමස්ත සේවකයන් ආණ්ඩුවට එරෙහිව පෙළගස්වා ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, පාර්ලිමේන්තුව යන ස්ථානවලට එලෙස පාරට බස්සවන සේවකයන් රැගෙන යාමේ ව්‍යාපාරයකට අවතීරණය වෙනවා. එයට පෙර ආණ්ඩුව මෙවැනි පනතක් ඉදිරිපත් නොකරන බවට ප්‍රකාශ කළ යුතුයි.”

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස්

“මෙය පසුගිය අයවැය ලේඛනය මගින් කළ යෝජනාවක්. සේවක අර්ථසාධක අරමුදලෙන් ආයෝජනය කරන ව්‍යාපෘතිවලට ලැබෙන ලාභයෙන් සියයට 10ක් දැනටමත් බදු ලෙස කපාගන්නවා. අලුතෙන් යෝජනා කර ඇත්තේ මෙයට අමතරව තවත් සියයට 4ක් අයකරන්නයි. එවිට අරමුදලේ ආයෝජන ලාභයෙන් අයකරන මුළු බදු මුදල සියයට 14ක් වෙනවා. ආණ්ඩුවට අතිරේක මුදලක් ලබාගැනීමටයි මෙය කරන්නේ. වත්කම රුපියල් ට්‍රිලියනයකටත් අධික අරමුදලක් නිසා මෙයින් ලැබෙන ලාභය විශාල විය හැකියි. එම ලාභයේ නියම හිමිකරුවන් වන්නේ එයට දායකත්වය දක්වන සේවකයන්. ඒ නිසා මෙයින් බදු අයකිරීම ඔවුන්ට කරන අසාධාරණයක්. තම ජීවිතයේ සැඳෑ සමයේදී හිමි දායක මුදල ආපසු ලබාගෙන ජීවිතය ගැටගසා ගන්නට ඔවුන්ට ලැබී තිබෙන අවස්ථාවට මෙයින් බලපෑමක් වෙනවා.”

ඔහු පවසන්නේ පසුගියදා පැවැත්වූ ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදී මෙම ආරංචිය පිළිබඳව තමා විමසූ නමුත් කම්කරු ඇමැතිවරයා පවා එය නොදන්නා බව පැවැසූ බවයි. අවශ්‍ය විස්තර ලබාගෙන ඊළඟ රැස්වීමේදී මේ ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙයි. ජාතික කම්කරු උපදේශක සභාවට ප්‍රධාන වෘත්තීය සමිති 14ක නියෝජිතයන්, හාම්පුතුන්ගේ නියෝජිතයන් සහ කම්කරු අමාත්‍යංශ නිලධාරීන්ද ඇතුළත් වන අතර එහි සභාපති තනතුර හිමිව ඇත්තේ කම්කරු අමාත්‍යවරයාටය. මෙම උපදේශක සමිතියේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවට මෙය කළ නොහැකි බව ලේකම්වරයා කියයි. තවද මෙය කම්කරු අමාත්‍යංශයෙන් තනන පනතක් නොව බදු පනත යටතේ මුදල් අමාත්‍යංශය මගින් සිදුකරන්නකි. මෙලෙස බදු වැඩි කිරීමකට තම සංවිධානය එරෙහිවන අතර යම් ලෙසකින් මෙම ප්‍රයත්නය දිගටම ක්‍රියාත්මක වුවහොත් සමස්ත කම්කරු ජනතාව සමඟ විරෝධතා පවත්වන බව ඔහු කියා සිටී. කම්කරුවන්ට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවිය යුතුව තිබියදී එය කප්පාදු කිරීමට මෙවැනි පනත් ගෙන ඒම පිළිබඳව එරෙහිවන බව පවසන ඔහු සේවක අර්ථසාධක අරමුදලට අයකවන සේවකයන් මිලියන 2.5කට මෙය අහිතකර වන බවද පෙන්වා දෙයි.

මේ පිළිබඳ කම්කරු අමාත්‍යංශයේ වෘත්තීය සමිති අංශයේ උසස් නිලධාරියකුගෙන් විමසූ විට මෙය 2017 අයවැය යෝජනාවක් නිසා අනිවාර්යයෙන්ම මේ වසර තුළ ක්‍රියාත්මක කරනු ඇති බව පැවසීය. එසේ වුවද මෙම පනත සකස් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නේ මුදල් අමාත්‍යංශයෙන් සහ මහා භාණ්ඩාගාරය මගින් වන අතර එයට කම්කරු අමාත්‍යංශය සම්බන්ධ නැති බවද ඔහු කීවේය. කම්කරු අමාත්‍යංශය කරන්නේ සේවක අර්ථසාධක අරමුදල පරිපාලනය කිරීමේ සහ මෙහෙයවීමේ කටයුතු පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.

♦ යසවර්ධන රුද්රිගු

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00