2017 ජුනි 24 වන සෙනසුරාදා

ගොවි හමුදාවේ ඉඳන් ඡන්ද රැළියට හූ තිබ්බා

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 219

නවසිය හැත්තෑව වසරට පෙර අපේ රටේ “ගොවි හමුදාව” නමින් සුවිශේෂී හමුදා සේනාංකයක් විය. මෙරට ගොවි ජනපද පිහිටුවීමේදී මේ ගොවි හමුදාව මගින් විශේෂ කාර්යභාරයක් ඉටුකොට තිබේ. ගොවි හමුදාව පිළිබඳවත්, ඒ හමුදාව කළ කටයුතු පිළිබඳවත් වත්මන් පරපුර තුළ ඇත්තේ අල්ප දැනුමකි. එදා ගොවි හමුදාවේ සාමාජිකයන් බොහොමක් අද ජීවතුන් අතර නැත. සිටින්නේ නම් ඒ අල්ප සංඛ්‍යාවකි.

ගල්ගමුව, මහගල්කඩවල, ජයලන්ද පදිංචි එච්.වී. සිරිපාල මහතා ද ඒ අල්ප දෙනා අතර වෙයි. ගොවි හමුදාව ගැන අපි ඔහුගෙන් දැනගනිමු.

“මගේ උපන් ගම කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේ. ගොවි හමුදාවට බැදුණේ එහේ ඉද්දි. එතකොට මට වයස අවුරුදු දහනමයයි. මහියංගණය මන්ත්‍රී හිටපු ඇමැතිවරයකු වූ සී.පී.ජේ. සෙනවිරත්න මහත්තයා තමයි මට ගොවි හමුදාවට බැඳෙන්න උදව් කළේ. එතුමාගේ ගෙවල් තිබුණේ කුරුණෑගල, මුත්තෙට්ටුගල. දවසක් මම ඒ ගෙදර ගියා එතුමා හමුවෙන්න. මටත් ගොවි හමුදාවට බැඳෙන්න ඕන කියා කීවා. මට එතුමා දිනයක් කියලා එදාට කූපන් පොතත් අරන් මූලස්ථානයට යන්න කීවා.

ගොවි හමුදාවේ ප්‍රධාන මූලස්ථානය පිහිටලා තිබුණේ කුරුණෑගල. ඔය ගොවි හමුදාවේ ප්‍රධානියා සෙනවිරත්න දිවංගත ඇමැතිතුමාගේ සහෝදරයෙක්. මම ඇමැතිතුමා කියාපු දවසේ මූලස්ථානයට ගියා. කූපන් පොත බාරගෙන නම් ගම් ලියාගෙන ටික වේලාවක් ඉන්න කීවා. කුරුණෑගල, මාතලේ, නුවර, කෑගල්ල, කළුතර ඔය හැම පැත්තකින්ම කොල්ලෝ ඇවිත් හිටියා. අපි ටික වේලාවක් ඉන්න කොට ලොරියක් ගෙනත් අපව ඒකෙ දාගෙන රාජාංගණයට අරන් ආවා.

එහේ ගොවි හමුදාවේ කෑම්ප් එකක් තිබුණා. කෑම්ප් කීවාට අඩි 100 – 200 දිග පොල් අතු මඩු. කෑම්ප් එකේදි අපට යුනිෆෝම් දුන්නා. කාකි කොට කලිසමක්, අත් දිග කමිසයක්, කැන්වස් සපත්තු ජෝඩුවක්. ඕවා තමයි යුනිෆෝම් එකට දුන්නේ. ඊට පස්සේ දවස් දෙකක් විතර අපට හමුදා පෙරඩ් එක එහෙම ඉගැන්වුවා. අපේ කෑම්ප් එක රාජාංගණය වම් ඉවුර කොටසේ. දැන් ඔය ගොවිජන සේවා මධ්‍යස්ථානය තියෙන තැන තමයි තිබුණේ. කෑම්ප් එකේ ප්‍රධානියා සෙනවිරත්න පිලපිටිය කියලා කැප්ටන් කෙනෙක්.

හමුදා පුහුණුව දවස් දෙකෙන් ඉවර කරලා ඊළඟට පිකස් එකකුයි (යවුලක්), උදැල්ලයි, කූඩයයි අපි එක එක්කෙනාට දුන්නා. ඒ කරලා උදේට වැඩපොළට ගිහින් දානවා. කැලෑ මැද තමයි වැඩපොළවල් තිබුණෙ. උදේ අට වෙනකොට වැඩපොළටම උදේ කෑම එක ගෙනත් දෙනවා. පාන් භාගයයි, පරිප්පු හෝ අල හොද්දක් හා තේ එකක් දෙනවා. අපි දවල් දොළහ විතර වෙනකොට වැඩ ඉවර කරනවා. ඒ කරලා නාගෙන කෑම්ප් එකට ඇවිත් දවල් කෑම ගන්නවා. හවස් වරැව කෑම්ප් එකේම ගත කරනවා.

“ගොවි හමුදාවට පැවරී තිබුණු කාර්යයන් මොනවාද?” මම සිරිපාල මහතාගෙන් ඇසුවෙමි.

“වැව්වල වැඩ, ඇළවේලි කැපීම වාගේ දේවල් තමයි කළේ. ඩෝසර් වාගේ යන්ත්‍ර උපකරණ දාලා කරන්න බැරි ඒවා අපට බාරදුන්නා. සක්වල ඉඩැල්ල කාලයටත් (තදින් පායන දිනවල) අප ඝන අඩි 100ක් කපනවා. ඒක කියන්නේ අඩියක් ගැඹුරට අඩි දහය බැගින් දිග පළල කොටසක පස් කපනවා. ඒ කාලේ ගොවි ජනපද ආරම්භ කරන කොට ගොවි හමුදාවෙන් තමයි ඒවායේ බොහොමයක් කළේ. ජවසම්පන්න තරුණ පිරිසක්නේ ගොවි හමුදාවේ හිටියේ.
රාජාංගණය දෙකේ කෑම්ප් එකේ අවුරුදු දෙකක් විතර වැඩ කරන කොට මාව නොච්චියාගම කෑම්ප් එකට මාරු කළා. එහේ හිටියේ අවුරුද්දක් විතර. ඊළඟට රාජාංගණය පහේ කෑම්ප් එකට දැම්මා. ඒ කෑම්ප් එකේ ඉද්දි ඒ කෑම්ප් එකට ගිනි ගත්තා. පොල් අතු මඩුනේ. ඊටපස්සේ ට්‍රැක්ටර්, බවුසර් අරන් වතුර ගේන්න ගියා. මාත් ට්‍රැක්ටරයක නැගලා ගියා. ට්‍රැක්ටරයේ ටේලරය පෙරළිලා මගේ ඔළුව පැලුණා. පස්සේ මාව ගිරිබාව රෝහලටත්, එතැනින් කුරුණෑගල රෝහලටත් අරන් ගියා. තුවාල හොඳ වුණාට පස්සේ ආයිත් ඒ කෑම්ප් එකටම ආවා.

1970 අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් ආවනෙ. ආණ්ඩුව පත්වෙලා සතියකින් විතර ප්‍රවෘත්තිවලට කීවා ගොවි හමුදාව විසුරුවා හැරියා කියලා. අපි දන්නෙත් නෑ. ගොවි හමුදාවට බැදුණු දවසේ සිට විසුරුවන තෙක් මට මාසයකට ලැබුණේ රුපියල් අනූවයි. කෑම බීම දෙනවනේ. කොහොම හරි විසුරුවාට පස්සේ ගොඩාක් දෙනකුට ගම්වලට යන්න සල්ලි නෑ. ඒ මාසයේ අපට පඩි ලැබුණෙත් නෑ. අන්තිමට සල්ලි තිබුණ අය නැති අයට සල්ලි දුන්නා. මට නම් කෑම්ප් එකේ ඉඳලා ගිරිබාවටත්, එතැනින් ගල්ගමුවට ඇවිත් කුරුණෑගලට යන්න ඕන වුණේ රැපියල් පහක්. ඒත් කළුතර, ගාල්ල, නුවර වාගේ දුර පළාත්වල අයට වැඩිපුර මුදල් ගමන් වියදමට ඕන වුණා. සල්ලි හොයාගන්න බැරිවුණ අය රාජාංගණයේම නතරවෙලා කුලී වැඩට ගියා. එහෙම ඉඳලා එහෙන්ම පවුල් පන්සල් (විවාහ) කරගත්තා.

“ගොවි හමුදාවේ කටයුතු කරද්දී ඔබ ලැබූ අත්දැකීම් අතර මතක සිහිවටන ලෙස ඇති සිදුවීම් කීපයක් මතක් කරමුද?” මම සිරිපාල මහතාට යෝජනා කළෙමි.

“මගේ මතකයේ හැටියට ඒ 1969 අවුරුද්ද විතර වෙන්න ඕන. අපේ කෑම්ප් එක ළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැළියක් තිබුණා. ඔය මයිලෑව ප්‍රදේශයේ හිටියා ප්‍රසිද්ධ හාමුදුරුනමක්. යූ.එන්.පී. එකේ පතාක යෝධයෙක්. මේ හාමුදුරුවෝ කෑම්ප් එකට ඇවිත් ගොවි හමුදාවේ කොල්ලන්ට කීවා රැස්වීමට හූ කියන්න කියලා. මාත් “හූ” කියන්න ගියා. රැස්වීමේ කථිකයන් කතා කරන විට අපි හූ කියනවා. අන්තිමට හාමුදුරැවෝම ඇවිත් කට්ටිය එහාට මෙහාට කරලා ෂේප් කළා. ඔය රැස්වීමේ කතා කරපු ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්තයා කීවා “අපි බලයට පත්වුණාම පැය විසිහතරෙන් ගොවි හමුදාව විසුරුවා දානවා.” කියලා. කීවා වගේම කළා.

ඔය කලැත්තෑවේ සොයිසා, ඒ කියන්නේ ඇල්බඩ් සොයිසා මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් කරලා ඉන්න කොට එයයි, කළු ඇල්බඩ් හා විනී මාමා කියන තුන්දෙනා දවසක් වරා වැව කියන වැවට ගෙනාවා පරීක්ෂණයකට. ඒ කාලේ කලැත්තෑව සොයිසා කියපුවාම රටේ හරි ප්‍රසිද්ධයි. ඉතින් අපටත් එයා බලන්න හරි ආසාවක් ඇතිවුණා. අපිත් වරා වැවට ගියා. කලැත්තෑව සොයිසා ටයි කෝට් ඇඳලා තමයි හිටියේ. මාංචු දාලා බන්ධනාගාර බස් රියකින් අරන් ඇවිත් තිබුණේ. මිනීමැරුමකට යොදාගත් කාරයක් වරා වැවේ හංගලා තියෙනවා කියලා ඒක හොයන්න තමයි ඒ අය අරන් ඇවිත් හිටියේ. සොයිසා මහත්තයා රාජාංගණය වැව් ඉවුරේ ඇළවල් කැපීම, වැව් සෑදීම වාගේ කටයුතු කොන්ත්‍රාත් අරන් තිබුණානෙ.

කෑම්ප් එකේ ඉද්දි ගොවි හමුදාවේ සෙබළුන්ව සතියක් සේවා සපයන්න දානවා. වතුර, තේ, බත් සැපයීම වාගේ දේවල් කරන්න ඕන. ඒ සතිය තුළ වැඩපොළවලට දාන්නේ නෑ. එක සතියක් මට නියමිතව තිබුණේ තේ වතුර සැපයීම. තේ උණු කරන මුට්ටිය, බාල්දියක්, උණු වතුර ගන්න කිඹිස්ස (ජෝගුවක්) කල් ඇතිව මට දීලා තිබුණා. මං උදේම නැගිටලා වතුර උණුකරගෙන උදේ අට වෙනකොට වැඩපොළට තේ අරන් යන්න ඕන. ආයි දහයට තේ දෙන්න ඕන. හවස තුනට කෑම්ප් එකේ දී තේ දෙන්න ඕන.

මේ සිද්ධිය වුණේ එහෙම සේවා සපයපු සතියක. ගිනිගහන පායන කාලේ. රූට දාඩිය. එහෙ බූරු ඇඳන්වල මකුණෝ. රෑ නමයට බිලට්වල ලයිට් නිවනවා. එතැනින් පස්සේ කතා කරන්නවත් බෑ. අපේ බිලට් එකේ කොල්ලෝ දෙන්නෙක් කෙල්ලෙක්ගෙ හුටපටයක් ගැන කුටුකුටු ගානවා. මං උන් දෙන්නා ළඟට ගිහින් කීවා ශබ්ද නොකර නිදාගනිල්ලා කියලා. ටික වේලාවක් ඉඳලා ආයි කතාව. දෙපාරක්, තුන්පාරක් කීවා. අහන්නෙම නෑ.

හෙට උදේම මම නැගිටින්නත් ඕන. මට කේන්ති ගියා. මම බාල්දියයි, සීනි දියකරන කෝටු දෙකයි අරන් බාල්දියට හයියෙන් තට්ටු කරන්න පටන් ගත්තා. හරියට බෙර ගහනවා වගේ. ඒ ශබ්දයට කෑම්ප් එකේ ඔක්කොම නැගිට්ටා. බිලට් එකේ කෝප්‍රල් ආවා. ආපු ගමන් මගේ කම්මුල් දෙකටම ගැහුවා. ඒත් මම දිගටම බාල්දියට ගහමින් හිටියා. ඊළඟට කෑම්ප් එකේ ඕ.අයි.සී. ආවා. මගේ අතින් අල්ලාගෙන එයාගේ බිලට් එකට අරන් ගියා.

ඕ.අයි.සී. මගෙන් ඇහුවා ඒ විදිහට හැසිරීමට කාරණා. මම සිද්ධ වූ දේ කීවා. ගොවි හමුදාවේ කවුරු හරි වරදක් කළොත්, විනය විරෝධී වැඩක් කළොත් දඬුවම් දෙනවා. ඒ රූම මාව අඩි 2x2 විතර වූ කටු කම්බි ගසපු කූඩුවට දැම්මා. ඒක ඇතුළෙ වාඩි වෙලාවත් ඉන්න බෑ. සාජන් කෙනෙක් තමයි මාව ඒකට දැම්මේ. මුළු රූම මම මදුරුවෝ තල තලා හිටගෙනම අර කූඩුවේ හිටියා. මාව දඬුවම් දෙන්න කළින් කෑම්ප් එකේම කට්ටිය පෝලිම් ගස්සලා මට දෙන දඬුවම පෙන්නුවා.

එළිවෙලා තමයි මාව එළියට ගත්තේ. ඕ.අයි.සී.ගේ බිලට් එකට මාව එක්ක ගියා. එතැනදී මට තේ එකක් දුන්නා. “ඔය වාගේ වැඩ ආයි කරන්න එපා. මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගොවි හමුදා පොලීසියට කියන්න.” කියලා එතුමා මට අවවාද කළා. යුද හමුදාවේ වගේම තමයි ගොවි හමුදාවටත් වෙනම පොලීසියක් තිබුණා. ඒ විතරක් නෙමෙයි බෑන්ඩ් කණ්ඩායමක්, වෛද්‍ය කණ්ඩායමක් වගේ අංශ තිබුණා. අපට ඉහළ කෝප්රල්, ෆුල් කෝප්රල්, සාජන් ආදී අයට අපි සැලියුට් ගහන්න ඕන. ඒ වාගේම තමයි ගොවි හමුදාවේ සාමාන්‍ය සෙබළකුට සුදුසුකම් තියෙනවා නම් ඕ.අයි.සී. දක්වා ඉහළ තනතුරකට යන්න අවස්ථාව තිබුණා.”

(ඉතිරිය අනිත් සතියට)

♦ගල්ගමුවේ නිහාල් ජයවීර
(විශේෂ ස්තූතිය - ජයලන්දේ කේ.ඩී. තිලකරත්න මහතාට)