2017 ජුනි 24 වන සෙනසුරාදා

සමේ ලෙඩට පීනසට මහ ගුණ දෙන පංචකර්ම

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1485

පංච කර්මය කියූ සැණින් වැඩිදෙනකුගේ සිහියට නැගෙන්නේ හන්දියක් හන්දියක් ගානේ පිහිටුවා ඇති පංච කර්ම ප්‍රතිකාර ලබාදෙන බවට විවිධ අලංකාර පුවරුවලින් සැරසූ මධ්‍යස්ථාන පිළිබඳවය. නිවැරදි අවබෝධයක් නොමැති බොහෝ පිරිස් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා මෙවැනි මධ්‍යස්ථාන කරා ඇදී යන අතර එවැනි ස්ථානවලින් එළියට පැමිණෙන ඇතැම්හු තමන් ලැබූයේ කුමන ආකාරයේ ප්‍රතිකාරයක් ද යන්න පවා නොදනිති. ආයුර්වේදයේ සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක්වන පංච කර්ම ප්‍රතිකාර මෙවැනි මධ්‍යස්ථාන හරහා නිසි පරිදි සිදුනොකෙරෙන අතර අප මෙහිදී බලාපොරොත්තු වන්නෙ පංච කර්ම ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීමටය. 

ඒ සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කරන්නේ ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ මහත්මයාය.

“ආයුර්වේදය කියන්නේ මෙයට වසර 4000කට පමණ පෙර බිහිවූ වෛද්‍ය ක්‍රමයක්. මෙම වෛද්‍ය ක්‍රමය අපට දායාද වූයේ ඉන්දියාවෙන්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉන්දියාවේ සිට පැමිණියාට පෙර පටන්ම අපටම ආවේණික වූ දේශීය වෛද්‍ය ක්‍රමයන් අප සතු වුණා. එය වසර 7000ක් පමණ පැරැණි වන අතර රාවණා යුගය දක්වාම දිවෙන මෙම වෛද්‍ය ක්‍රම දෙකම අද දක්වා නොනැසී පවතින්නේ එම වෛද්‍ය ක්‍රමයන් දෙකෙහිම අන්තර්ගතව ඇති සුවිශේෂී ප්‍රතිකාර ක්‍රම නිසයි.

පංචකර්ම හැමෝටම කරන්න බෑ

පංච කර්මය යනු අපේ ආයුර්වේදය හා සමාන්තරව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවන් සමඟ එන එක්තරා ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමවේදයකි. ඇතැම් පිරිස් පංච කර්ම ප්‍රතිකාර කරන බවට තැන් තැන්වල බෝඩ් ගසාගෙන සිටියද එය සිදුකිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මේ සඳහා හොඳ පුහුණුවක් තිබෙන වෛද්‍යවරයකු සිටීම අවශ්‍යය. එසේම ඒ සඳහාම සුවිශේෂී වූ ඖෂධ වර්ගද ඇත. මෙම ප්‍රතිකාර ලබාදීමේදී විවිධ උපාංගද අවශ්‍ය වේ. පංච කර්මයෙහි ක්‍රමවේදයන් පහක්ම අනතර්ගතව අතර බොහෝවිට වර්තමානයේදී තැන් තැන්වල පිහිටුවා ඇති මධ්‍යස්ථාන හරහා සිදුකෙරෙන්නේ ප්‍රතිකාර එකේ දෙකේ වැනි ප්‍රමාණයි.

වෙළෙඳාමක් වූ පංචකර්ම

වාණිජ පරමාර්ථයක් පමණක් ගැන සිතමින් පංච කර්මයට වෙළෙඳ වටිනාකමක් ලබාදීමද අද බහුල වශයෙන් සිදුවන්නකි. විශේෂයෙන්ම තිරිහන් වීම, තාරුණ්‍යය රැකගැනීම, රුව රැකගැනීම, මානසික ආතතිය දුරුකර ගැනීම, ශාරීරිකව නිරෝගීව සිටීම ආදියට පංච කර්මය පමණක්ම භාවිත කරන තත්ත්වයට අද සමහරුන් පත්ව ඇත. එහෙත් මෙම පංච කර්මය යන නමට මුවාවී අපේ රටේ සියයට අනූවක්ම වාගේ පවත්වාගෙන යන්නේ මසාජ් ක්ලිනික් වැනි ආයතනයන්ය. මෙවන් කිසිදු ස්ථානයක පංච කර්මයෙහි සඳහන් පස්විධ ප්‍රතිකාර කර්මයන් සිදු නොකෙරේ. 

පස් විධි ප්‍රතිකාර ක්‍රමය

අපගේ ශරීරයේ යම් යම් දෝෂ තත්ත්වයන් සිරුරෙන් බැහැර කිරීම පංච කර්ම ප්‍රතිකාරයේදී සිදුකරනු ලැබේ. නස්‍ය කර්ම, වමන කර්ම, විරේක කර්ම, වස්ති කර්ම හා රක්ත මෝක්ෂණය මෙහිදී සිදුකෙරෙන ප්‍රතිකාර ක්‍රම පස් වර්ගය වන අතර ඒ ඒ රෝගවලට අනුව වෛද්‍යවරයාගේ නිගමනය පරිදි මේ අවස්ථාවේ මේ රෝගියාට කවර ආකාරයේ කර්මයක් සිදුකළ යුත්තේය යන්න තීරණය කෙරේ. රෝගියාගේ තත්ත්වය අනුව එය ඇතැම් විට නාස්‍ය කර්මයකට සීමා විය හැකි අතර එසේ නැතිනම් ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම විය හැකියි. එය තීරණය කළ හැකිවන්නේ දක්ෂ වෛද්‍යවරයකුට හට පමණි.

ගැබිණි මව්වරුන්ට, බරපතළ රෝගවලින් පෙළෙන්නන්ට නුසුදුසුයි

පංච කර්ම ප්‍රතිකාර ක්‍රමය භාවිත කෙරෙන්නේ රෝග සුවකිරීම පහසු කිරීම හා ශරීරය හොඳින් පවත්වාගෙන යාම ආදියටය. මෙම ප්‍රතිකාර ක්‍රමය හරහා බොහෝ පිරිසකට සෙත සැලසෙන අතර මෙම ප්‍රතිකාරය නුසුදුසු පිරිසක්ද ඇත. ගර්භනී මව්වරුන්, කුඩා දරුවන් වයෝවෘද්ධ පුද්ගලයන්, හෘද රෝග වැනි යම් යම් බරපතළ රෝගවලින් පෙළෙන පුද්ගලයන් එලෙස මෙම ප්‍රතිකාර ක්‍රමය නුසුදුසු පිරිස ලෙස ආයුර්වේද පොත පතෙහි සඳහන්ය. මෙම ප්‍රතිකාර ක්‍රමය දරාගැනීම සඳහා සිරුර තුළ යම් ශක්තියක් තිබිය යුතුවන අතර එසේ නොමැති වුවහොත් එමගින් භයානක අතුරු අන්තරා ද ඇතිවිය හැකියි.

නස්න කර්මය

පංච කර්මය ප්‍රතිකාර ක්‍රමයෙහි මූලිකම ප්‍රතිකාර ක්‍රමය වන නස්‍ය කර්ම ප්‍රතිකාරය සිදුකරන්නේ හිස සහ මුහුණ ආශ්‍රිතව ඇති යම් යම් දෝෂ තත්ත්වයන් මඟහරවා ගැනීමටය. සාමාන්‍යයෙන් නිවසක ජල මාර්ග පද්ධති, අපද්‍රව්‍ය බැහැ කිරීමේ පද්ධති ආදියෙහි යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවුවහොත් අදාළ කාර්යයන් නිසි පරිදි සිදුකෙරෙන්නේ නැත. ඒවා කලට වේලාවට සුද්ධ පවිත්‍ර කරගත යුතුය. එලෙසය ශරීරය පුරා විහිදුවන නළ මාර්ගය ද යම් යම් හේතු නිසා හිරවීමක් සිදුවිය හැකිය. එවිට මේවා තුළිනුත් අප බලාපොරොත්තු කාර්යය ඉටු නොවේ. මෙම ශ්‍රෝණි මාර්ග අවහිර වීම වළක්වා ගැනීම හරහා බොහෝ රෝගවලින් මිදීමේ හැකියාව ඇත. එසේම අපගේ සිරුරට ඇතිවන අපහසුතා ද මඟහරවා ගත හැකිය.

වමන කර්මය

වමන කර්මය ද මෙහි තවත් එක් ප්‍රතිකාර ක්‍රමයක් වන අතර ඒ හරහා අපගේ පපුව ආශ්‍රිතව ඇති ආමාශ්‍ය හා අක්මාවෙන් ඉහළ ප්‍රදේශයේ පවතින අපද්‍රව්‍ය, සෙම් කොටස ඉවත් කිරීම සිදුකරගත හැකියි.

විරේඛන කර්මය

විරේඛන කර්මයේදී උපයෝගී කරගන්නේ අධර උදර ප්‍රදේශයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරගැනීමය. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී මුණයෙන් යම් ඖෂධයක් පානය කරන්නට දී විරේඛනය වීම සලස්වා එම විරේඛන මාර්ගයෙන් අපර උදරයේ අපර කොටසේ අපද්‍රව්‍ය බැහැර කෙරේ.

වාස්ති කර්මය

ගුද මාර්ගය ආශ්‍රිතව තෙල් හා කසාය ද්‍රව්‍ය යොදාගෙන මහාන්ත්‍රය ආශ්‍රිතව ඇති රෝග සමනය කර ගැනීමට හැකියාව ලැබේ.

රක්ත මෝක්ෂණය

රක්ත මෝක්ෂණයේදී සිදුකරන්නේ අපගේ සිරුරේ අන්තර්ගත රුධිරය යම් යම් ආකාරයෙන් බැහැර කිරීමෙන් ස්ථානිකව පවතින රෝග තත්ත්වයන් මඟහරවා ගැනීමයි. දියවැඩියා වැනි රෝගයකදී පාදවල ඇතිවන තුවාල නිසා රෝගීන්ට ඇතිවන බරපතළ තත්ත්වයන් මඟහරවා ගැනීමට මෙම රක්ත මෝක්ෂණය උපකාරීවේ. රක්ත මෝක්ෂණය සිදුකළ හැකි ක්‍රමවේදයන් කිහිපයක්ම ඇති අතර ඉන් එක් අවස්ථාවක් සඳහා කූඩැල්ලන්ද භාවිත කෙරේ. දියවැඩියාව අමතරව නහර ගැටගැසුණු අවස්ථාවලදී, අක්ෂි රෝග අවස්ථාවලදීද කූඩැල්ලන් භාවිත කරනු ලැබේ. මෙහිදී කූඩැල්ලන් අදාළ ස්ථානයේ තබා අපිරිසිදු රුධිරය උරා බීමට සලස්වන අතර මෙහිදී රෝගියාගේ රුධිරය පිරිසිදුවේ. 

ප්‍රතිකාරයට පෙර රෝගියා සූදානම් කිරීම

පංච කර්ම ප්‍රතිකාරයක් සිදුකිරීමට නම් ඒ සඳහා රෝගියා සුදුසු විය යුතුය. වෛද්‍යවරයාද දක්ෂ විය යුතුය. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී එක් වරම රෝගියා ප්‍රතිකාර සඳහා භාජනය කරන්නේ නැත. ප්‍රතිකාරයට පෙර රෝගියා ප්‍රතිකාරය සඳහා සූදානම් කිරීම, ප්‍රතිකාරය සිදුකිරීම හා ප්‍රතිකාරයෙන් පසු රෝගියා නැවතත් යථා තත්ත්වයට පත්කිරීම වැනි ක්‍රමවේදයන් කිහිපයක්ම මෙහි අන්තර්ගත වේ.

නිදසුනක් ලෙස වමන කර්මය ගත්විට මුලින්ම වමනය දැමීම සඳහා රෝගියා සූදානම් කරගත යුතුයි. මෙය පූර්ව කර්මය වන අතර එහිදී රෝගියාගේ සෙම වර්ධනය කිරීම සඳහා ඒ සඳහා සුදුසු ආහාර වර්ග ලබාදිය යුතුය. මෙය වෛද්‍යවරයා විසින් නිර්දේශ කළ යුතු වන අතර රෝගියාට ලබදෙන ආහාරවලට අමතරව ඔහු එම කාලය තුළ ලබාගත යුතු ඖෂධ මොනවාද, එම කාලයේදී ඔහු හැසිරිය යුත්තේ කුමන ආකාරයෙන්ද ඔහුට ලබාදෙන ප්‍රතිදාර මොනවාද යන මේ හැම දෙයක්ම තීරණය කරන්නේ වෛද්‍යවරයා විසිනි.

මෙහිදී ස්නිද්ධ (තෙල් ආලේප කර මුහුණ තැවීම), ශ්වේද (වාෂ්ප ඇල්ලීම) ආදියද සිදුකෙරෙන අතර එමගින් වමනය කිරීම පහසුවේ. වමන කර්මයද ඉතා ප්‍රබලම හා සුළු වශයෙන් සිදුකරන වමන කර්මය ලෙස කොටස් දෙකට බෙදේ. වමනය දමන ප්‍රමාණය, වමනය සමඟ සෙම පිටවන ප්‍රමාණය වෛද්‍යවරයා පූර්ණ අධීක්ෂණයට ලක්වන අතර හොඳ වමනයක් සිදුවී ඇතිද යන්න තීරණය කරන්නේ ඒ අනුවය. වමනය හොඳින් සිදුව ඇත්නම් රෝගියාට විශාල සහනයක් ලැබේ. මෙම වමන ප්‍රතිකර්මය ශක්තිය වැයවන මෙන්ම රෝගියා අපහසුතාවයට පත්වන ප්‍රතිකර්මයකි. ප්‍රධාන වමනෙ කර්මය ප්‍රතිකාරයෙන් පසුව රෝගියා නැවත යථා තත්ත්වයට පත්කර ගන්නේ පශ්චාත් කර්මය තුළිනි. මේ ආකාරයට පංච කර්ම වල සෑම ප්‍රතකර්මයකදීම පූර්ව කර්ම, ප්‍රධාන කර්ම හා පශ්චාත් කර්ම යන ක්‍රම සියල්ල අනුගමනය කළ යුතුය. එසේම මෙම ප්‍රතිකාර ක්‍රමය තුළින් ඉතා සාර්ථක ලෙස විශාල රෝග ප්‍රමාණයකට සහන සලසා ගැනීමේ අවස්ථාව උදාවේ.

චර්ම රෝගීන්ට විරේචන හා වමන කර්ම සුදුසුයි

චර්ම රෝගවලින් පෙළෙන පුද්ගලයන්හට පංච කර්මයෙහි එන විරේචන සහ වමනෙ කර්ම හොඳ ප්‍රතිකාර ක්‍රමයකි. ඒ තුළින් චර්ම රෝග බොහොමයක් සුවකර ගැනීමට අවස්ථාවද උදාවේ. පීනස් වැනි රෝගයන්ගෙන් පෙළෙන්නන්ට නස්‍යකර වැනි ප්‍රතිකාරද සුදුසුවන අතර අංශභාග රෝගීන්ට වස්තිකර්ම සුදුසුය.

දිගුකලක් ගතවෙන ප්‍රතිකාරයකි

පංචකර්ම ප්‍රතිකාර දිනකින් දෙකකින් සිදුකරගත හැකි ප්‍රතිකාරයක් නොවන අතර ඒ සඳහා යම් කාලයක් ගතවේ. එබැවින් අද පවතින කාර්ය බහුල ජීවන රටාවත් සමඟ රෝගියකු වෛද්‍යවරයෙක් වෙත ගොස් එවැනි ප්‍රතිකාර සිදුකර ගැනීම සරළ කාරණයක් නොවේ. ඔහුට ඒ වෙනුවෙන් යම් කාලයක් ගත කිරීමට සිදුවේ. කෙසේ වෙතත් මෙය සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයක් වන අතර එමගින් නියම ප්‍රතිඵල ලැබීමට නම් ප්‍රතිකාර සඳහා සුදුසු රෝගියෙක් වගකීම් සහිත සාත්තු සේවිකාවක්, දක්ෂ වෛද්‍යවරයෙක් මෙන්ම නිසි ඖෂධ යන අවශ්‍යතාවයන්ද සම්පූර්ණ විය යුතුය. වෛද්‍ය විද්‍යාවට අනුව පංචකර්මය අර්ථ දැක්වෙන්නේ මේ ආකාරයටය. එහෙත් සෑම තැනකම පංචකර්ම මධ්‍යස්ථාන ඉදිවන්නේ මේ කිසිවක් හරි හැටි තේරුම් නොගෙනය.

මුලාවී අමාරුවේ වැටෙන්න එපා

පංච කර්ම ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් හෝ පුහුණුවක් නැති වෛද්‍යවරුන් කියා ගන්නා ඇතැම් පිරිස්ද, මේ සම්බන්ධයෙන් සුළු අවබෝධයක් ලබාගන්නා තවත් පුද්ගලයන්ද අද පංච කර්ම යන නම භාවිතා කරමින් ඇතැම් ස්ථාන පවත්වාගෙන යන්නේ වාණිජ පරමාර්ථයන් උදෙසාය. මෙම ස්ථාන වලදී පංච කර්මයට අදාළ ප්‍රතිකාර එක් දිනකින් සිදුකළ හැකි ප්‍රතිකාර ලෙස හුවා දක්වන අතර ඇතැම් පුද්ගලයන් මෙවැනි ස්ථානයන්ට යන්නේ පංච කර්මය ගැන කිසිත් නොදැනය. මේ නිසා මෙවැනි ප්‍රතිකාර වලට කෙටිකාලීනව යොමුවීමෙන් රෝගීන් විවිධ වූ අපහසුතාවන්ට පත්වන අතර මේ තරම් හොද නමක් දිනා සිටින ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටද පහරක් එමගින් වැදෙන්නේ වැරදි විදිහට වැරදි පුද්ගලයන් මෙම ප්‍රතිකාර ක්‍රමය යොදාගැනීම නිසාය.

ආයුර්වේදයට විශාල නැඹුරුවක්

රටක් ලෙස ලෝකෙට දීමට හැකි වටිනාම සම්පත් දෙකක් අප සතුවන අතර ඉන් එකක් වන්නේ නිර්මල බුදුදහමයි. අනෙක අපේ වෙදකමයි. ලෝකයේ රටවල් බොහොමයක්ම අද වනවිට අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කෙරෙහි නැඹුරුවක් දක්වන්නේ එමගින් රෝග සුවකර ගැනීමට ඇති හැකියාව හා අතුරු ආබාධ නොමැතිවීම නිසාය. මෙරට සංචාරකයන් විශාලවශයෙන් ගැවසෙන හෝටල්වල ආයුර්වේද මධ්‍යස්ථානද පවතින අතර මේවායින්ද ඇතැම් හෝටල් නියම ප්‍රමිතියකින් යුත් පංචකර්ම ප්‍රතිකාර ක්‍රමවේද පවත්වාගෙන යනු ලැබේ. එහෙත් ඇතැම් හෝටල්වල ආයුර්වේද මධ්‍යස්ථානවල පංචකර්ම ලෙස සිදුකරන්නේ තෙල්ගෑම, සංභාහනය හා වාෂ්ප ඇල්ලීම යන ඒවා පමණි. එය ආයුර්වේද ක්ෂේත්‍රයට කෙරෙන විශාල වැරැද්දක් වන අතර නියම පංච කර්ම ප්‍රතිකාර හරහා ලෝකෙන්ම අවධානය දිනාගත හැකිවේ.

පංචකර්ම හරහා සුන්දර පෙනුමක්

සුන්දර රූප ස්වභාවයකින් යුක්තව ප්‍රියමනාපව හා ශක්තිවන්නට ජීවත්වීමට ඕනෑම පුද්ගලයකු කැමැත්තක් දක්වන අතර නිවැරදි පංච කර්ම ප්‍රතිකාරවලට යොමුවීම හරහා මේ සියල්ලන්ම සපුරාගත හැකිය. රෝගීන් සුවපත් කිරීම පමණක් නොව නීරෝගී පුද්ගලයන්ගේ නීරෝගී බව ආරක්ෂා කරන මෙම ප්‍රතිකාර සඳහා යොමුවීමේදී වඩා වැදගත් වන්නේ ඒ සඳහා සුදුසුම වෛද්‍ය මධ්‍යස්ථාන තෝරාගැනීමයි.

♦ හේමමාලා කුමාරි රාජකරුණා

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00