2017 ජුනි 17 වන සෙනසුරාදා

මිල්කෝ කිරි කාණු පල්ලේ

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 653

 කිරි ගොවීන් වැඩි කළාට ගබඩා කිරීමේ ඉඩකඩ එහෙමමයි 

 කිරි ලීටර් ලක්ෂ ගාණක් විනාශ කරන කතාව බොරුවක් - සභාපති 

ජූනි පළමුවන දින ජගත් කිරි දිනය ලෙසයි සලකන්නේ. ඒ දිනය රජයේ මිල්කෝ ආයතනය විසින් සමරා ඇත්තේ ලීටර ලක්ෂයකට ආසන්න කිරි ප්‍රමාණයක් පරිසරයට මුදාහරිමිනි. එසේ එළකිරි ලීටර ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් මිල්කෝ සමාගම විසින් විසි කර ඇත්තේ ජගත් කිරි දිනය සැමරීමටද නැතිනම් මිල්කෝ සමාගමේ කළමනාකාරීත්ව දුර්වලතා නිසාද යන්න අපට සොයා බැලීමට සිදුවිය. 

මිල්කෝ එසේ කැලෑවට මුදාහැර අමුකිරි විනාශ කිරීම පටන්ගෙන ඇත්තේ මීට මසකට පෙර සිටයි. 2012 වසරින් පසුව ප්‍රථම වරට සිදුවූ කිරි විනාශය මාසයක් තිස්සේ පැවැති බවත් ඒ නිසා විනාශ වූ කිරි ප්‍රමාණය ආසන්න වශයෙන් ලීටර් දස ලක්ෂයට ආසන්න බවත් වාර්තා වේ. එය මෙරට දිනක සම්පූර්ණ කිරි නිෂ්පාදනයට ආසන්න අගයකි. 

මැයි මස අවසන් දින දෙකදී පමණක් කිරි ලීටර දෙලක්ෂ අසූදහසක් විනාශ තිබේ. එහි වටිනාකම ලක්ෂ 130කි. වාර්ෂිකව මැයි මාසයේ කිරි නිෂ්පාදනය ඉහළ යෑමක් සිදුවේ. නමුත් මෙවර නොසිතූ පරිදි දේශීය කිරි නිෂ්පාදනය ඉහළ යාම සහ ඊට මුහුණු දීමට රජයට සැලසුමක් නොමැතිකම මේ විනාශයට මුල්වූ ප්‍රධානම හේතුවයි. කිරි නිෂ්පාදනය එලෙස ඉහළ යාමට හේතු වූයේ වසර දෙකකට පෙර රුපියල් 40ක්ව පැවැති කිරි ලීටරයක සහතික මිලි රුපියල් 70 දක්වා වැඩි කිරීම නිසා මේ ව්‍යාපාරයට අලුතින් ගොවීන් එක්වීමයි. එමෙන්ම ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙන් දිනකට කිරිලීටර 50ක් දක්වා ලබා ගත හැකි එළදෙනුන් 5000ක් පමණ ගෙන්වීමත් මීට හේතු වන්නට ඇත.

මිල්කෝ සමාගම සතු ගබා කිරීමේ දෛනික ධාරිතාව ලක්ෂ දෙකක් වන අතර මේ දිනවල එකතුවන කිරි ප්‍රමාණය ලක්ෂ තුනකට ආසන්නය. පසුගිය අවුරුදුවල මෙලෙස එකතුවන අතිරික්ත කිරි කොත්මලේ හා පැලවත්ත සමාගම්වලට අඩු මිල ගණන් යටතේ විකිණීමට පියවර ගැනුණත් මෙවර එවැනි ක්‍රියාමාර්ගයක් නොගෙන කිරි විනාශ කළ බවද වාර්තා වෙයි. මේ විනාශයේදී අඹේවෙලදී දින දෙකකදී ලීටර් 6000ක ධාරිතාවකින් යුත් බවුසර දෙකක කිරි විනාශ කර තිබේ. මීට අමතරව පොළොන්නරුව ගබඩා කිරීමේ මධ්‍යස්ථානයෙන් ලීටර 70000ක් ද දිගන මධ්‍යස්ථානයෙන් ලීටර 30000ක් සහ නාරහේන්පිට මධ්‍යස්ථානයෙන් ලීටර 60000ක්ද දින දෙකකදී විනාශ කර තිබේ.

“මිල්කෝ ආයතනය ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතට පවතින රජයේ ආයතනයක්. 60000ක පමණ කිරිගොවියන්ගේ කිරි නිෂ්පාදන මෙම ආයතනය විසින් මිලදී ගනු ලබයි. එනම් දෛනික කිරි නිෂ්පාදනයෙන් සියයට 30-40ක් පමණ මිලදී ගනු ලබන්නේ මිල්කෝ සමාගම විසිනි. එහි සභාපතිවරයාවරයා පවසන්නේ ඔවුන්ට අඛණ්ඩව කිරි සපයන හා එසේ නොසපයන සෑම ගොවියෙක්ගේම හැම කිරි බින්දුවක්ම මිලදී ගන්නා බවයි. වෙනත් කිරි මිලදී ගන්න ආයතන තිබුණත් ඔවුන් ගොවියන්ගේ අතිරික්ත නිෂ්පාදන ගන්නේ නැත. මිල්කෝ ආයතනය රාජ්‍ය ආයතනයක් නිසා ගොවියන් ආරක්ෂා කරනු පිණිස ඔවුන් ආපසු හරවා නොයවා සෑම කිරි බිංදුවක්ම මිලදී ගන්නා බවත් කියයි. වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කීයේ “අපේ ආයතනයේ දවසකට ගබඩා කරන්න පුළුවන් ධාරිතාව ලක්ෂ දෙකයි. ඒ වුණාට වෙළඳපොළෙන් ලැබෙන කිරි ලීටර් දෙලක්ෂ හැත්තෑ දාහම (270000) ම ගන්නවා. ධාරිතාව ලක්ෂ දෙකක් තිබිලා හැත්තෑ දාහක් වැඩිපු ගත්තාම කිරි කල්තබා ගත නොහැකි නිසාත් ආයතනයේ තත්ත්වය ගැන අපි වඩාත් සැලකිල්ලක් දක්වන නිසාත් කිරිවල නැවුම්භාවය ඉවත්වන පැය ගණන ඉක්මවා ගියොත් අනිවාර්යයෙන්ම එම කිරි ඉවත් කරන්න සිදුවෙනවා.” 

මිල්කෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ තමන් යටතේ රටේ කිරි නිෂ්පාදනය ඉහළ යන බව පෙන්වීමට ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා මිල්කෝ සමාගමේ නිලධාරීන්ට දැඩි බලපෑම් කරමින් ගොවීන්ගෙන් කිරි වැඩි ප්‍රමාණයක් එකතු කිරීමට සැලසුම් කර ඇති බවයි. වැඩිපුර කිරි එකතු කිරීමට බලපෑම් කළ අමාත්‍යවරයා ආයතනයේ ගබඩා පහසුකම් වර්ධනය නොකළ නිසා මේ කිරි විනාශය සිදුවී තිබෙන බවයි. මේ සම්බන්ධයෙන් විමසීමට ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම් අවස්ථා ගණනාවක්ම සම්බන්ධකර ගැනීමට උත්සහ කළද ඔවුන් සම්බන්ධ කරගත නොහැකි විය.

සැලසුමක් නැතිකම විනාශයට හේතුවයි

කරුණු පැහැදිලි කරමින් මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ කිරිගොවියන් ආරක්ෂා කිරීම සඳහා අතිරික්ත කිරි එකතු කිරීමට සිදුවන බවයි. “මිල්කෝ ආයතනය ලක්ෂ ගණන් කිරි ඉවත් කරනවා යැයි පුවත්පත් කිහිපයකින්ම සඳහන් කළ සංඛ්‍ය ලේඛන වැරදියි. අනිවාර්යයෙන්ම යම්කිසි ප්‍රමාණයක් ඉවත් කරන්න සිදුවෙලා තියෙනවා. අපිට කිරි ඉවත් කිරීම හෙට සිට වුණත් නවත්වන්න පුළුවන් ගොවියන්ගේ කිරි ගන්නේ නැත්තම්. 

ඊට පස්සේ ගොවියෝ පාරට ඇද වැටෙයි. මිල්කෝ ආයතනය රජයේ ආයතනයක් නිසා අපිට හානියක් වෙන්නේ නැහැ. නමුත් රාජ්‍ය ආයතනයක් විදිහට ගොවියෝ නගාසිටුවීම අපේ අරමුණක් නිසා කිරි සේරම අපි ගන්නවා. ගන්න කිරි ලීටර දෙලක්ෂ හැත්තෑ දහසින් හැත්තෑ දාහම අපි ඉවත් කරන්නෙත් නෑ. පැල්වත්ත වැනි කිරි යවන්න පුළුවන් අපේ අනෙකුත් ආයතනයන්ට කිරි බෙදාහරිනවා. ඊට අමතරව වෙළඳපොළේ වැඩි ඉල්ලුමක් නැති අපේ අනෙකුත් නිෂ්පාදනත් අපි නිෂ්පාදනය කරනවා. ඉන්පසුව ඉතාමත් අවම ප්‍රමාණයක් විතරයි අපි ඉවත් කරන්නේ.” 

1970 ගණන්වල මැද භාගයේදී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හදුන්වාදීමට පෙර කිරි ආහාර ආනයනය කරන ලද්දේ ඉතා මඳ වශයෙනි. නමුත් 1970 ගණන්වල ආර්ථිකය විවෘත කිරීමත් සමඟ මෙම තත්ත්වය වෙනස් විය. සම්පූර්ණ යොදය සහිත හා රහිත කිරිපිටි ප්‍රධාන කොට වූ කිරි වර්ග ආනයනය කිරීමට බහුජාතික සමාගම් ඇතුළුව නව ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම ඉදිරිපත් වූහ. මෙසේ ප්‍රමාණයකින් තොරව කිරි ආනයනය නිසා දේශිය කිරි වෙළදපොළ සංයුතිය ඉක්මනින් වෙනස්විය. 63%ක් වූ දේශීය කිරි නිෂ්පාදනය 24%ක් දක්වා අඩු වූ අතර ආනයන කිරි වෙළෙඳපොළ කිරි අවශ්‍යතාව සැපයීමේ ප්‍රබල සාධකය බවට පත්ව ඇත. මේ අන්දමින් කිරි පිටි අලෙවිය අතිශයින් ලාභදායී ව්‍යාපාරයක් බවට පත්විය. කිරි පිටි ඇසුරුම්කරුවන් විසින් තමතමන්ගේ කිරිපිටි ප්‍රචාරණය කිරීමට පටන්ගන්නා ලදී. දරුවන් සදහා කිරි වීදුරුවක් දීමත් වැඩිහිටියන් කිරි තේ පානයට යොමුවීමත් සාමාන්‍ය පවුලක දෛනික පුරුද්දක් බවට පත් විය. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට කිරි වැදගත් පරිභෝජන භාණ්ඩයක් බවට පත්විය. 2000 වසරින් පසු නැවත දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගත්තද ඒ සෑම අවස්ථාවකදීම අසාර්ථක විය. මෑත භාගයේ ආනයනික පිටි කිරි අධෛර්යමත් කිරීම සඳහා අධික බදු පැනවීමට කටයුතු යෙදුණි. ඉන්දියාව ලෝකයේ වැඩිම දියර කිරි නිෂ්පාදනය කරන රට බවට පත් වීමට හේතුවූයේ ඉන්දිරා ගාන්ධි විසින් ආනයනික කිරි සඳහා පැනවූ අධික බඳු ප්‍රතිපත්තියයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර් යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මිල්කෝ ආයතනයේ අර්බුදය පැහැදිලි කරමින් මෙසේ කීය. “ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල අඩුවීමත් සමඟ මෙරට ව්‍යාපාරිකයෝ කිරිපිටි තොග වශයෙන් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම හරහා වෙළඳපොළේ කිරිපිටි ඒකාධිකාරයක් ඇති කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය නායකයෝ කිරි නිෂ්පාදනය කරන රටවලට කළ සංචාරවලින් පස්සේ කිරිපිටි කිලෝවකට පනවා තිබූ බද්ද රුපියල් 45 දක්වා අඩු කිරීමද දියර කිරි මහපාරේ හැලීමට හේතු වුණා.” 

දේශීය වශයෙන් පරිභෝජනය සඳහා වසරකට කිරි ලීටර් මිලියන 750ක අවශ්‍යතාවක් පවතී. මෙරට නිෂ්පාදනය වන්නේ ඉන් 20% ක් පමණි.  2010 වසරේ මාසික දේශීය කිරි නිෂ්පාදනය ලීටර් 20629500 කි. 2011 දී එය ලීටර් 21530250 කි. 2012 මාසික නිෂ්පාදනය කිරි ලීටර් 23763960 කි. 2013 කිරි ලීටර් 26516160 කි. 2014 නිෂ්පාදනය 27291240 කි. ඒ අනුව දේශීය කිරි නිෂ්පාදනය ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරයි. එසේනම් ඊට සාපේක්ෂව කිරිපිටි ආනයන කිරීම සීමා කළ යුතුයි. නමුත් සිදුවන්නේ අනෙකකි. 2000 වසර මුල් භාගයේ ආනයනික කිරිපිට මත රඳා පැවැත්ම 45%ක් වූ අතර එය අදවන විට 80% දක්වා වැඩි වී ඇත. එමගින් ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල උච්ඡාවනය මෙරටට බලපෑම ඇතුළු තවත් අතුරු විපාකවලට අපට මුහුණ දීමට සිදුවේ.

පිටි කිරි ආනයනයට වාර්ෂිකව රුපියල් බිලියන 60ක් පමණ වැය වේ. එය ආනයනයන් සඳහා වැය කරන මුළු මුදලින් 14%කි. දේශීය වශයෙන් නිෂ්පාදිත කිරි පරිභෝජනය කිරීම හා වටිනාකම් එක්කළ නිෂ්පාදිත ලෙස කිරි නිෂ්පාදනය විවිධාංගීකරණය ආදියෙන් දේශීය කර්මාන්තය සංවර්ධනය කළ යුතුය. දේශීය කිරිපිටි නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයන් මැලිකමක් දක්වන්නේ එම නිෂ්පාදනයන්වල තත්ත්වය, ප්‍රචාරණය, ආකර්ෂණය වැනි දුර්වලතා හේතුවෙනි. මේ සියලු කාරණාවක්ම අවසානයට මිල්කෝ ආයතනයේ කිරි කාණුවට හැලීමට දායකවී ඇත. 

වාර්ෂික ඒක පුද්ගල කිරි පරිභෝජනය කි. ග්‍රෑම් 200ක් විය යුතුය. ඉන්දියාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්‍රෑම් 72කි. නේපාලයේ කිලෝ. ග්‍රෑම් 40කි. පකිස්ථානයේ කිලෝ ග්‍රෑම්180කි. අමෙරිකා එක්සත් ජනපදයේ කිලෝ ග්‍රෑම්.234කි. මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ අඩුවෙන්ම කිරි පරිභෝජනය කරන රටක් බව පෙන්නුම් කරයි. එමෙන් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගේ 16%ක් මන්දපෝෂණයෙන් පෙළෙයි. එවන් තත්ත්වයක් තුළ වැඩිපුර නිෂ්පාදනය වන කිරි විනාශ කර දැමීමම කොතරම් සාධාරණ දැයි ප්‍රශ්න කළ යුතුය. පෙර රජය ද මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමේදී ඔවුන් ලබා දුන් විසඳුම වූයේ පාසල් ළමුන්ට කිරි වීදුරවක් නොමිලේ ලබා දීමයි. එසේ නම් මෙවරත් ආරක්ෂ අංශවල, පොලීසිය වැනි ආයතනවලට එම කිරි ලබා නොදුන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ යුතුය.

සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මිල්කෝ ආයතනය දිනකට ලීටර් ලක්ෂ ගණනක් අපතේ යවන්නේ එම ආයතනයට අවශ්‍ය තරම් ගබඩා පහසුකම් නොමැතිවීම හා අවශ්‍ය තරම් ඉල්ලුමක් නැතිවීම නිසා යැයි පැවසීය. මිල්කෝ සමාගමේ ගබඩා පහසුකම් අවශ්‍යතාවය 2012 වර්ෂය සිටම විවිධ පාර්ශවයන් විසින් පෙන්වා දෙනු ලැබීය. 2015 වසරේ ඩෙන්මාර්කය විසින් එහි ධාරිතාව ලක්ෂ අට දක්වා වැඩි කිරීමට පොරොන්දු විය. 2016 වසරේදී නවසීලන්ත දූත පිරිසක් එවක මුදල් අමාත්‍යවරයා හමුවී මෙරට කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට අවශ්‍ය උපකාර කිරීමට පොරොන්දු විය. එහෙත් තාමත් කිසිදු පියවරක් ගෙන නැත. 

කිරි ගොවීන් ලක්ෂ දෙකහමාරක් සහ කිරි ගවයන් හා මී ගවයන් ලක්ෂ 13ක්ද සිටින රටක කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 120කින් පමණ කිරි එකතු කරන රජයේ සමාගමක තිබෙන ධාරිතාව ලක්ෂ දෙකක් වීම කෙතරම් විහිලුවක්ද? “කිරි ලීටර් ලක්ෂ දෙකක ෆැක්ටරි හතරකයි ගබඩා කෙරෙන්නේ. අඹේවෙල විතරක් අපි ප්‍රොසෙස් කරනවා කිරි ලීටර එක් ලක්ෂ දහදාහක්. අඹේවෙල ෆැක්ටරිය නවීකරණයට දීලා තව සුමාන දෙකකින් අපිට භාර දෙනවා. එතකොට තව අමතර කිරි ලීටර් ලක්ෂ තුනක් අඹේවෙල ෆැක්ටරියෙන් ප්‍රොසෙස් කරන්න පුළුවන්. එතකොට ලංකාවේ හැම කිරි ප්‍රමාණයම ගන්න පුළුවන්.” යැයි මිල්කෝ සමාගමේ සභාපතිවරයා කීය. එම ව්‍යාපෘතිය මීට වසරකට පමණ පෙර සිදු කිරීමට තිබුණ ද යම් කිසි ප්‍රමාදය සිදුවූ බවත් හෙතෙම පැවසීය. මීට අමතරව 2019දී බඩගල්ගම ව්‍යාපෘතිය මෙහි දෙවන අදියර වශයෙන් අවසන් කෙරෙන බවත් ඔහු කීය. දැනට ශ්‍රී ලංකාව තුළ කිරි එකතු කිරීම, ශීත කිරීම, ප්‍රවාහනය හා සැකසීම සඳහා ඇති පහසුකම් කිරි නිෂ්පාදනය වැඩි වීමත් සමඟම නුදුරු අනාගතයේදීම වැඩි විය යුතු බව අපගේ අදහසයි. 

♦ සකීෆ් සාම් තන්වීර

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00