2017 ජුනි 17 වන සෙනසුරාදා

අස්ථි කැඩුණොත් එකවිදියක් බිඳුණොත් තව ක්‍රමයක්

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 5028

♦ කියන විදිහට හිටියොත් මාස තුනෙන් ගොඩදාන්න පුළුවන්

♦ ඇල්වතුර ලෙඩේට විසයි

♦ තෙල්, මිරිස්, විනාකිරි, අන්නාසි තහනම්

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයන්හි තවත් ඉතා වැදගත් අංගයකි කැඩුම් බිඳුම් වෙදකම. විවිධ හේතු නිසා ඇතැම් අවස්ථාවලදී අපගේ සිරුරේ අස්ථි කැඩී බිඳීයාම් සිදුවිය හැකි අතර එවැනි අවස්ථාවලදී බොහෝ දෙනකු ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමුවෙන්නේ අනාදිමත් කාලයක පටන්ම ඒ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පවතින නිසාය.

කැඩුම් බිඳුම් කියූ පමණින්ම නිසැකයෙන්ම අපගේ සිහියට නැගෙන්නේ හොරිවිල වෙද මැඳුරයි. හොරිවිල වෙදකම ධාතුසේන රජ්ජුරුවන්ගේ රජසමය දක්වාම දිවයන අතර හොරිවිල පරපුරේ පළමුවෙනි වෙදපුරුක හමුවන්නේ ධාතුසේන රජතුමාගේ රාජ සභාවෙනි. එනම් හොරිවිල වෙද පරපුරේ ආරම්භකයා ධාතුසේන රාජසභාවේ ප්‍රධාන වෛද්‍යවරයායි. මේ වනවිට එය පරම්පරා 36ක් දක්වා දිවගොස් ඇති අතර මෙහි ඇත්තේ පරම්පරාවෙන් පරම්පරාවට යන වෛද්‍ය ක්‍රමයකි. වර්තමානයේ වෛද්‍ය කටයුතුවල නියැලෙන්නේ 36 වැනි පරම්පරාවයි. කැඩුම් බිඳුම් වෙදකම සම්බන්ධයෙන් අද අපව දැනුම්වත් කරන්නේ එම පරම්පරාවේ වත්මන් වෛද්‍යවරයකු වන හොරිවිල වෙද මැඳුරේ කැඩුම් බිඳුම් පිළිබඳ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සඳුන් ලක්ෂිත සේනානායක මහතායි.

කැඩුම් බිඳුම් වෙදකමේදී ඒ මොහොතේ සිදුවන අනතුරු හේතුවෙන් ඇතිව අස්ථි බිඳීම්වලට ප්‍රතිකාර කෙරෙන අතරම කල්ගතවූ කැඩුම් බිඳුම් සඳහාත් ප්‍රතිකාර සිදුකෙරෙනවා. එතනදී මූලික වශයෙන් අද වෙද්දී අපි අපේ පරම්පරාවෙන් එන ප්‍රතිකර්මයි, අපි ඉගෙනගත් දේවලුයි යන දෙකම එකතු කරගෙන තමයි මේ ප්‍රතිකාර කටයුතු සිදුකරගෙන යන්නේ.

කැඩුම් බිඳුම් රෝග තත්ත්ව දෙකක්

අස්ථියකට යම් හානියක් සිදුවූ අවස්ථාවකදී හරියටම සිදුවී ඇත්තේ කුමක්ද යන්න මූලිකවම පරීක්ෂාකර හඳුනාගත යුතුයි. කැඩුම් බිඳුම් යන්න වචන දෙකක් වන අතර කැඩුමක් යනු අස්ථියක් අනිවාර්යයෙන්ම දෙකට වෙන්වීමයි. බිඳීමකදී අස්ථිය වෙන් නොවී අස්ථිය පුපුරා යාමක් හෝ අස්ථියේ කොටසක් වෙන්වී යාමක් සිදුවිය හැකිය. 

විශේෂයෙන්ම අස්ථි කැඩීයාමක් හෝ බිඳීයාමක් සිදුවන්නේ යම් අනතුරකදීය. මේවා රථවාහන අනතුරු, පැනීමකදී සිදුවන අනතුරු, බර ඉසිලීමකදී ඇතිවිය හැකි අනතුරු විය හැකිය. මීට අමතරව පහරදීම්, යන්ත්‍ර සූත්‍ර පරිහරණය කිරීම ආදියේදීද මෙලෙස අස්ථි කැඩීමක් හෝ බිඳීයාමක සිදුවිය හැකිය. මේ කුමන අවස්ථාවකදී වුවද වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන්නේ හොඳින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් වර්තමානයේදී අස්ථිවලට සිදුවන හානිවලදී බොහොමයක් දෙනා මුලින්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන අතර ආයුර්වේද ප්‍රතිකාර වෙත එන්නේ ප්‍රථමාධාර හා මූලික ප්‍රතිකාරවලින් අනතුරුවය.

අස්ථි බිඳී යාමකදී 

අස්ථි බිඳීයාමකදී මූලිකවම සිදුකළ යුත්තේ රෝගියාට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබාදීමයි. එහිදී මූලිකවම රෝගියාව සන්සුන් කළ යුතුයි. මෙලෙස රෝගියා සන්සුන් කරන්නේ යම් අනතුරක් නිසා රෝගියා තැති ගැන්මකට ලක්වූ බැවින් ඔහුගේ මනස ප්‍රකෘති තත්ත්වයෙන් පවත්වා ගැනීමටය. අනතුරුව අස්ථි බිඳීගිය ප්‍රදේශය පරීක්ෂා කර එම ප්‍රදේශයෙහි මතුපිට යම් තුවාලයක් සිදුව ඇත්නම් එය පිරිසිදු ජලයෙන් සෝදා පිරිසුදු කිරීමක් සිදුකරගත යුතුය. එහෙත් රෝගියකු උඩකින් වැටුණු අවස්ථාවකදී ඔහුට වතුර පෙවීම ආදිය සිදු නොකළ යුතුය. එවැනි අවස්ථාවකදී මොළයට සිදුවිය හැකි හානිය වැඩි නිසා එවැනි රෝගියකු ඉතා පරෙස්සමින් රෝහල වෙත රැගෙන යා යුතුය. මෙවැනි අවස්ථාවකදී සිරුරේ යම් අස්ථියකට (අත්, පා) හානියක් සිදුවී ඇති බවට හඳුනාගන්නට හැකි නම් එම ස්ථානයට පටියක් වැනි දෙයක් තබා බැඳ නොසෙල්වෙන ලෙස තබා ගනිමින් රෝගියා රෝහල වෙත ගෙනයාම වඩා උචිතය. එහිදී රෝගියාට විය හැකි හානිය අවම වේ.

අස්ථියක් වැරදි ආකාරයට සවිවුවහොත්

අස්ථි බිඳීමකදී රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමුවෙන්නේ බටහිර ප්‍රතිකාරවලින් අනතුරුවය. බොහෝ පිරිස් එලෙස පැමිණෙන්නේ බටහිර ප්‍රතිකාරවලදී ඇතිවන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසාය. ඇතැම් රෝගීන් බැන්ඩේජ් දමා යම් කාලයකට පසුව ලබාගන්න X-Ray පිටපත්වලදී එම අස්ථි නිවැරදි ආකාරයට සම්බන්ධ වී නොමැති බව දැකගන්නා අතර පසුව එය නිවැරදි කරගැනීමට ආයුර්වේද ප්‍රතිකාර කෙරෙහි යොමුවේ. එතනදී ආයුර්වේද ප්‍රතිකාරවලදී සිදුකරන්නේ බැන්ඩේජ් එක කපා ඉවත්කර නැවත අස්ථි තිබූ ආකාරයට සකස්කර ඒවා සවිවීමට ඖෂධ ලබාදීමයි. අස්ථියක් නැවත සැකසීමේදී ඒවා නිවැරදි ආකාරයට පිරිසකර කිරීමක්ද සිදුකළ යුතු අතර එසේ නොමැති වුවහොත් ගැටලුකාරී තත්ත්වයන් රැසකට මුහුණදීමට රෝගීන්ට සිදුවේ. විශේෂයෙන්ම දණහිස පුපුරා ඇති අවස්ථාවක් ගත්විට එය නිවැරදි ආකාරයට පිළිසකර නොකළහොත් එම රෝගියාහට සදාකාලිකවම විශාල අපහසුතාවයකට මුහුණපෑමට සිදුවේ.

වේදනාවෙන් තොර ප්‍රතිකාර ක්‍රමයක්

බොහෝ පිරිසක් අදහස් කරන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව නිවැරදි ආකාරයෙන් සකස් නොවූ අස්ථියක් නැවත සකස් කිරීමේදී එම අස්ථිය සම්බන්ධ වී ඇති ප්‍රදේශය කඩා නැවත ප්‍රතිකාර ලබාදෙන බවය. එසේම එය ඉතා වේදනාකාරී ක්‍රියාවක් ලෙසද බොහෝ දෙනෙකුගේ මතයයි. එහෙත් එය වැරදි ආකල්පයකි. මෙම අවස්ථාව වනවිටත් අස්ථියෙහි කැල්සියම් තැන්පත් වීමෙන් අස්ථිය සවිවී ඇති නිසා එය කඩා බිඳ දැමීමක් සිදුනොකෙරේ. මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී මුලින්ම සිදුකරන්නේ අස්ථියෙහි පළුදු වී ඇති කොටස් බුරුල්වීමට බෙහෙත් බැඳීමයි. එය අතින් සකසාගත හැකි ආකාරයට යම්තාක් දුරකට නම්‍යතාවයකට ලක් කර ගැනීමෙන් පසු ප්‍රතිකාර කටයුතු සිදුකෙරේ.
සාමාන්‍යයෙන් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී විවෘත ශල්‍යකර්ම සිදු නොකරන අතර නම්‍යශීලී තත්ත්වයට පත්කර ගත් අස්ථිය නැවත පිළිසකර කර එයට ඖෂධ යොදා ප්‍රතිකාර කිරීම සිදුකරනු ලබයි.

කැඩුම් බිඳුම් සඳහා ප්‍රතිකාර

අක්‍රමවත් ආකාරයට සවිවූ අස්ථියක් නැවත සකස් කිරීමේදී ඖෂධීය පොට්ටනි හා තෙල් උපයෝගී කරගන්නා අතර අස්ථි බුරුල්වීම සඳහා විශේෂයෙන්ම සැකසූ තෙල් වර්ග ඇත. මෙම තෙල් හොඳින් පිරිමැද තැවීමෙන් අනතුරුව එම අස්ථිය හා ඒ අවට මාංශපේශි බුරුල් වේ. ඉන්පසු බෙහෙත් මැල්ලුම ප්‍රතිකාර සඳහා යොදා ගන්නා අතර එම බෙහෙත් මැල්ලුම සකසා ගන්නේ ඖෂධීය ශාකවල කොළ පොතුවර්ග ගෙන ඒවා කොටා මැලවීමෙනි. මෙම මැල්ලුම මුල්ම ඖෂධීය ප්‍රතිකාරයයි. ඉන්පසුව යම්තාක් දුරකට අස්ථිය සවිවීමෙන් පසුවයි පත්තු බැඳීම සිදුකරන්නේ. පත්තුවකින් සිදුකෙරෙන්නේ අස්ථිය වඩාත් හොඳින් සවි කිරීමයි.

බිඳීගිය අස්ථියක් නැවත තිබූ තත්ත්වයටම ගත හැකිද?

ආයුර්වේද ප්‍රතිකාර හරහා මෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමය හරහාද බිඳුණු අස්ථියක් නැවත සවිමත් වී සුවපත් කිරීම සඳහා සාමාන්‍යයෙන් මාස තුනක පමණ කාලයක් ගතවේ. අස්ථිය නැවත සකස් කිරීමේදී එය කලින් පැවති තත්ත්වය එනම් සියයට සියයක්ම සකස් කරගත නොහැකි අතර එය සකසාගත හැක්කේ සියයට 90-95 අතර ප්‍රමාණයකටය. ඒ මක්නිසාද යත් අස්ථිය බිඳී ගිය පසු එය සියයට සියයක්ම පෙර තිබූ තත්ත්වයටම ගත නොහැකි වීම හේතුවෙනි. එහෙත් රෝගියාට කිසිදු ආබාධයකින් තොරව තමන්ගේ වැඩකටයුතු කරගෙන ජීවන පහසුව ඇතිකරගන්නා මට්ටමට මෙම අස්ථි සැකසීම සිදුකළ හැකිය.

හොඳ විහරණ මගින් ඉක්මන් සුවය

අස්ථි බිඳී ගිය රෝගියකු හට ප්‍රතිකාර පන්තියක් නියම කරන අතරතුරේදීම එම රෝගියා අනුගමනය කළ යුතු පිළිවෙත් එනම් විහරණ පන්තියක්ද හඳුන්වා දේ. ඔහු විසින් නොගත යුතු ආහාර, නොකළ යුතු ක්‍රියාකාරකම්, ස්නානය කිරීමට වෙලාව ආදිය මෙහිදී නියම කෙරෙන අතර රෝගියාට මාස තුනකදී නියමාකාර සුවපත් භාවයක් අත්වන්නේ මෙම පිළිවෙත් අනුගමනය කළහොත් පමණි.

දවල් 12ට පෙර නාන්න

අස්ථි බිඳීමක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා රෝගි‍යකු ස්නානය කළ යුත්තේ දවල් 12ට පෙරය. දවල් 12න් පසු නෑම ඔවුන්ට අගුණ විය හැකි අතර එමගින් රෝගය සුවවීමද ප්‍රමාද විය හැකිය. එසේම අස්ථි බිඳීමක් සිදුවූ විගස එම ස්ථානය සිසිල් ජලයෙන් සේදීම කිසි විටෙකත් නොකළ යුතුය. මෙවැනි අනතුරකදී අන්තර් රුධිර වහනයක් සිදුවිය හැකි අතර එහිදී ලේ කැටියක් ඇතිවුවහොත් සිසිල් ජලය නිසා රුධිර කැටිය ඝනවීමක් සිදුවිය හැකිය. එබැවින් එවැනි රෝගීන් කිසිවිටෙකත් ඇල් වතුර භාවිත නොකර ඒ සඳහා උණුවතුරම පමණක් භාවිත කළ යුතුය. එසේම පපු ප්‍රදේශයේ පර්ශුවලට හානි සිදුවූ විටෙක හෝ උස් ස්ථානවලින් පහළට වැටීම වැනි අවස්ථාවකදී එම රෝගීන්ට පානය කිරීම සඳහාත් ලබාදිය යුත්තේ මඳ උණුසුම් ජලයයි. ඊට අමතරව උස් හඬින් කතා කිරීම මෙන්ම උස් හඬින් සිදුකරන කැස්සද එවැනි රෝගීන්ට සුදුසු වන්නේ නැත.

අධික මිරිස් දැමූ ආහාර අගුණයි

අස්ථි බිඳීයාමක් නිසා ප්‍රතිකාර ලබාගන්නා රෝගියකු තමන් ලබාගන්නා ආහාරද පාලනය කිරීම සිදුකළ යුතුය. විශේෂයෙන්ම බර ආහාර ඔවුන්ට සුදුසු නොවන අතර අධික මිරිස් යෙදූ ආහාර, අධික තෙල් සහිත ආහාර, අන්නාසි, තක්කාලි, විනාකිරි දැමූ ආහාරද නොගත යුතුය.

තලනබටු කැල්සියම් බහුල එළවළුවක්

අනෙකුත් රෝගී අවස්ථාවල මෙන්ම මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා විටත් එම රෝගීන්ට අනුභව කළ හැකි ආහාරවර්ග කිහිපයක්ම ආයුර්වේදයෙහි සඳහන්ය. ඒ අතරින්ද පළා වර්ග, කුඩා මාලු, එළවළු ආදිය විශේෂ වේ. මේ අතරින්ද තලන බටු වඩාත් ගුණදායක වන අතර එය කැල්සියම් බහුල එළවළුවකි.

ව්‍යායාමත් අනිවාර්යයි

අස්ථි බිඳීම් සඳහා ප්‍රතිකාර ලබාගන්නා අනිවාර්යයෙන්ම ව්‍යායාමවලද යෙදිය යුතු අතර එලෙස ව්‍යායාම සිදුකළ යුත්තේ වෛද්‍ය උපදෙස්වලට අනුකූලවය. සාමාන්‍යයෙන් රෝගියකු ප්‍රතිකාර හරහා සියයට 75-80ක් පමණ සුවවූ පසුව ඔවුන් ව්‍යායාම සඳහා යොමුකරනු ලැබේ. අස්ථි සඳහා, මාංශ පේශීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා මෙන්ම හොඳ රුධිර වහනයක් පවත්වා ගැනීම සඳහාද මෙලෙස ව්‍යායාම සිදුකරනු ලැබේ. ඒ සඳහා වෛද්‍ය උපදෙස් අවශ්‍ය වන්නේ රෝගියාගේ රෝගී තත්ත්වය කෙබඳුද, ඔහුට කොතරම් බර ප්‍රමාණයක් උසුලන්නට හැකියාවක් ඇතිද යන්න වෛද්‍යවරයා තුළ නිවැරදි අවබෝධයක් ඇති නිසාය.

කෙටීමකදී, උළුක්කුවකදී නිවසේදීම ප්‍රතිකාර කළ හැකිද?

යම් රෝගයක් සඳහා ප්‍රතිකාරයක් ලබාදීම සඳහා එම ප්‍රතිකාර ලබාදෙන පුද්ගලයා තුළ රෝගය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබිය යුතුය. කෙටීම්, උළුක්කු වැනි අවස්ථාවලදී උළුක්කුවකදී එම ස්ථානය ඇදීමක් සිදුකළ යුතු අතර කෙටීමක් සිදුවූ විටෙක එය ඇදීම සිදු නොකළ යුතුය. යම් හෙයකින් හන්දියක් කෙටුණු විටෙකදී අපි මේක අදිනවා කියන මතයේ සිට ඇද්දොත් මෙම ස්ථානයට සිදුවිය හැකි හානිය තවත් වැඩිවිය හැකිය. එබැවින් අවබෝධයකින් තොරව ප්‍රතිකාරයක් කිරීමට යාමකදී සිදුවන්නේ තිබුණු තත්ත්වයටත් වඩා දැඩි හානියක් සිදුවීමයි. එනිසා කළයුතු හොඳම දේ වන්නේ පළපුරුදු වෛද්‍යවරයකු හමුවී සිදුවී ඇති දේ අවබෝධ කරගෙන නිවැරදි ප්‍රතිකාර ලබාගැනීමයි.

කෘත්‍රිම ආහාර නිසා අස්ථිවල ශක්තිය හීනවේ

ශරීර සෞඛ්‍ය කෙරෙහි ආහාර රටාව ඍජුවම බලපාන අතර වර්තමාන දරු පරපුරෙහි අස්ථිවල ශක්තිමත් භාවයේ මේ වනවිට ඇත්තේ ඉතා අඩු මට්ටමකය. කුඩා දරුවන් වැටුන සැණින් ඔවුන්ගේ අතපය කැඩී යන්නේ ඔවුන්ගේ අස්ථි ශක්තිමත් නොවන නිසාය. ඊට හේතුවන්නේ දරුවන් ආහාරයට ගන්නා රසායන ද්‍රව්‍ය, රසකාරක යෙදූ ආහාරය. කෘත්‍රිම ආහාර ගැනීම් රටාවත් සමඟ පෝෂණ ගුණය හීන වී ගොස් බිහිවන්නේ අස්ථි දුර්වල පරම්පරාවකි. නිතරම ස්වභාවික ආහාර මත යැපෙන්නට හුරුවීම හරහා අස්ථි ශක්තිමත් කරගැනීමට හැකියාව ඇත.

කිරි වැඩිපුර බොන්න

අස්ථි වර්ධනය සඳහා කිරි පානය කිරීම වඩාත් සුදුසුය. ඊට අමතරව බටර්, චීස්, පුංචි මාළු වර්ග, යෝගට්, තම්පලා, සාරණ, ගොටුකොළ, තලනබටු, පළතුරු වර්ග, හැකිතාක් ආහාරයට ගැනීමෙන් ශක්තිමත් අස්ථි පද්ධතියක් උරුමකර ගැනීමට හැකියාව ලැබේ.

♦ හේමමාලා කුමාරි රාජකරුණා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00