2017 ජුනි 17 වන සෙනසුරාදා

අනුරගේ අලුත් විප්ලවය

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 228

පසුගිය සතියේ මූණු පොත උණුසුම් කළේ සනත් ජයසූරිය හෝ සුසන්තිකා ජයසිංහ නොවේ. ජයසූරියගේ වීඩියෝවත්, සුසන්තිකාගේ පදක්කමත් අභිබවා අනුර කුමාර දිසානායක හා ඔහුගේ පුත්‍රයා දර්ශකයේ පෙරමුණට පැමිණියහ. “සයිටම්” සටන තුළ ජනතා විමුක්ති පෙරමුණේද සක්‍රීය සහභාගීත්වයක් තිබෙන බැව් නොරහසකි. පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි සටනේ අනුර කුමාරද උද්‍‍‍යෝගිමත් උද්ඝෝෂකයෙකි. එහෙව් අනුර කුමාර ගේ පුත්‍රයා එබදුම විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම බොහෝ දෙනෙකුට ප්‍රහසනයක් වූ අතර ඇතැමෙකුගේ කේන්තිය වඩවන්නක්ද විය. කොහොමටත් අනුර ගේ පුතා ජනතාවගේ මුදල් ගසා කා ලැම්බෝගිනි පැද්දේ නැත. දළදා මාළිගාව අබියස පාරවල් වසා දා “නයිට් රේස්” පැද්දේද නැත. බීමතින් හෝටල් කාමර ඇතුළට කඩා වැදී යුවතියන් දූෂණය කළේද නැත.

භාණ්ඩාගාරයේ සල්ලි ඉල්ලා ගෙන හඳට රොකට් යවන්නට ගියේ නැත. උත්සායෙන් ඉගෙන, රැකියාවක්ද ලබා, කසාදයක් කර ගත්තා පමණි. එහෙම බලද්දී අනුරගේ පුත්‍රයා වැරැද්දක් කොට නැත. එහෙම නම වැරැද්දක් සිදු වී තිබෙන්නේ අනුර අතිනි. නොඑසේනම් ජවිපෙ ප්‍රචාරක යාන්ත්‍රණය පැත්තෙනි. මූණු පොතේ ජවිපෙ හිතවතුන් විසින් අනුරගේ ඡායාරූප වරින් වර මුදා හරිනු අපි පසුගිය කාලයේ දුටුවෙමු. ඒ ඡායාරූපවල සිටියේ සමාජවාදී අනුර කුමාර දිසානායක කෙනෙකි. බැලූ බැල්මට අල්පේච්ඡතාවයෙන් යුතුව දිවි ගෙවන නායකයෙකි. පැලවත්ත කාර්යාලයේ හෝ ගෙදර ඉස්තෝප්පුවේ බත් පිඟානක් අතේ තබාගෙන සිටිනා සේයාරුවක් මූණු පොතේ එහා මෙහා වූවේද මහා කාලයකට පෙර නොවේ. කුඩා දරුවෙකුට බත් කවමින් සිටින ඡායාරූපයක් ගැනද මට මතකයක් තිබේ. කෙසේ වෙතත් ඒ සේයා රූ වලින් තැත් දරා තිබුණේ අනුර බෙහෙවින්ම සමාජවාදී වග පෙන්වන්නටය. වචනයේ නිසැක අර්ථයෙන්ම අනුර වනාහී නිර්ධන පන්තියේ සහෝදරයෙක්යැයි පෙන්වන්නටය. ජවිපෙ කරා කිසිවෙකු ආකර්ෂණය වන්නේ නම්, ඒ “දාස් කැපිටාල්” කියවා නොවේ. අඩුම ගණනේ ජවිපෙ විසින්ම මෑතකදී සොයා ගත් “නවීන සමාජවාදය” පිළිබදවත් අධ්‍යයනය කරන්නට ඔවුන්ට අවශ්‍යතාවයක් නැත. මේ සේයා රූ දැකීමෙන්ම ඔවුහු පැහැදෙති. ඉනික්බිති අනුර සරණ යති. මහින්දට රනිල්ට වගේම අනුරටත් දැන් එහෙම භක්තිකයන් සිටිති. ලක්ෂ ගණනක විශාල මුදලක් ගෙවා SLLIT ආයතනයේ ඉගෙන, ක්‍රිස්තියානි පල්ලියක බටහිර චාරිත්‍රානුකූලව Mod තරුණියක් විවාහ කරගත් අනුරගේ “පොෂ්” පෙනුමැති පුතා මේ භක්තිකයන්ගේ ෆැන්ටසියට මරු පහරක් එල්ල කොට තිබේ. ඒ පහරේ වේදනාව බලවත් වන්නේ අනුරගේ පුතා පක්ෂයේ පූර්ණ කාලීනයෙකු නොවී, මිහින් එයාර් එකේ රැකියාවක නියුතු වන බව දැන ගැනීමත් එක්කය. මිහින් එයාර් එක ගැන අනුර පසුගිය කාලයේ කියූ කතා මතක් වෙන භක්තිකයන්ට දේවාලයේම හිස ගසා ගන්නට සිතුණත් පුදුම විය යුතු නැත.

අනුරගේ කොන්ද ගැන අපි කියන්නම් යැයි පසුගිය කාලයේ අනුර හා එක ගෙයි කෑ මාධ්‍ය මිත්‍රයන් කී කතා හා මේ සිදුවීම අතර සම්බන්ධයක් ඇත්දැයි සොයන්නට යන්නේ ද නැත. “වී FM” එක විකුණුවේ යැයි ඒ කාලයේ පෙරටුගාමීන් තැන තැන කී කතාවද අපි නොතකා හරින්නෙමු. එහෙත් අනුර ගේ මේ සිදුවීම හා බැඳුණු එක්තරා සත්‍යයක් මඟ හැර යන්නට අප සූදානම් නැත. පියා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව මාරාන්තික අරගලයක නියැලෙද්දී පුතා එවැනිම විශ්ව විද්‍යාලයක ඉගෙන ගැනීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? මේ පිළිබදව අදහස් දැක් වූ ඇතැමෙකුට අනුව නම් එය ඇතැම් වාමාංශිකයන්ගේ දෙබිඩි ස්වභාවයය. අනුර කුමාර දිසානායක ගේ වාමාංශිකකම හෝ විප්ලවවාදී බව පිළිබඳව අපට වෙනම කතා කළ හැකිය. අවශ්‍ය නම් ඒ කතිකාව තුළ අනුර දෝහියෙකු හෝ වීරයෙකු කළ හැකිය. එහෙත් ඊට පෙරාතුව අප විසින් නිරවුල් කර ගත යුතු තීරණාත්මක සමාජ විග්‍රහයක් තිබේ.

වාමාංශිකයන් හෝ විප්ලවවාදීන් තව්තිසාවෙන් මෙලොවට ප්‍රාදූර්භූත වන්නේ නැත. ඔවුන් ඉපදෙන්නේ මේ අවවර්ධිත ධනේෂ්වර සමාජයේය. ඔවුන් හැදී වැඩෙන්නේද, දේශපාලනය කරන්නේද ඒ සමාජ ගර්භයේම මිස කොහේ හෝ වෙනත් නිර්මල පරමාදර්ශී විජිතයක නොවේ. ඔවුහු සදා නිම කරන ලද විප්ලවවාදීන් නොවේ. ඔවුහු අත්දැකීම් ආශ්‍රයෙන් උගනිති. ඔවුන් අරගල ආශ්‍රයෙන් උගනිති. එක රැයින් තරු බිහිවුණාට සියක් රැයකිනිදු විප්ලවවාදීන් පහළ වන්නේ නැත. සියයට සියයක් පවිත්‍ර විප්ලවවාදියෙකු වීමේ සිහිනය සිත දරාගත් විප්ලවවාදියෙකු වුවද ප්‍රායෝගික භාවිතයන්හිදී ඇතැම් අගතීන්ට ගොදුරු විය හැකිය. “ශුද්ධ වූ විප්ලවවාදියෙක්” වීමට ඇත්නම් වඩා අනගිය. එහෙත් ඒ ගමනේ හමුවන ප්‍රායෝගික ජීවන අවහිරතා එමටය. ඇතැම් අගතීන්ට ගොදුරු නොවී ඉන්නට පුළුවන් නම් වඩා ශ්‍රේෂ්ඨය. එහෙත් ජීවිතය හැම විටම සරල නැත. ඉතා තියුණු සංවේදී තැන් හිදී විප්ලවවාදීන්ද සසල වේ. එය සසල බව මිස චපලකම නොවේ. එය අසරණකම මිස අවංකකමේ අඩුපාඩුවක්ද නොවේ. අප මේ ජීවත්වන පසුගාමී සමාජය මිනිසුන් නන් අයුරින් අසරණ කරති. අඩපණ කරති. විප්ලවවාදීන්ටද ඉන් ගැලවිල්ලක් නැත. එය අනුර කුමාරටද, ළහිරු වීරසේකරටද, පුබුදු ජයගොඩටද පොදුය. පැහැදිලිවම අවුල ඇත්තේ සමාජ ක්‍රමයේය. මේ ක්‍රමය වෙනස් කළ යුතුව ඇත්තේ එබැවිනි. ක්‍රමය වෙනස් කරන ගමන් තමන්ද වෙනස් වීම ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙකුගේ වුවමනාවය.

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහි සටන පටන් ගන්නේම අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේය යන අර්ථයෙනි. අධ්‍යාපනය ලැබීමේ සම අයිතිය සුරක්ෂා කිරීමද එම සටනේ වැදගත් පදනමකි. අනුර ගේ පුතා SLLIT හි මුදල් ගෙවා ඉගෙනගත් පමණින් ඒ සටන අවලංගු වන්නේ නැත. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිසුන් පොදි ගැසෙන්නේ පොදු සටනකටය. අනුරගේ හෝ තව කාගේ හෝ පෞද්ගලිකත්වය හෙළිදරව් කරගත් පමණින් සටනේ ජීව ගුණයට හානි පමුණුවන්නට හැකි වුවද එහි තාර්කික පදනම් නිශේධනය වන්නේ නැත. නිදහස් අධ්‍යාපනයේ සීමා මායිම් පුළුල් කළේ නම්, අනුරගේ පුතාවත්, ළහිරු ගේ සහෝදරියවත්, ගලප්පත්තිගේ පුතාවත්, තව එබදු බොහෝ දෙනෙකුත් සල්ලි ගෙවා ඉගෙන ගන්නේ නැත. සල්ලි නැති උන් ඒ දෙස බලා හූල්ලන්නේද නැත. අධ්‍යාපනයේ සම අයිතිය පවා සටන් කොට දිනා ගත යුතු තැනකට රැගෙන විත් සමාජයක අනුරගේ පුතා ගැන මේ හැටි උඩ දදා කතා කරන්නට දෙයක්ද නැත. ඉතින් අපි අදින් පසු අනුර ගේ පුතා වෙනුවට අධ්‍යාපනයේ සම අයිතිය සුරකින අයුරු උඩ දදා කතා කරමු.

♦ නලින්ද සංජීව

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00