2017 ජුනි 17 වන සෙනසුරාදා

කිසිවෙක් කිසිවෙකු ළඟට ගතයුතු නැහැ

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 79

දෙහෝරාවකට පෙර තිබූ ගිනි මද්දහන නිසොල්මනේ සිසිල් වෙමින් තිබිණ. අහස මධ්‍යයේ ඉහළටම නැගි සූර්යයාට පවා තමන්ගේ ලොකුකම් ඉවසාගත හැකි සීමාවක් තිබේ. හේ අවරට යමින් තිබිණ. ගංඟාව වැඩි කලබලයකින් තොරව උල්පත් ජලය රැගෙන නිසල ගං බලා ගියේය. මඳක් ගල්තලාවේ වූ කුඹුක් සෙවණක විඩා නිවාලමින් උන් ඔරේනස් පිබිදී උන්නේය. පහළ තැනිතලාව ඈතින් පෙනෙයි. ගව රැලක් තණ පිටි මත කමින් උන්නාහ. උනුන්ව නැවත ගාල්ගත කිරීම සඳහා කැටුව රැගෙන යන ගොපළු කොලුවගේ ඕ..ඕ... හ්... හඬ සුළඟ හා මුසුව යන්තමට වගේ ඇසෙයි. ඔරේනස් දියට බට මුහුණ දෝවනය කරගන්නා වන්හ. සදාහරිත වනාන්තරයේ සිසිල් ජලය, කාගේ නම් ජීවයකට ප්‍රබෝධය නොදෙන්නේද... මුව දෝවනය කරගත් ඔහු ගං ඉවුර දිගේ පැමිණ පාලමෙන් එතෙරට ගම් දිහාවට ඇදුණේය. දින ගණනාවකින් රාසා හෝ මිල්කා නෙත ගැටුණේ නැත. ගමේ ගොයම් කපන කාලය බැවින් කාට කාටත් වැඩ රාජකාරී බහුලය. ගම් මැද්දේ සිට උමතුවෙන් මෙන් කඩිනමින් ආ කාන්තාවක් ඔරේනස්ගේ ඇඟේ හැපී විසිවී බිම පෙරළී ගියේය. වහා ඉක්මන් වූ ඔරේනස් ඇයව නැඟිටගන්නට වාරු විය.

කිමෙක්ද දරුව..

දරුව..? හෙහ්... මට දරුවා කියන එකාගේ වයස බලාපල්ලකෝ

ඇය මහ හඬින් කියා ඔච්චමට වාගේ සිනාසුණාය.

මම දරුවයැයි අදහස් කළේ ඔබගේ මනසින් මිස වයසින් නොවේ. වයසින් වැඩිහිටි අයනම් අප අතර ඕනෑතරම් වෙත්. 

හිඟ පාඩුව ඇත්තේ මනසින් උසස් අයවලුන්ගේය.

මොන කරුමෙක්ද මේ... මම නුඹ වැනි දරුවන් සිය දෙනෙකගේ මවක්... ඒත් කනවැන්දුම් ගෑනි... හෙණ හත ගහනවා මහ මිනිහට... මගේ දරුවො මටම දීලා ඌ මකබෑවුණා...

ඇය අහසට දෑත දිගුකරමින් වරෙක සාපයක් පරිදිද තවත් වරෙක විලාපයක් පරිදිද ඝෝෂා කරන්නීය. ජීවිතයේදී එදා මෙදාතුර ලැබුවා වූද විඳෙව්වා වුද මෙන්ම වින්ඳා වූද ලැබීම් නොලැබීම්වල අපැහැදිලි මතකයන් මනැසින් අතපත ගාමින් ඕ විලාප නැගුවාය.

දහදුක් විඳලා දරුවො හැදුවා. උන්ට දැන් ගෑනු ලොකුවෙලා. උන්ලා හිතා ඉන්නේ ඒ ගෑනු තමයි උන්ලගෙ ජීවිතේ කියලා. ඇයි බොලව්නේ අම්මා... තොපෙ අම්මා මැරිලද මේ ඉන්නේ යසට. කොහෙවත් යන පටන්දර උඩිච්චියෝ.. මගේ කොල්ලන්ව අල්ලගත්තා. 

තොපිට සාප වේවා.. තොපිට සාප වේවා. හෙහ් තමුසෙට තේරෙනවද මම කියන දේ. තමුසෙට තේරෙන්නේ කොහෙද. ඒ දුක දැනෙන්න තමුසෙ ගෑනියක්ය. ගෑනුන්ගෙ දුක දැනෙන්නේ ගෑනියෙක්ට නෙව. පිරිමි උඹලා හිතා ඉන්නේ ගෑනු යන්තර කියලා.

අල්ලා ගත යුතු දෑ නිසි කලදී අල්ලා නොගත් අත්හැරිය යුතු දෑ නිසි කලදී අත්නොහැරි විට ඔවැනි දෑ සිදුවෙනවා දරුව.
ඒක යස ජාති කතාවක්නේ. යකෝ අල්ලන්න ඕන ඒවා සේරම අල්ලපු ගෑනියෙක් මම. ඔව් ඇත්ත මට අතාරින්න තමයි බැරි. මට මගේ දරුවො අතාරින්න බෑ. අර ගෑනු ටික උන්ව බලෙන් අයිතිකරගෙන. මගේ දරුපැටව්. උන් මගේ. උන් මගේ දසමසක් කුසේ හොවලා ලේ කිරිකර පොවලා මම කොයි තරං වෙහෙස මහන්සි වුණාද උන්ව ලොකු මහත් කරන්න.

ඔරේනස් කල්පනා කළේය. මේ මිනිසුන්ය. මනසින් උසස්යැයි සම්මත මිනිසා තමා ගැන අධිතක්සේරුකම් නොකරන්නට කොපමණ ආස්වාදයක් ජීවිතයෙන් ලබයිද? ඒ සියල්ල නැතිව ගියේ මක්නිසාද? තමන් ගැන නොදන්නා තමන් නිසාමය. මේ මිනිසුන්ට මේවා පහදා දිය හැකිද? පොඩ්ඩ බැරිවුණ තැන ඇඟට ගොඩවන්නේය. උන්ට අවශ්‍යව තිබුණේ පීඩනය අනෙකා මත පැටවීම විනා ජීවිතයේ නිස්කලංක බව අවබෝධ කරගැනීම නොවේ.

ඔබගේ ජීවිතයේ ගත යුතු සියලුම වැදගත් තීරණ වැරදි ලෙස ගත් බවක් පෙනෙන්නට තිබෙනවා. එය පිළිගන්නවාද?

හෙහ්... මට කොහෙද වරදුණේ හිතේ ඇති මගේ ළඟට ආපු උන්ට තමයි වැරදුණේ.

මාව හරියට තේරුම් ගත්තෙ නැහැ.

ඒ කියන්නේ ඔබව තේරුම් ගත හැකි අයව ඔබ ළඟට ගත්තෙ නැහැ.

ළඟට ගත්තෙ නෑ නෙමේ උන් ආවෙ නැහැ.

කිසිවෙක් කිසිවෙකුව ළඟට ගත යුතු නැහැ දරැව. තමන්ගේ ජීවිතයේ දැවටෙන ප්‍රාණවාචී අප්‍රාණවාචී සියල්ල තමා විසින්ම තීරණය කළ යුතුය. ඔබ ස්ත්‍රියකි. සමාජයේ ස්ත්‍රිය නැමති භූමිකාව අර්ථ විග්‍රහයක් නැති භූමිකාවකි. ඒ ගැන කිසිවෙක් තර්ක කර නැත. මේ ගැටලු සියල්ලට මුල එයය. ඔබ මුලින්ම කළ යුත්තේ ගැහැනිය යනු කවුරුන්ද යන්න තෝරාබේරා ගැනීමය.

ඇය කල්පනා කරන්නා වන්හ. ඔරේනස් දීර්ඝ දේශනාවක් උදෙසා කරුණු සූදානම් කරගත්තේය. මේ (ගැහැනිය) ගැන ඔබ පවා ජීවිතයේ අසන ප්‍රථම සහ එකම ඇත්ත කතාවකි.

(ලබන සතියට)
♦ සමන් එදිරිමුණි