2017 ජුනි 17 වන සෙනසුරාදා

නිදහස සහ ගොන්කම

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

ශූරයන්ගේ කුසලානය අභියස නිවසේ රූපවාහිනිය ආබාධයට ලක්වීම තරම් වේදනාකාරී සිදුවීමක් නැත. මුළු පවුලම මේ සුද්දාගේ ක්‍රීඩාවේ උමතු රසිකයන් නිසාම ත්‍රීරෝද රථයක රූපවාහිනිය පටවාගෙන එය හදන්නට ගෙන යාමට සිදු විය.

එංගලන්තයේ පැවැත්වෙන තරගය තත්ත්පර ගණනක් තුළ නිවසේ සිට අපි නරඹන්නෙමු. එය අපිට අරුමයක් නොවූවාට මීට දශක කිහිපයකට ඉහත එය සිහිනයක් වන්නට ඇත.

තාක්ෂණයේ විකාශනය මානව පරිණාමයට සමාන්තරව සිදු වූයේ නැත. වත්මන් මානව  පරිච්ඡේදය තුළ තාක්ෂණය සීඝ්‍ර දියුණුවක් ලැබුවේය. එයට සාපේක්ෂව අප පරිණාමය නොවූ නිසාදෝ මේ තාක්ෂණයේ නව මානයන් මිනිසා විකෘති කර ඇති දැයි මට සිතුණි.

රූපවාහිනිය රැගෙන මා රෙපෙයාර් කරන කඩකාමරයට ඇතුළු විය.

“නංගී මේකෙ තියන සේරම අයින් කරලා දෙන්න ඔය ඉස්සරහට දාගෙන ඉන්න ෆොටෝ එකත් අයින් කරන්න. කවදාවත් ඔහොම නොදන්න මිනිස්සුන්ට ෆෝන් එක දෙන්න එපා”

කඩේ අයියා කඩයට පැමිණි තරැණියක් වෙත උස් ස්වරයෙන් අමතනවා මට ඇසිණ.

“ඕව ඊළඟට මොනවා හරි වුණොත් අපි තමයි වග කියන්න ඕන” එසේ කියමින් ඔහු තම අත වූ ජංගම දුරකථනයක් තරුණිය වෙත ලබා දුනි. ඇයද එය රැගෙන කඩයෙන් පිටතට ගියාය.

මගේ වාරය නිසා මම රූපවාහිනිය ඔසවා ඔහුට බාර කළෙමි.

“නෑ බං මල්ලී මේ ළමයි දැන් හැමදෙම දාගෙන ඉන්නෙ ෆෝන්වල, හදන්න දෙනකොටත් සේරම එක්ක අපිට දෙනවා. එහෙම දෙනවද බං ෆෝන් නොදන්න මිනිස්සුන්ට”

ඔහු කීවේ පසුගිය දිනවල රටම කැළඹූ සිදුවීම සිහිපත් කරමිනි

“ඒකනම් ඇත්ත අයියෙ... අන්තිමට මොනදේ වුණත් අයියලව තමයි සැක කරන්නෙ”

මමද කීවේ ඔහුගේ කතාව අනුමත කරමිනි 

“මම කියන්නෙ මේකයි මල්ලී, තමන්ට ඕන දෙයක් කරන්න නිදහස තමන්ට තියනවා. ඒවට අපිට මුකුත් කියන්න බැහැ. ඒ වුණාට මිනිස්සු දැන ගන්න ඕන පෞද්ගලික දේවල් ආරක්ෂා කරගන්න. ඔහේ දීලා යනවා”

ඔහු එසේ කියමින් රූපවාහිනියේ පිටත් ඇණ ටික ගලවා දැමුවේය. 

“පෞද්ගලික වුණත් ඔය වගේ වැඩ කරන්න තරම් මිනිසුන්ට පිස්සුද මන්දා” 

මම කීවේ සැබැවින්ම මිනිසුන්ගේ ජීවන රටාවේ ඇති වල්මත් භාවය පිළිබද කලකිරීමෙනි. 

“මිනිස්සුන්ට තියනවා බං පෞද්ගලික ආශාවන් ඒක හරි අපිට ඒවට මුකුත් කියන්නත් බෑනෙ. ඒක උන්ගෙ නිදහස. මොන විළිලැජ්ජ නැති වැඩේ වුණත් ඒක උන්ට තියන නිදහස. ඒ වුණ්ට ඒ දේවල් රටේ අනිත් මිනිස්සු අතට යනවානම් ඒක උන්ගෙ ගොන්කම”

මොනවාදැයි සිතාගන්නටත් බැරි තරම් කුඩා ප්ලාස්ටික් කැබලි හා වයර් වලින් පිරි පරිපථයක ඔහු දෝෂ සොයමින් සිටියි.

“හදාගන්න පුළුවන් වෙයි නේද අයියේ. මම ඇසුවේ නිවෙසේ ක්‍රීඩා ලෝලීන්ගෙ බලාපොරොත්තු ගැනද චකිතයෙනි”

“අවුලක් නෑ මල්ලි ගොඩ දාගන්න පුළුවන්” 

“අයියලා කොහොමද ඔය ෆෝන්වල පරණ දේවල් හොයන්නෙ” මම ඇසුවේ  බොහෝ අවස්ථාවල නිදහසට කරුණ වන තැන නිරාකරණය කර ගැනීමටය.

“මානසික අසහන තියන උන් තමයි ඕවා කරන්නෙ. හොඳම දේ ෆෝන් එක දෙනවනම් ළඟ ඉඳලා හදා ගන්න ඕන. නැත්තම් මෙමරිය පිරෙන්න මොනවා හරි දාලා දෙන්න ඕන එතකොට පරණ ඒව ගැන වැඩිය හොයන්නෙත් නෑනෙ”
රූපවාහිනියේ ගැලවුණු ඇණ එක දෙක සවි වන විට ගැටලුව නිරාකරණය වී ඇතැයි මම සිතුවෙමි.

ගණන් හිලව් බේරා නැවත මම එන්නට හැරුණමි.

ත්‍රීරෝද රථයක් ගෙන්වා ගෙන රූපවාහිනිය පටවා මම අනෙක් පසෙන් රථයට ගොඩවන්නට ත්‍රීරෝද රථයේ පිටුපසින් අනෙක් පසට මාරු වීමි.

මඟ හොඳට තිබේනම් දෑසත් හොඳට පෙනේ නම් කිම වද්දන් යන්නේ යැයි ත්‍රීරෝද රථයේ පිටුපස සඳහන් කර තිබුණි.
මා දැන් පරිස්සමින් නිවසට යා යුතුය.

ශූරයන් බැලීමට එහි සියල්ලෝ සැදී පැහැදී සිටිති...

♦ තිසුම් නලින

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00