2017 ජුනි 10 වන සෙනසුරාදා

මරා දැමුණු සුන්දර සිහින

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

වැස්ස කළ හදිය පුදුමය. මහා ගංඟා පිටාර ගලමින් මිනිසුන්ට උන් හිටි තැන් නැති කළ හැටි පුදුමය. ගඟක් වගේ නිසලව ගලන්නැයි කියනවා මා අසා ඇති මුත් ගඟක් මෙතරම් පිස්සු නටනවා අසා නැත. පාන්දරම වැඩට යන්නට ඇඳගෙන පාරට බහින විටත් අහස කළු කරගෙනය. කුඩයක් බෑගයේ තිබූ නිසා හිතට බයක් නොවීය.

බස් එක එන්නට තව වෙලා ඇත.

පාසල් යන දරුවන් සිනහ සලමින් පාර පුරා දුවන හැටි හරිම සුන්දරය. එහා පැත්තේ පාසලක්. 
ජීවිතයේ අපිත් දවසක මේ වගේම පාසල් ගිය හැටි මතකය. අපිත් එක්ක හිටපු උන් දැන් කොයි කොයි ලෝකවල ඇත්ද? 

දරුවා සමඟ පැමිණි මව දරුවා පාසල ළඟටම කැදවාගෙන විත් මා ඉදිරියේ නැවතුණි. අම්මා කරගසාගෙන ආ පොත් බෑගය දරුවාට දී හිස අතගා දරුවා පාසල දෙසට යැවීය.

අම්මා නිසලව බලා සිටින්නීය දරුවාද පස්ස හැරි හැරී අම්මා දෙස බලමින් පාසල දෙස පියනගන්නට විය.

සපත්තුව හොඳටම අබලන් වෙලාය. කිලිටු පැහැ මේස් දෙක සපත්තු අඩියෙන් එළියට පැනලාය.

තැනින් තැන නූල් ඇදුනු පොත් බෑගයද පිටේ එල්ලාගෙන ඔහු මේ පිය නගන්නේ ජීවිතේ ජය ගන්නටය.

ඔහුත් අනෙක් දරුවන් මෙන් බොහෝ දේට ආසා කරනවා නොඅනුමානය නමුත් මේ රට තුළ ඇති විෂමතාවයන් ඒ සුන්දර හීන මරා දමා ඇත 

දරුවා පාසලට ඇතුළු විය 

අම්මා මා අසල බස් හෝල්ට් එකට ගොඩ විය. 

මිනිසුන්ගේ අසරණකම නොකීවාට අපිට දැක ගත හැකිය 

ඒ අසරණ ඇස් මා සමඟ සුහදව සිනාසුනාය

“අම්මා කොහෙද මේ ළගද”

මම විමසීම

“ඔව් පුතා මේ ළඟ දරුවා ඉස්කෝලෙ දාන්න ආවා, සපත්තු කැඩිලා නිසා එන්න බෑමයි කියනවා. ඒත් ඉස්කෝලෙ පාඩු වුණොත් අපරාදෙනෙ”

“ඔව් අමාරුවෙන් හරි ඉගෙන ගත්තොත් තමයි දිනන්න පුළුවන්”

මම පැවසීමි

අම්මා ප්‍රිය සිනහවක් නැගීය...

ඇයගේ උත්සාහය ගැන ඇයට ආඩම්බරය 

අපිට මහ ලොකුවට සල්ලි බාගෙ නැති වුණේ ඔය ඉගෙනුම නැති නිසානෙ. අපි දරුවන්ට උගන්න ගන්න මේ දුක් විඳින්නෙ ඒකයි. කරුමේ කියන්නෙ මේ රටේ ඉන්න උන්ට ඒවා නොපෙනෙන එක.

“රට කරවන උන් උන්ට කර ගන්නවා මිස රටේ මිනිස්සුන්ට යහපතක් කරන්න හිතනවා නම් මගෙ දරුවත් මීට වඩා හොඳට ඉස්කෝලෙ යයි” ඇය කීවේ සුසුම් හෙලමිනි.

කොහේ හෝ තැනක ඇයද මේ රටේ ක්‍රමයෙන් අසාධාරණයට ලක් වී ඇතැයි මට සිතුණි. 

සැබෑවකි දේශපාලනය මිනිසුන්ට සංදර්ශන පෙන්වන මහා ප්‍රෝඩාවක් වී හමාරය 

මිනිසුන් බලාපොරොත්තු වූයේ සහනදායී ජීවිතයක්ය 

මගේ බස් එක පැමිණි විට ඒ අම්මාට සමුදී මම බස් රථයට ගොඩවීමි. සිදුවීම ඉතා කෙටිය නමුත් මා සිතට නැගුනේ කවදාවත් නොනැඟුන වේදනාවකි. 

අපි මේ උදාර මාතෘ භූමිය ගැන හැමදාම වන්සෙ කබල් ගෑවාට මේ කෙහෙල්මල් රටේ මොකට ඉපදුනාදැයි හිතට නැගුණි 

එසේ බලන කල මේ අසාධාරණයන් දැක දැක ස්වභාව ධර්මය මේ තරමින් ඉවසනවා පුදුමයැයි මට සිතිණ. 

හමුවෙමූ මේ විලම්බීත අහස යටදීම

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00