2017 ජුනි 10 වන සෙනසුරාදා

නිමකළ සියල්ල සරලය..

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

නැවුම් වාතයෙන්ද තෙතබරිත හරිත වර්ණයෙන් ද ආඩ්‍ය වූ වනාන්තර භූමින් ශෛලම්‍ය අසපුව තුළ ඔරේනස් රැය පහන් කරන්නේය. පලු, වීර ගස් මුදුන්වලද කරඹ වර්ගයේ කටු පඳුරු යාය අස්කොන්වලින්ද නැගෙන නා නා විධ සතා සිව්පාවුන්ගේ හඬවල් වරින් වර ඈතින් ඈතින් මෙන්ම ළඟ ළඟින් ද ඇසෙයි. දැහැනකට සම වැදුනාක් මෙන් කල්පනාවේ නිග්මව උන් ඔරේනස් පා යුග පොළොවේ ගැටෙන හඬකින් හිස ඔසවා බැලීය. ගුරුවරයාණන් වහන්සේ ගල් දොරුව අසබඩ බලා උන්නේය.

ගුරුතුමාණෙනි.

ඔරේනස්... කල්පනාවෙන් පසුවන්නේ මන්ද.

නැත ස්වාමීනි, මාගේ ළඟ කාලය සිහිකළා.

කදිමයි.

ගුරුතුමාණන් වහන්සේ ද පැමිණ ඔරේනස් අබිමුවේ පලක් බැඳ හිඳගත්හ.

ඔබේ චාරිකාව කෙබඳුද ඔරේනස්, දැන් එය ආරම්භ කර කාර්තුවක් ගෙවී ගිහින්.

එහෙමයි ගුරුතුමාණෙනි.

කිමෙක්ද ඔබගේ අදහස.

ස්වාමීනි ප්‍රධානතම ගැටලුව ඇතැම් අවස්ථාවලදී අපගේ දර්ශනය මිනිසුන්ට තේරුම් ගන්නට අපහසුයි.

එය එසේ විය යුතුමයි ඔරේනස්. කල්ප කාලාන්තරයක් වසර සියවස් ගණනාවක් වල්වැදී ගිය සංස්කෘතියක්, එක හීයකින් අස්වද්දා නිම කළ නොහැකියි. ඔවුන් ජානමය ලෙසද සංස්කෘතික ලෙසද හුරු පුරුදු වී ඇත්තේ අත ළඟට වැටෙනා දේ කම්මැලිකමේ බුදීමට විනා වෙහෙස මහන්සි වී යමක් සොයාගන්නට නොවේ. ජීවිතයට මඟ පෙන්වීමක් ලැබිය යුතු වන්නේ ළමා කාලයේ පටන්ය. කලකදී රූස්ස ගසක් සේ වැඩෙන පුංචි පැළයක් පවා අපට රිසි පරිදි නම්මවා ගැනීමට හෝ හැඩ වැඩ කිරීමට කටයුතු කාරණා ආරම්භ කළ යුත්තේ කුඩා කාලයේ පටන්ය. එය ලෙහෙසි පහසු දෙයක්. නමුත් ළමා සිත එසේවුවත් වැඩිහිටි වූ පසු ඔවුනට උවමනා පරිදි ඔවුන් හැඩගැසී අවසන්ය. ඉන් පසු අපිට රිසි පරිදි ඔවුන්ව වෙනස් කරලීම උදෙසා දැරිය යුතු පරිශ්‍රමය අති මහත්ය. ඔබ මිල්කාත් රානාත් කදිම මං තීරුවකට අවතීර්ණ කර තිබේ. ඔවුන් සිතන පතන ආකාරයේ පැහැදිලි වෙනසක් පෙන්නුම් කරයි. දහස් ගණනක් මිනිසුන් නොමිනිසුන් වෙසෙන ගමක්, ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් වෙසෙන රටක්, කෝටි ගණනක් මිනිසුන් වෙසෙන ලෝකයක් වෙනස් කරලීම වනාහී අති දැවැන්ත අවදානමක් සහිත කර්තව්‍යක් වුවද එය ආරම්භ කළ යුත්තේ එක් මිනිසෙකුගෙනි. ඔබ ඒ පළමු පියවර වුවමනාවටත් වඩා සක්‍රීයතාවයකින් තබා තිබේය. එසේ නම් දැන් මේ ගමන දිගටම යා යුතුය. මා ඔබට ආශිර්වාද කරමි.

ස්වාමීනී පළමු පියවර සරල සුගම පහසු දෙයක් සේ පෙනුනද එය ඉතා අපහසු පියවරක් බව දන්නේ මම පමණි.
ඔරේනස් එය දන්නා තවත් අයෙක් වෙයි. ඒ මමය. අනෙක් මිනිසුන් සිතනා අයුරින් ඔබ පිළිබඳව මමද සිතනවා යැයි නොසිතන්න. ඉවසිලි රහිත ලෙස බැලූ බැල්මට ව්‍යාජයක් ලෙසත්, නොවැදගත් දෙයක් ලෙසත් පෙනෙන යමක් එතරමට සරලද? මා කදිම උදාහරණයක් දෙන්නම් ඔරේනස්.

මිනිසුන් අද භාවිත කරන ඇස් කණ්ණාඩියේ මුල්ම බිහිවීම නිකන්ම නිකං අත් කාචයකි. එය පසු කාලීනව කාච දෙකක් බවට පත්විය. නමුදු ගැටලුව වූයේ කාච දෙකක් අත් දෙකෙන් අසට සමීපව තබා යම් කාරණයක් කිරීමට දෑත නිදහස්ව තබාගන්නේ කෙසේද යන්නය. මිනිසුන් මේ සඳහා විවිධ පර්යේෂණ සිදුකළහ. මුලදී ඇස් කණ්ණාඩි කාච තොප්පියේ වාටියට සවිකරන ලදී. එවැනි කාච භාවිත කරන ආකාරය ගැන ඔබට සිතිය හැකිද? ලියුමක් හෝ පොතක් කියැවීමට තොප්පියක් පැළඳීමට අකමැති අයට ඇස් කණ්ණාඩි ස්භාවයෙන්ම තහනම් උපකරණයක් විය. ඉන් පසු විකල්පයක් ලෙස කාච ඉන බඳින පටියේ අල්ලා මසා ගත්හ. එවිට තොප්පිය තරම්ම අපහසු නැතක් ලියුමක් කියැවීමට ඉන පටිය ගලවා මූණේ ගැට ගසා ගත යුතුවිය. එය වෙස් මුහුණක් පැළඳි සොරෙකුගේ පෙනුමක් මිනිසුන්ට ළඟා කරදුනි. පසුව ලෝහ රාමු සහිත ආකෘතියක කාච සිරකල යුතුයැයි එක් පුංචි මිනිසෙක් සිතුවේය. ඔහු ඒ කාච දෙක වටකුරු ලෝහ රාමු දෙකක සවිකර කුඩා ලෝහ කම්බියක් ආධාරයෙන් රාමුවක් එක්කළේය. එහෙත් එය ලියුමක් කියවන විට නහය මත සමබරව පවත්වා ගත යුතුවිය. එය දක්ෂව කළ හැක්කේ සමබරතාව පරතෙරට දත් සර්කර්ස්කරුවෙකුට පමණකි. 

ඔරේනස් ඔබට සිතාගත හැකිද...?

ඔරේනස් සිනාසුනේය. ගුරුතුමාණන්ද ඔහු හා සිනාසුන අතර ඔහු දිගටම කතා කළේය.

ලෝහ රාමු දෙකට සවිකළ අඬු මඟින් කණ්ණාඩිය දෙකන්වලට රඳවා ගැනීමේ තාක්ෂණය බිහිවීම සඳහා තවත් දීර්ඝ කාලයක් ගතවිය. ජීවිතයේ එවැනි දේ සිදුවෙනවා ඔරේනස්. සරල දෙයක් සේ පෙනෙන මේ ඇස් කණ්ණාඩි අඬු දෙකන්වලට පැළඳීම සොයාගැනීම පිණිස ගතවූ කාලය අවුරුදු තුන්සීයකි. ඉතින් ඔරේනස් සොයාගනු ලැබූ, තීරණය කරනු ලැබූ සහ නිමකරනු ලැබූ සියල්ලක්ම සරලය, ඛාමීය. තවමත් ඉටුනොකළ සෑම දෙයක්ම අතිශයින්ම සංකීර්ණය. ඔබට ඇත්තේ සංකීර්ණ සේ කිරීමය. ඔබ කළ හැමකක්ම සරලය. ඛාමීය.

ලබන සතියට
♦ සමන් එදිරිමුණි