2017 ජුනි 10 වන සෙනසුරාදා

යාලයි මුහුදු වෙරළයි එකතු කරන Jetwing Yala

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

යාල ජාතික වනෝද්‍යානය හැඳින්වෙන්නේ ලෝකයේ වැඩිම දිවි ජනගහනයක් වෙසෙන වනෝද්‍යානය විදිහටයි. ඒ විතරක් නෙමෙයි ඇතැම් විට දිවියන්, වළසුන්, අලි වගේම කුරුලු වර්ග රැසකුත් දැකගන්න ලැබෙන ලෝකයේ හොඳම තැනත් යාල වෙන්න පුළුවන්. මේ වනජීවි සුන්දරත්වය නිසාම යාල කියන්නේ දෙස් විදෙස් සංචාරකයින්ගේ හද ඇද බැඳ ගත්තු තැනක්. ඉතින් යාලට යන එන ඔබට නවාතැන් ගන්න තියෙන හොඳම තැනක් ගැනයි මේ කියන්නෙ.  

Yala Game Lodge එහෙමත් නැත්නම් යාල සෆාරි හෝටලය කියන්නේ දශක ගණනාවක් පුරා යාල හා බැඳුණු සංචාරක අත්දැකීම් ගණනාවක් පිරිනමපු තැනක්. නමුත් 2004 සුනාමියේදී මේ හෝටලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා. අද වනවිට Jetwing Yala නමින් යළි නැගී සිටින මේ හෝටලය යළි විවෘත වුණේ 2014 වසරේදීයි. 

දර්ශනීය වැලි පර සහ ක්ෂිතිජය දිහාවට මුහුණ දාපු සුඛෝපභෝගී කාමර 90කින් සමන්විත Jetwing Yala හෝටලය අක්කර 38ක දැවැන්ත භූමි භාගයක් පුරා පැතිර තිබෙනවා. දැකුම්කලු පිහිනුම් තටාකයක්, ස්පා එකක්, ව්‍යායාම් මධ්‍යස්ථානයක් වගේම විවෘත වේදිකාවක් සහිත අවන්හල හෝටලයේ සුන්දරත්වය තවත් ඉහළ නංවනවා. සුඛෝපභෝගීත්වයත් පරිසරයත් අතර කදිම මුසුවක් ලෙසයි හෝටලය නිර්මාණය කර තිබෙන්නෙ. Jetwing Yala හෝටලයේ සුඛෝපභෝගීත්වය වගේම, කොළඹට දුරබැහැරින් පිහිටා තිබීම නිසා ලැබෙන විවේකී ස්වභාවයත් දකින්න පුළුවන්. මේ නිසා වනජීවී සංචාරකයකුට වගේම ව්‍යාපාරික අවශ්‍යතාවයක් වෙනුවෙන් සංචාරය කරන්නකුට පවා මේ හෝටලය හොඳින් ගැලපෙනවා යැයි Jetwing Yala සාමාන්‍යාධිකාරී ගැමුණු ශ්‍රීලාල් මහතා පවසනවා. 

හෝටලයේ කාමර අතරට සුඛෝපභෝගී අයුරින් ඉදිකර තිබෙන කූඩාරම් පන්නයේ විලා 10කුත් ඇතුළත්. ඊට අමතරව superior, deluxe හා family වශයෙන් කාමර වර්ගීකරණයකොට තිබෙනවා. මේ සෑම කාමරයක්ම සොබාදහමට සමීපවන ආකරයට සරසා තිබීමත් විශේෂත්වයක්. යාල කියන්නේ බොහෝදුරට සෆාරි අත්දැකීම හා බැඳුණු ගමනාන්තයක්. නමුත් ඒ සාම්ප්‍රදායිකත්වය බිඳ දමමින් යාල ප්‍රදේශයේ මුහුදු වෙරළ අත්දැකීම සමීප කරන පළමු හෝටලය ලෙසත් Jetwing Yala හැඳින්විය හැකියි. සෑම කාමරයකම දෙපැත්තේ බැල්කනි දෙකක් තිබෙනවා. ඒ බැල්කනි හරහා එකම කාමරයේ ඉඳන් මුහුදත් වනාන්තරයත් නරඹන්න පුළුවන්. 

ආහාරපාන ගැන කතාකිරීමේදී දේශීය වගේම ආසියානු බටහිර ආහාර වර්ගත් රුසක් මෙහිදී පිළිගැන්වෙනවා. කොහොම වුණත් ආහාර ලබාගැනීමේ අත්දැකීම තවත් සුවිශේෂී කරමින් dune dining, tree house dining, සහ  bird hide dining වශයෙන් විවිධ ස්ථාන ආහාර රසවිඳීමට පිළියෙල කරතිබෙනවා. ඊට අමතරව පිහිනුම් තටාකය අසලත් ආහාර ගැනීම සඳහා විශේෂ තැනක් සූදානමින් පවතිනවා. පරිසරය හා බැඳී පවතින තැනක් නිසාම පරිසර හිතකාමී අයුරින් කටයුතු කරන්නත් හෝටලය තුළ වැඩි අවධානයක් යොමුවී තිබීම දකින්න පුළුවන්. විදුලි බුබුළු සියල්ලක්ම පාහේ ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුතු LED බල්බයි. කාමරවල රෑපවාහිනී සඳහා පවා LED TV යොදාගෙන තිබෙනවා. රාත්‍රීකාලයේ ජීව ඉන්ධන උදුනක් හරහා උණු ජලය ලබාගැනීමත් හෝටලයේ වායු සිසිලන පද්ධතියට අවශ්‍ය සිසිල් වාතය සැපයීමත් සිදුවෙනවා. දිවාකාලයේදී සූර්ය පැනලවල ආධාරය ලබාගැනෙනවා. 

Jetwing Yala කියන්නේ, යාලට අමතරව සංචාරක කුරැල්ලන් නිතර යන එන බූන්දල, තිස්සමහාරාමය, කතරගම පුදබිම වගේ ගොඩක් තැන්වලට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් තැනක්. 

සනත් වීරසූරිය