2017 ජුනි 10 වන සෙනසුරාදා

කන්අඩි පිපිරෙන්න කියමු

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

ඛේදවාකයක් යනු කුමක්දැයි ඇසුවොත් ඇඟිල්ල දිගු කොට ලංකාව පෙන්විය හැකිය. ඇතැම් පෙදෙස්වල තවමත් ගං වතුර බැස ගොස් නැත. ඇතැම් නිවෙස්වල තවමත් ගංදිය විසින් ඉතුරු කොට ගිය රොඩු බොඩුය. ඇතැම් ගම්මානවල අවතැන් වූවන් තවමත් පන්සල්වලය. පාසල් වලය. පාංශුකූලය ද අහිමිව පස් යට සැඟව ගිය මළකදන් තාමත් එහෙමමය. බොහෝ අවතැන් වූවන්ට ජීවිතය බිංදුවෙන් පටන් ගැනීමට සිදු වී තිබේ. තත්ත්වය එසේ තිබියදී අපි දැන් මහින්දාගමනය සමරමින් සිටින්නෙමු. රාජ්‍ය අනුග්‍රහයෙන් පොසොන් කානිවල් සංවිධානය වෙමින් තිබේ. 

බොන්නට දිය පොදක් අහිමිව තැවෙන සමාජයකට දහම් අමා දිය ලොරි පිටින් පොම්ප කෙරෙනු ඇත. විචිත්‍ර විදුලි බුබුලු වලින් ගිනිකණ වැටෙන සමාජය දන්සැල් වඳිමින්, පන්සල් පුදමින්, තොරණ නරඹමින් විනෝද චාරිකා යනු දක්නට ලැබෙනු ඇත. මීට සති දෙකකට පෙර සහනාධාර රැගෙන ගංවතුරේ ගිය චාරිකාවලට වඩා මෙම චාරිකා විනෝදශීලී වෙනු ඇත. අප ජාතියක් වශයන් කොයිතරම් හැඟීම්බර ජාතියක්දැයි යළි යළිත් පසක් කරනු ඇත. “සාලාව” ගිනි ගනිද්දී අප හිස අත් බදාගෙන ඒ දෙස බලා සිටියෙමු. කොස්ලන්දේ පවුල් පිටින් නාය යද්දී “අනේ පව්” යැයි කියමින් රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹුවෙමු. සාමසර කන්දේ නාය යෑමෙන් ඔළුව කුරුවල් කරගෙන සිටියෙමු. කුණු කන්දක් හිස මතට කඩා වැටෙද්දී “මේක මොන කාලකන්නි රටක් දැයි” බෙරිහන් දුන්නෙමු. ගංවතුර ආපදාව ආවේ ඒ අස්සේය. හැම ආපදාවකට පසුවද පිළිවෙළින් සැණකෙළි පවත්වන්නට අප අමතක නොකරන්නෙමු. අවුරුදුද, වෙසක්ද, පොසොන්ද, ශූරයන්ගේ කුසලානයද යන සියල්ල අත නොහරින අප අත්‍යවශ්‍යම දේ අමතක කරන්නෙමු. වරද ඇත්තේ එතැනය. ඊළඟට පැමිණීමට නියමිත ආපදාව ගැනවත් කල්පනා කරන්නට ඉස්පාසුවක් අපට නැත. මින් මනත නොවූ විරූ සෙයින් ආපදාවලට රට ගොදුරු වීමේ ඇත්ත හේතු ගවේෂණය කරන්නට සමාජයක් වශයෙන් අපට වගකීමක් තිබේ. මතක තබා ගන්න. එය වගකීමක් මිස යුතුකමක් නෙවේ. එහෙත් කළ යුතු ඒ කාරිය නොකරන අප අනේක විධ විගඩම් උදෙසා කාලය මිඩංගු කරන්නෙමු. අවිධිමත් සංවර්ධනයත්, පරිසරය කෙරෙහි අබමල් රේණුවක තැකීමක් නැති ආර්ථික ප්‍රතිපත්තිත්, අමන දේශපාලන මැදිහත් වීමුත් පරිසර විනාශයේ අනිවාර්ය සාධක බව ඇස් පනා පිටම පේන්න තිබියදීත් අපි වෙන වෙන විකාර ලියමින් සිටින්නෙමු. හෞතික විද්‍යා මහාචාර්යවරයෙකු ගේ එබඳු ලියැවිල්ලක් මම පසුගියදා දුටුවෙමි. මේ සියලු විපත්තිදායක තත්ත්වයන්ට හේතුව මිනිසුන් අධ්‍යාත්මිකව පිරිහීම බවද එබැවින් දෙවියන් කෝප වූ බවද ඔහු ලියා තිබුණි. ඒ බව ඔහුට කියා තිබෙන්නේද නාථ දෙවියන්ය. වැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති මෙසේම තිබියදී දැන් ජනතාව කළ යුත්තේ උදේ හවා මල් පූජා කිරීමත්, බුදුන් වැඳීමත්, මෛත්‍රී භාවනාව වැඩීමත්ය. එවිට අප කෙරෙහි දෙවියන්ගේ ඇති කේන්තිය නිවී යන බැවින් ගංවතුර ගලන්නේ නැත. කඳු නාය යන්නේ නැත. අවශ්‍ය නම් ආයෙමත් මීතොටමුල්ලේ කුණු කදු ගොඩ ගසන්නට හැකිය. විද්‍යා මහාචාර්යවරුන් එහෙම කියන රටක කාලගුණ දෙපාර්තුමේන්තුවට අනාවැකි වැරදීම පුදුම විය යුතු දෙයක් නොවේ. සියලු ආපදාවලට ඉක්බිති ජනතාවද ප්‍රීතියෙන් සිටින බැවින් තත්ත්වයන් එපරිදිම සිදු වේ. කඳු මුදුන්වල සංචාරක නිකේතනද, ගං ඉවුරු අසබඩ අනවසර ඉදිකිරීම්ද එලෙසම සිදු වේ. ඊළඟ කන්ද නාය යන තෙක්, ඊළඟ ගංවතුර ගම්බිම් කරා කඩා වදින තෙක් කාටවත් ඒ ගැන වගේ වගක් නැත. මාධ්‍ය ද සහනාධාර බෙදාදෙන තරම් උද‍්‍යෝගයෙන් එකී කාරණා සඳහා මැදිහත් වන්නේ නැත.

මූණු පොත ප්‍රමුඛ සමාජ ජාලා වෙබ් අඩවිවල තරුණ තරුණියන්ටද ගංවතුර කාලයට ඕනෑ තරම් රාජකාරි තිබේ. ආපදා අමාත්‍යංශයෙන් කර ගැසිය යුතු වගකීම් ඔවුන් සියතට ගත් අයුරු අපි දුටුවෙමු. අපදාවෙන් හානියට පත් ගම්මාන පිළිබඳ පළමු තොරතුරු අප මුලින්ම දැන ගත්තේ රූපවහිනී නාලිකා වලින් නොවේ. මේ සමාජ මාධ්‍ය ජාල වලිනි. රූපවාහිනී කැමරාවලට ළඟා විය නොහැකි තැන් තැන් කරා සේන්දු වූ FB ක්‍රියාකාරීන් ඒ තැන් පිළිබඳ අලුත් තොරතුරු වලින් අප යාවත්කාලීන කළහ. සහනාධාර අහිමි මිනිසුන් ගැන දැනුම්වත් කළහ. තැන් තැන් වල සහනාධාර එකතු කළහ. ගංවතුර, නාය යෑම් ගැන විශේෂඥ අදහස් දැක්වූහ. ඒ සියල්ල නිශ්චිත දින වකවානු ඇතුව නිමා කළ ඔවුන් දැන් වෙන මාතෘකා ඇදගෙන කා කොටා ගනිති.

ඇතැමුන් තවමත් සනත් ජයසූරිය ගැන කතා කරන අතර තව සමහරැ සුසන්තිකා ජයසිංහ ගැන කතා කරති. ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් සෙත් කවි ලියන ක්‍රියාකාරීන්ගේද අඩුවක් නැත. ගංවතුරද හුදු තරු බිහිකිරීමේ ක්‍රියාවලියක් බවට පත් වී ඇතැයි ක්‍රියාකාරීන්ට ඇතැමුන් විසින් කරනු ලබන චෝදනා ඇත්තක්යැයි අපටද සිතෙන්නේ එවිටය. ආපදාවකදී ජනතාවගේ පැත්තේ සිට ගැනීම අගනේය. එහෙත් එබදු ආපදා ඇති නොවීමට වග බලා ගන්නේ නම් වඩාත් අගනේය. තරමක් ඉදිරිගාමී චිනත්නයක් ඇතැයි අප විශ්වාස කරන ඔවුන්ගෙන්ද එයාකාරයේ හැසිරීමක් දකින්නට ලැබේ නම් එය රටේ අනාගත ඉරණම සම්බන්ධ තීරණාත්මක ප්‍රශ්නයකි. ආපදාවකදී පවා සිය අනන්‍යතාවය සොයන ක්‍රියාකාරීන් පිරිසක් වෙනුවට රටට අවශ්‍ය කරන්නේ ජනතාව කෙරෙහි වූ මහා දයානුකම්පාවකින් සහ ගැඹුරුතර හැඟීමකින් යුතුව නිරන්තතර අවදියෙන් සහ ප්‍රබෝධයෙන් යුතුව සිටින තරුණ පිරිසකි. ආපදාවද විලාසිතාවක් බවට පත් කර ගැනීමේ සරල මනෝභාවයෙන් මිදී ජනතාව දැනුම්වත් කිරීමේ මඟකට ඔවුන් අවතීර්ණ විය යුතුය. ජනතාව දැනුම්වත් කරන්නට ප්‍රථම ඔවුන් දැනුම්වත් ව සිටිය යුතුය. “ආපදාවකදී ආණ්ඩුව කෝ කියලා අහන්න එපා යකෝ, ආණ්ඩුව තමයි ආපදාව” යනුවෙන් FB සටහනක් මම දුටුවෙමි. ආණ්ඩුව ආපදාවක් වී ඇත්තේ කෙසේ දැයි පැහැදිලි කරදීමට තරුණ පිරිස් ජනතාව අතරට පැමිණිය යුතුය. තැනින් තැන, බිමෙන් බිම පරිසර විනාශයට එරෙහි සටන පණ ගැන්විය යුතුය. පැහැදිලිවම එබදු සටන් තුළ නියත දැක්මක් තිබිය යුතුය. නව ලිබරල් ආර්ථික උපාය මාර්ග විසින් නොසලකා හරින ලද පාරිසරික ප්‍රතිපත්තීන් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ලාභය මුල් කරගත් ආර්ථික ප්‍රතිපත්තයක් හා පරිසරයේ යහ පැවැත්ම අතර වන පරතරය හඳුනාගත යුතුය. 

කියන දේ නෑසෙන්නේ නම් පාලකයන්ගේ කන් අඩි පුපුරුවන උද්ඝෝෂණ කළයුතුය. එබඳු සටන් හුදෙකලා කැරලි විය යුතු නැත. පුළුල් ජනතා සහභාගීත්වයක්ද, පළල් සමාජ ව්‍යාපාරයක්ද ඒ සඳහා අවශ්‍යය. අරගල වල මෙතෙක් පැවති සටන් පාඨ දැන් පුළුල් විය යුතුය. කො‍හොමටත් පරිසරයට අදාළ සටන් පාඨ රටකට, ජාතියකට, පංතියකට සීමා වන්නේ නැත. එය විශ්වීය සටන් පාඨයකි. අපට අවශ්‍ය වන්නේ අන්න ඒ අරගලයේ අවශ්‍යතාවය හඳුනාගත් තරුණ පිරිසක් මිස ජයසූරියගේ රංගනයන් ‍හෝ සුසන්තිකාගේ පදක්කම ගැන නන් දොඩවන තරැණ පිරිසක් නොවේ.

♦නලින්ද සංජීව