2017 ජුනි 03 වන සෙනසුරාදා

නුවරඑළියට ස්කොට්ලන්ත සත්කාරය

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 241

කවුරුත් බලාපොරොත්තු නොවුණු අන්දමට පහුගිය අප්‍රේල් මාසයේදී බලපාපු අධික උෂ්ණ කාලගුණයෙන් පස්සෙ මේ වනවිට නැවතත් නුවරඑළිය තමන්ගේ සුපුරුදු ශීත දේශගුණික තත්ත්වයට හැරෙමින් පවතිනවා. ඒ වර්ෂාව උදාවීමත් සමඟයි. 

පුංචි එංගලන්තයේ සුන්දරත්වය දැකගැනීමට ඒ වෙත ඇදෙන සංචාරකයන්ට නවාතැන් ගැනීමට අලුත් නවාතැනක් මෑතකදී විවෘත කෙරුණා. ඒ තමයි, නුවරඑළියේ සිට වැලිමඩ දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර තුනක් ගිය තැන ඉදිවෙලා තිබෙන විලා මවුන්ට් රෝයල් හෝටලය. 

පිදුරුතලාගල කඳු පන්තියටත් නුවරඑළියේ සුන්දර තේ වතුයායන්ටත් මුහුණලා පිහිටා තිබෙන මේ අපූරු හෝටලය ස්කොට්ලන්ත සම්ප්‍රදායට අනුව ඉදිකරන ලද්දක්. නාගරික තදබදයෙන් මිදිලා සීතල කඳුකරයේ නිවාඩුවක් සඳහා හොඳින්ම ගැලපෙන පසුබිමක් මේ නිසා එහි නිර්මාණය වෙලා තිබෙනවා. 

හෝටලයට සුඛෝපභෝගි කාමර 6ක් ඇතුළත්. ඊට deluxe පන්නයේ කාමර 5ක් සහ Suite මාදිලියේ කාමරයක් ඇතුළත්. ඒ සියල්ල නවීන හෝටල් අංගෝපාංග සියල්ලකින්ම පොහොසත්. තේක්ක පොළොවක් සහිත මේ හෝටලයේ ඉහත මාලය සම්පූර්ණයෙන්ම ස්කොට් ආලින්දයක් ලෙස සකසා තිබෙනවා. ඊට බිලියඩ් පුවරුවක් වගේම ඉංග්‍රීසි ක්‍රමයේ ආහාර මේසයක් ඇතුළත්. කේබල් ටීවී, මිනි බාර්, කෝපි සෑදීමේ පහසුකම්, වයි ෆයි හා සේප්පු ඇතුළු බොහෝ පහසුකම් කාමරවල පවතිනවා.

“සුවපහසු කාමරවලට අමතරව ජාත්‍යන්තර මට්ටමේ ආහාරපාන අත්දැකීමක් වගේම දැකුම්කලු දර්ශනතලයකුත් විලා මවුන්ට් රෝයල් හෝටලයේ නවාතැන් ගන්නන්ට ලැබෙනවා. ඇත්තටම ආහාරපානවලට අපේ හෝටලයේ වැඩි අවධානයක් යොමුවෙනවා. ආහාරපාන සැකසීමේදී හෝටල් වත්තෙන්ම නෙළාගත් සෞඛ්‍යාරක්ෂිත කාබනික එළවළු පළතුරුවලට ප්‍රමුඛතාවයක් හිමිවෙනවා. බටහිර, චීන, ඉතාලි, ජපන් සහ දේශීය ආහාරපානත් සංචාරකයන්ගේ කැමැත්ත පරිදි පිළිගැන්වෙනවා” යනුවෙන් හෝටලයේ කළමනාකරු එම්. විනෝද්කුමාර් සඳහන් කරනවා. 

මීට අමතරව කඳු නැගීම ඇතුළු විවිධ සංචාර ආදියත් හෝටලය මගින් සූදානම් කරදෙනවා. ඒ අතර හෝර්ටන්තැන්න, සඳගලතැන්න, හක්ගල උද්‍යානය වගේම ආගමික සිද්ධස්ථාන රැසක් අඩංගුයි. සීතා අම්මාන් කෝවිල, ශ්‍රී භක්ත හනුමාන් කෝවිල, වික්ටෝරියා පාක්, නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය, ලවර්ස් ලීප්, පිදුරුතලාගල, කන්දෙ ඇල්ල රක්ෂිතය වැනි සංචාරක ස්ථාන කරාත් විලා මවුන්ට් රෝයල් හෝටලයේ ඉක්මණින් ළඟාවීමට පුළුවන්. 

♦ සනත් වීරසූරිය