2017 ජුනි 03 වන සෙනසුරාදා

ඔබට අයිති ඔබ පමණයි

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

විඳ අවසන් කිසිවක් තවදුරටත් සොඳුරු දේ නොවන්නේය. රස බැලූ කිසිවක් තවදුරටත් අරමුණක් සොයන්නේය. මිනිස් සිත සූදානම්ව ඇත්තේ නොවිඳි දේ සොයා යාමටය. ඕනෑම අරමුණක ආරම්භය ඒ අරමුණ තමා සතුව නොපවතින බව පසක් වන මොහොතය. එහි නිමාව අරමුණ සාක්ෂාත් කරගත් මොහොතය. රානා ජීවිතය හැමදාම සතුටින් ගෙවාදැමීමට නම් කිසිවකුට අයිතියක් කියාපෑමෙන් වළකින්න. අයිතිය අත්හැර දමන්න. සියලුම භෞතික අභෞතික සෑම දෙයකටම ඔහේ තියන්නට හරින්න. එය මගේය කියා අයිති කරගැනීමෙන් ඔබේ සැනසුම හිස් වන්නේය. ඔබ ඔබේ යැයි කියනා දෙයක් සදාකල් ඔබ ළඟම තියාගන්නට අවසර තිබිය යුතුය. එහෙත් ඔබෙන් පරිබාහිරව ඔබේ යැයි සිතා සිටින සියල්ල සෑබෑවටම ඔබේද? නැත. ඒක ඔබ බලහත්කාරයෙන් අයිති කරගත් දේය. 

ඔබට ඔබේ බාහිර භෞතිකයන් නිතර රුකබලාගන්නට වන්නේ ඒ නිසාය. සරලව අපි සිතමු.

රාසා ඔබ අසාගෙනද?

එසේය ස්වාමීනි මම අසා සිටිමි.

මිල්කා ඔබේ පෙම්වතියද?

එහෙමයි.

මිල්කා.

ස්වාමීනි.

රාසා ඔබේ පෙම්වතාද?

එහෙමයි.

එහෙත් මිල්කාව නිතර නොදැක සිටීම ඇයට නොසලකා හැර සිටීම හරහා කුමක් විය හැකිද?

රාසා කල්පනා කළේය. ඔරේනස් මිල්කා දෙසත් රාසා දෙසත් වරින් වර බැලුවේය.

එවැන්නක් සිතා නැහැ ස්වාමීනි.

ඇය වෙනතක් බලාගත හැකියි රාසා.

අනේ නැහැ ස්වාමීනි, මිල්කා ඉස්සර විය.

එසේ නම් මිල්කා.

මම එසේ කරන්නේ නැහැ. සැබෑ ආදරය කියන්නේ ඒකට නෙමෙයි.

ඔරේනස් මඳ සිනා පෑවේය.

දැරිය... මා ඔබ හරි හෝ වැරදියි කියන්නේ නැහැ. නමුත් ඇත්ත මෙයයි. මිල්කා ඔබේද නැද්ද යනවග තීරණය කරන්නේ මිල්කාම මිස ඔබ නොවේ. ඔබට මිල්කා ඔබේ යැයි හිතිය හැකි නමුදු ඇයට ඔබේ කරගැනීම තීරණය වන්නේ ඇගේ තීරණය අනුවය... එය කොතරම් කාලයකට ද යන්න තීරණය කරන්නේ ඇයයි. ඔබට අයිති ඔබ පමණයි රාසා. ඇයට අයිති ඇය පමණයි. ඔබ දෙපළ එක්ව මා ඔබේය ඔබ මගේය කියා ඔබ දෙදෙනාම රවටාගන්නා මානසික බැඳීමක් කෘත්‍රිමව හදාගත්තා පමණයි. ඒ බැඳීමට ඔබලා දෙනනම සංස්කෘතියයි, නීතියයි, විවාහයයි, පවුල් බැඳීමයි. මේ සියල්ලම ස්ථීරසාර නොවූ නීතිගත රුවටිලිය.

ස්වාමීනි එය වරදක්ද?

වරදක් නැත රාසා. නමුත් එය ස්භාවිකත්වය විකෘති කිරීමක්.

පවුලක් සේ එකට විසීම.

නැත. 

එසේ නම්.

පවුල් පන්සල් වීම එකට විසීම හොඳය. එහෙත් ඒවා නීති මඟින් බැඳ තැබීම විකෘතිය.

බැඳ නොතැබූ විට කැමති කෙනෙකුට කැමති විටක අත්හැර දැමිය හැකියිනේ ස්වාමීනි.

නීතිය මගින් කරන්නේ අකමැති වුවත් එකට විසීම නේද?

එසේය.

එතැන ආදරයක් තිබේද.

නැත.

ඉතින්.

ඉතින් ස්වාමීනි.

ඔව් කියන්න.

පැහැදිලියි ස්වාමීනි... සෑම බැඳීමක්ම හදවතින්ම ඇති කරගත යුතුය. නිත්‍යනුකූල බව ඇතිව හෝ නැතිව එය සැබෑ බැඳීමක් විය යුතුයි.

කදිමයි මිල්කා. නමුත් සමාජය වෙනුවෙන් බැඳීම නිත්‍යනුකූල කරගන්න. නමුත් ඔබලා වෙනුවෙන් එය සැබෑවක් කරගන්න.

(ලබන සතියට)

සමන් එදිරිමුනි   

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00