2017 ජුනි 03 වන සෙනසුරාදා

මෑන් මාර ෆෑන්

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

සතියෙ දවසක් නිසා 2.30 කෝච්චියට සෙනඟ අඩුයි... රස්නෙ පුදුම විදිහට... අහසෙ වතුර ඉවර වෙලාවත්ද? 

ඔව් අහසයි අම්මයි තරම් බැණුම් අහන කවුරුත් නෑ. ඊයෙ කොණ්ඩේ කැපුවා... නෑ.. නෑ.. රජ කඩුවෙන් නේරන්ජනාව ගාවදි නෙමෙයි. ඉස්පිරිතාලෙ හන්දියෙන්. දවස් ගාණකට පස්සෙ සැලුන් එක ඇරලා බාබර් අයියට හොඳටම වැඩ තිබ්බා. උදෙත් දෙපාරක් ඇවිත් හැරිලා ගියා. සැලුන් එකේ අයියා කොණ්ඩෙ කපන ගමන් දෙන සමාජ ආර්ථික දේශපාලනික දේශනය ගැන කියලා වැඩක් නෑ. 

මිනිස්සුන්ට රටේ වෙන සිදුවීම් හැම එකම දේශපාලනඥයන්ගෙ අම්මා මුත්තගෙ ඉඳලා ගලපලා හොඳට පුරුදුයි.

පරම්පරාගත පක්ෂ වාදයක් අපේ රටේ පසුගිය වකවානුවල තිබුණා. දැන් දැන් ඒ පුරුද්ද ටිකක් අඩුයි.

මොනවා වුණත් කිසිම ප්‍රතිපත්තියක් නැති ලංකාවේ දේශපාලනේ ගැන කතාකරන එක මහ නීරස වැඩක්. 
අන්තිමට අපි මේ රටේ මොකට ඉපදුනාද හිතෙනවා බාබර් අයියා වරක් කීවේය. 

මොනවා වුණත් වෙලාවකට මේ මනුස්සයා කියන කතන්දර ඇත්ත කියලත් හිතෙනවා. 

මට කලින් හිටිය පොඩි ලස්සන ළමයෙක්. ලෑල්ලක් දාලා පුටුවට නග්ගලා ඔරොප්පුවෙන් වගේ ඔරවගෙන ඉන්න හැටි කණ්ණාඩියෙන් දැකලා හිටපු හැමෝටම හිනා.

ගොරහැඩි කටහඬක් මගේ එහා පැත්තෙ පත්තරයක් කියව කියව හිටියා. පත්තරේ පහත් කරාම ඒක කටහඬට වඩා ගොරහැඩි වියපත් මූණක් මම දැක්කා. 
පේනවා අඩුයි ඔහු එසේ කියමින් පත්තරේට එබීගෙන කියවනවා. 

එකපාරට පත්තරේ මට පෙන්නලා පුතා මේ ළමයව දන්නවද ඇහුවා. ඒකෙ හිටිය ලංකාවේ ගොඩක් ගීතවල  වීඩීයෝවල අඬන කොල්ලෙක්. 

ඔහු කතාව පටන් ගත්තේය. 

මුන් මොකට නළුවො වුණාද මන්දා

බලපන් පුතේ මුගෙ අනාගත බලාපොරොත්තුව ලංකාවේ ජනප්‍රියම නළුවා වෙන්න. එහෙම සම්මානයක් මූට දෙනවනම් අපිට ඊට හොඳ එකක් දෙන්න ඕන ඔහු උපහාසයට සිනාසීය.

එතන සිටි අනිත් අයද මේ බැණුම් අසන නළුවා කවුදැයි බලාගන්නට පත්තරේට එබුණේය. 

මේ පුස් ඌරෝ වගේද පුතා ඒ කාලේ ගාමිණී මහත්තයලා. අම්මෝ ඒ රඟපෑම මගෙ කාමරේ පුරාම ඒ සක්විතිගෙ පින්තූර අලවලා තිබ්බේ. ඔෆිස් එකට දන්වන්නෙ නැතුව ගාමිණීගේ ෆිල්ම් බලන්න ගිහින් මට දෙපාරක් රස්සාව නැති වුණා.

ඔහු මහත් ආඩ්ම්බරයෙන් සිනාසුනි.

මිනිහා රඟපානකොට අපිට අමතකයි අපි මේ බලන්නේ පිචර් එකක් කියලා. එච්චර තාත්විකයි

මමත් ටිකක් ඒවගේ නිසා මට මිනිස්සු කිව්වෙ පොඩි ගාමිණී කියලා. මගෙ හඬත් ඒ වගේ දැන් ඉතින් මේ බීඩි බීලා බීලා ගොරහැඩි වෙලා. මම ගියා දවසක් මිනිහව හම්බ වෙන්න

ඉතින් හම්බ වුණාද? මම පෙරළා ඇසුවෙමි

කතාව මට විතරක් කිව්වට අනෙක් සියල්ලෝමද එය අසා සිටින බවකි.  

ඔහු කතාව කරගෙන යන්නේය. 

මාත් හිතුවා මාව ඉහළින් පිළිගනී කියලා. ළංවෙන්නවත් බැරිවුණා. ගුටි නොකා බේරැණා මම. එතන හිටපු අයගෙන් පෝලිම් පනින්න ගිහින්

අංකල් කොණ්ඩේ කපාගන්න මම ඊළඟට යන්නම් මම කීවෙමි. බෙල්ලෙ ගැට ගැසූ රෙද්ද  අයින් කළා විතරයි අර පොඩි එකා බිමට පැනලා තාත්තගෙ අතේ එල්ලුනේය. 

මල්ලී ගාමිණී ෆොන්සේකගෙ වගේ ඉස්සරහ දෙපැත්තෙන් අඩු කරන්න

ඔහු කොණ්ඩෙ කපන බාබර්ට කීවේය. 

කණ්ණාඩියෙන් ඔහුට මාව පෙනෙන්නේය. 

ඔහු කණ්ණාඩිය හරහා මට කතාකළේය. 

ගාමිණී දන්නවද දන්නෙ නෑ මල්ලී අපි ඌට ආදරේ තරම

අපි කොච්චර විසිල් අත්පුඩි ගහන්න ඇත්ද

ඔහුගේ ඒ වචන තුළ බලාපොරොත්තු කඩ වූ බවක් දැනුණි. ජීවිතය්ම ඔහු පසුතැවිල්ලේදැයි මට හැඟුණි.

කොණ්ඩෙ කපා ඉවර වූ ඔහු බාබර් අත සල්ලි තබා මටද අත වනාගෙන නික්ම ගියේය. 

මම කොණ්ඩෙ කපන්නට පුටුවේ ඉඳ ගත්තෙමි

මාසෙකට සැරයක් ඔය කතාව මම අහනවා මල්ලි. මෑන් මාර ෆෑන් කෙනෙක්ලු

බාබර් අයියා කීවේ කණ්ණාඩියෙන් මා දෙස බලමින් සිනාසෙමිනි. 

මහා සද්දෙන් නලාව හැඬවූ දුම්රිය සෙමෙන් සෙමෙන් ගමන් ඇරඹීය.

එදා ගාමිණී ෆොන්සේකා මහත්මයා එක්ක අර මනුස්සයට එක වචනයක් කතා කරගන්න පුළුවන් වුණානම් ජීවිත කාලයම ඔහු කෙතරම් සතුටින් ජීවත් වනු ඇත්දැයි මට සිතුණි.

හමුවෙමු මේ අහස යටම 


තිසුම් නලින

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00