2017 මැයි 27 වන සෙනසුරාදා

ශ්‍රි දළදා මාලිගාව ලෝකෙන්ම අංක 1

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2608

“ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීම්වලදී 173 වැනි ස්ථානයේ සිටි ශ්‍රී දළදා මාළිගාව පසුගිය 2013 සිට 2016 දක්වාම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා. ඉන්දියාවේ ටජ්මහල වැනි සංචාරක ආකර්ෂණ පරදවා අපට ඉහළට එන්නට හැකිවුණේ පරිපාලනය මෙන්ම තොරතුරු තාක්ෂණයත් එකසේ භාවිත කිරීම නිසයි. මෙම ශ්‍රේණිගත කිරීම් කර තිබුණේ ලෝක සංචාරක සංවිධානයේ (WTO) වෙබ් අඩවියෙන්. අප ළඟ එම වෙබ් අඩවියෙන් උපුටාගත් තොරතුරැ තිබෙනවා.”

අප සමග එලෙස පැවසුවේ ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාය. ඔහු පසුගිය කාලයේ දළදා මාලිගයට නවීන තාක්ෂණික පහසුකම් හඳුන්වාදීමට වෙහෙසක් ගත්තේය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 90%ක් පමණම දළදා මාලිගය නරඹති. මහනුවර නගරය මෙරටට පැමිණෙන සංස්කෘතික උරුමයක් කෙරෙහි උනන්දු වන සෑම සංචාරකයකුගේම ජනප්‍රිය ගමනාන්තයකි. සංචාරක සමාගම් විදේශීය සංචාරකයන් සඳහා හඳුන්වාදෙන කෙටි දින (දින 2 හෝ 3) චාරිකාවලදී මහනුවර දළදා මැදුරද අනිවාර්යයෙන් ඇතුළත් කෙරේ. අප රටේ බොහෝ දෙනෙකුගේ සංචාරක චාරිකාවලටද දළදා මාලිගය වැඳපුදා ගැනීම අනිවාර්ය අංගයක් වී තිබේ. ඇසළ පෙරහර කාලයට මේ සංචාරක පැමිණීම බොහෝදුරට ඉහළ යයි.

මහනුවර නගරයට සංචාරක ආකර්ෂණය හිමිවීමට එය යුනෙස්කෝ ලෝක උරුම ස්මාරකයක් බවට පත්වීමද හේතුවකි. 1988දී මහනුවර, ලෝක උරුම නාමාවලියට ඇතුළත් කෙරුණේ නගරයේ දළදා මැදුර ප්‍රධාන කරගත් ආගමික ස්මාරක, පෞරාණික ගොඩනැගිලි සහ සජීවී ආගමික සහ සංස්කෘතික සම්ප්‍රදායයන් නිසාය.

ඉපැරුණි මහනුවර රාජධානියේ ආගමික සහ සංස්කෘතික හැඩතල වර්තමානයට පෙන්වාදීමට දළදා මාලිගය සමත්ය. දළදා මාලිගයේ පුරාවිද්‍යාත්මක වටිනාකම මෙන්ම ඒ වටා කෙරෙන ආගමික සම්ප්‍රදායන්ද තවමත් සජීවීව ක්‍රියාත්මකය. දළදා වහන්සේට පූජා කරන දානයට වෑංජන වර්ග 32ක් ගනී. තේවාව දිනපතා නියමිත වේලාවට සිදුවේ. ඇසළ පෙරහැර පවත්වන්නේද පැරැණි සිරිත්විරිත්වලට අනුවය. තවදුරටත් අප සමග අදහස් දැක්වූ දියවඩන නිලමේ ප්‍රදීප් දෑල බණ්ඩාර මහතා,

“දළදා මාලිගයට දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙනුත් බෞද්ධයන් වගේම බෞද්ධයන් නොවන සංචාරකයනුත් විශාල වශයෙන් පැමිණෙනවා. අපේ රටේ උතුරෙන් වගේම නැගෙනහිරෙන් බෞද්ධ නොවන විශාල ජනතාවක් දළදා මාලිගයට පැමිණෙනවා. යුරෝපය හා ආසියාතික ඇතුළු රටවල් රාශියකින් දිනපතා විශාල සංචාරකයන් පිරිසක් පැමිණෙනවා. ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, පානීය ජලය, තොරතුරු තාක්ෂණය භාවිත කර මාර්ගෝපදේශකයන්ගෙන් තොරව මාර්ගෝපදේශනය, ඓතිහාසික තොරතුරු ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම දේශීය හෝ විදේශීය ආබාධිත පුද්ගලයකු පැමිණි විට බැටරි කාර් රථය මගින් ඔහුට මාලිගා පරිශ්‍රය තුළ ගමන් කිරීමේ පහසුකම් ලබාදී තිබෙනවා. සංචාරක පහසුකම් නංවන අතරම අවට පරිසරය අලංකාර හා ප්‍රසන්න අයුරින් තබා ගැනීමටත් අපි කටයුතු කර තිබෙනවා. දළදා මාලිගා පරිශ්‍රය නැරඹීමට පැමිණෙන සංචාරක ආකර්ෂණය ඉහළ ගියේ එවැනි කටයුතු රාශියක් නිසයි.

පුරාවිද්‍යා අනුමැතිය යටතේ දළදා මාලිගා පරිශ්‍රයේ ගොඩනැගිලි සංරක්ෂණය කර තිබෙනවා. මේ නිසා පැමිණෙන සංචාරකයකුට අපේ දළදා වහන්සේ හා ඈඳුණු සංස්කෘතිය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවෙනවා.

මහනුවර දළදා මාලිගාවේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය එහි සංචාරක ආකර්ෂණය ඉහළ නංවා ගැනීමට භාවිත කරන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයෙන් ආධාර ලැබේ. එම ව්‍යාපෘතිය පස් අවුරුදු සැලසුමක් යටතේ ක්‍රියාත්මකය. දළදා මාළිගාව පිළිබඳව ලොව පුරා සංචාරකයන් දැනුම්වත් කිරීමට එහි වෙබ් අඩවියද ඉවහල් වේ. පසුගිය කාලයේ එම වෙබ් අඩවිය (sridaladamaligawa.com) ජනප්‍රිය වෙබ් අඩවි පරදවා ඉදිරියට පැමිණ ඇතැයි දියවඩන නිලමේවරයා පවසයි.

දළදා මාලිගාව ලෝකයේ සංචාරකයන්ට හඳුන්වා දෙන්නේ ඔවුන් සමඟ පැමිණෙන සංචාරක මඟපෙන්වන්නන් විසිනි. සංචාරක ශ්‍රේණිගත කිරීම් අතරින් ඉහළට ගිය දළදා මාලිගාව සංචාරක කර්මාන්තයට ඇති කරන බලපෑම ගැන අපි ඇසුවේ සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය මධ්‍යම පළාත් සංචාරක මාර්ගෝපදේශක සංගමයේ හිටපු සභාපති ඩබ්ලිව්.එස්. ප්‍රනාන්දු මහතාගෙනි.

“මේ අවස්ථාව හිමිවීම ගැන අපට හරි ආඩම්බරයි. සංචාරකයන් සමඟ කටයුතු කරන අපට එය හොඳ ධනාත්මක සලකුණක්. සංචාරක ක්ෂේත්‍රයට වගේම රටටත් මෙය අභිමානයට හේතුවක්. එම තත්ත්වය උපයෝගී කරගෙන අපේ සංචාරක කර්මාන්තය තවදුරටත් ඉහළ නැංවීමේ පියවර ගත යුතුයි. ඒ සඳහා අදාළ බලධාරීන් උනන්දු විය යුතුයි.
සංචාරක මාර්ගෝපදේශකයන් මහනුවර ස්මාරක ගැන නිවැරදි දැනුමින් සන්නද්ධ කිරීමට අපි පියවර අරන් තිබෙනවා. දළදා මාලිගය ඇතුළු ස්මාරක ගැන සමහරු වැරදි තොරතුරු සංචාරකයන්ට ලබාදෙන අවස්ථා තිබෙනවා. අප සංගමය හැමවිටම උත්සාහ කරන්නේ විදේශීය සංචාරකයන්ට නිවැරදි ඓතිහාසික තොරතුරු ලබාදීමටයි.

දළදා මාලිගයට හිමිවුණු මේ ඉහළ ස්ථානය ගැන මධ්‍යම පළාත් සංචාරක ඇමැති හා මහඇමැති සරත් ඒකනායක මහතා සමග සාකච්ඡා කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

දළදා වහන්සේ වඩා හිඳවා තිබෙන අද අප නරඹන දළදා මාලිගය තනවා ඇත්තේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජු විසිනි. ඔහු දළදා වහන්සේ උදෙසා දෙමහල් දළදා මාලිගයක් කරවා එය ජාතක කතා දෙතිසකින් අලංකාර කළ බව මහාවංශය සඳහන් කරයි. ඊට පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජු එය ප්‍රතිසංස්කරණය කළේය. අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එහි පත්තිරිප්පුව ඉදිකළේය. වර්ෂ 1900ට ආසන්නව බ්‍රිතාන්‍ය පාලන කාලයේදී දළදා වහන්සේ නැරඹීමට හා තේවාව සඳහා හේවිසි මණ්ඩපයක් එක් කළේය. එය දැවයෙන් කළ කුලුනු සහිත ඉදිකිරීමකි.

දළදා මාලිගයට යාබදව අලුතින් ඉදිකළ අලුත් මාලිගය නම් තෙමහල් ගොඩනැගිල්ල එක් කෙරුණේ 1936 දීය. එහි දළදා කෞතුකාගාරය පිහිටා ඇත. 1956 දී තවත් දෙමහල් ගොඩනැගිල්ලක්ද එයට එක් කෙරිණි. 1987 දී හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මූලික වී දළදා මැදුරේ පියස්සට ඉහළින් රන් වියනක් ඉදිකෙරුණි.

දළදා මාලිගයට නුදුරින් ඓතිහාසික මඟුල් මඩුව පිහිටා ඇත. එයට යාබදව පැරණි රජ වාසලයි. (පුරාවිද්‍යා කෞතුකාගාරය) රන් ආයුධ මණ්ඩපය, පැරණි කච්චේරි ගොඩනැගිල්ල (ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය), මැද වාසල, පල්ලෙ වාසල (ජාතික කෞතුකාගාරය) හා උල්පැන්ගේ යන පැරැණි ගොඩනැගිලි ද දළදා මාලිගාව අවට පිහිටා තිබේ.

නාථ දේවාලය, පත්තිනි දේවාලය සහ මහ විෂ්ණු දේවාලය යන ස්මාරක ද මහනුවර වැවද පිහිටා ඇත්තේ දළදා මාලිගය අසලමය. ශ්‍රී දළදා මාලිගයේ ඓතිහාසික වටිනාකම ඔප් නැංවීමට මේ ස්මාරක සියල්ල හේතුවේ.

♦ කුසුම්සිරි විජයවර්ධන