2017 මැයි 27 වන සෙනසුරාදා

ජපාන කුමරියගේ ආදර පලහිලව්ව

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

ආදරය නිසා රජ ඔටුන්නත් අත්හැර දැමූ සාලිය-අශෝක මාලා කතාව අදටත් කතාබහට ලක්වෙයි. සාලිය ඔටුන්න අතහැර දැමුවේ සාමාන්‍ය පවුලක රූමතියක කරකාර බැඳගන්නටය. පසුගියදා එබඳුම වූ ආදර අන්දරයක් ලෝකය පුරා ආන්දෝලනයක් ඇති කළේය. ඒ ජපාන අධිරාජ්‍යයාගේ වැඩිමහලු මිනිපිරිය සම්බන්ධයෙනි. අධිරාජ්‍යයාගේ දෙවැනි පුත්‍රයාගේ දියණිය වූ මාකෝ කුමරිය තමන්ගේ සරසවි ප්‍රේමය හේතුවෙන් රජ ඔටුන්න හැර දැමීමට ගත් තීරණය හේතුවෙනි. ඇය විවාහවන්නට යන්නේද සාමාන්‍ය තරුණයකු සමගිනි. මේ සිද්ධියත් සමග ජපානයේ රාජකීයයන්ට බලපාන නීති සම්ප්‍රදායන් පිළිබඳ දැඩි විවේචනාත්මක කතාබහක්ද ඇරැඹී තිබේ.

නීති ආයතනයක සේවය කරන කෙයි කොමුරෝ විසිපස් හැවිරිදි ජපානයේ රාජකීය ලලනාවගේ සිත සොරාගත් තැනැත්තාය. මේ දෙදෙනා වසර 2012දී ටෝකියෝවේ අන්තර්ජාතික ක්‍රිස්තියානි සරසවියේදී මුණගැසුණු පෙම්වතුන්ය. වසර 2010දී මාකෝ කුමරිය මේ සරසවියට ඇතුළත් වන්නේ කලාව සහ සංස්කෘතික උරුම ගැන අධ්‍යයනයටය. ජපාන රාජකීයයන් අතරින් මේ සරසවියට ඇතුළත් වූ පළමු තැනැත්තිය මාකෝ කුමරියයි. ඇය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සරසවියේ ශිෂ්‍ය හුවමාරු අධ්‍යයනයකට මාස 9ක කාලයක්ද සහභාගි වී තිබේ. එංගලන්තයේ ලිෂෙස්ටර් සරසවියේ අධ්‍යාපනය ලැබූ ඇය 2016 දී සිය උසස් උපාධිය හමාර කළාය. මේ වනවිට ක්‍රිස්තියානි සරසවියට අනුබද්ධ කෞතුකාගාරයට සම්බන්ධ පර්යේකාවක වශයෙන් කටයුතු කරමින් සිය ආචාර්ය උපාධිය සඳහාද සූදානම් වන්නීය. 
මේ සියලු කාරණා අතර මැද ඇය රජ ඔටුන්නට සමුදී ලබන වසර මුලදී සිය හිත ගිය තැන කරා යන්නට තීන්දු කර තිබේ.

මාකෝ කුමරිය හොඳ සිතුවම්කාරියකි. පොතපත කියවන්නියකි. එයට අමතරව ඇයට ඇති දහසකුත් එකක් රාජකීය වගකීම් මැද ටෝකියෝවේ පැවැත්වෙන අන්තර්ජාතික පොත් ප්‍රදර්ශන සංවිධායක කමිටුවේ සභාපති තනතුරද හොබවයි. ඇගේ මේ කලාකාමීත්වයම රාජකීය මාලිගයේ ගාම්භීර උස් බිත්තිවලට මැදිව ජීවත්වනවාට වඩා පොළොවේ පය ගසා ජීවත් වන්නට ඇය පොළඹවන්නට ඇත.

ඇගේ සිත දිනාගත් ආදරවන්තයා බවට පත්ව සිටින කෙයිකොමුරෝ හිටොට්සුබාෂි සරසවි උපාධි පාසලේ මූලික අධ්‍යාපනය ලබා පසුව ව්‍යාපාර නීතිය පිළිබඳ උපාධිය ලබාගත් අයෙකි.

මාකෝ කුමරිය ජපානයේ අකිහිතෝ අධිරාජයාගේ සහ මිචිකෝ අධිරාජිනියගේ දෙවැනි පුත්‍රයා වන අකිෂිතෝ කුමරුගේ සහ කිකෝ කුමරියගේ දියණියයි. ඇයට සහෝදරයන් දෙදෙනෙකි. ජපාන රාජකීයන්ට බලපානා නීතිය අනුව පිරිමි උරුමකරුවන් හට පමණක් ඔටුන්න හිමිවීමේ සම්ප්‍රදාය නිසා රාජකීය පවුලේ ලලනාවන් හුදු ආටෝපවත් ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්ව සිටිති. ඔවුන්ගේ පෞද්ගලික නිදහසද තමන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතියද රාජකීය අභිමානයට යට වී තිබේ. ජපාන රාජකීයයන් යනු හුදු කෞතුක වටිනාකමක් පමණක් ඇති සංස්කෘතික ප්‍රතිරූපයන්ය. ඔවුහු ක්‍රියාකාරී පාලනයට සම්බන්ධ වූවෝ නොවෙති. එහෙයින්ම රාජකීය රූකඩ බවට පත්ව සිටින මේ පවුලේ කාන්තාවන් පිරිමින්ට වඩා පීඩනයකට ලක්ව සිටිති. මේ පීඩාකාරී ව්‍යාජ ආටෝපවත් බවෙන් මිදී සිය නිදහස සොයායන්නට මුලින්ම කටයුතු කළේ මාකෝ කුමරියගේ නැන්දනියයි. අකිහිතෝ අධිරාජයාගේ එකම දියණිය වූ සායාකෝ කුමරියයි. ඇය සියලු රජ සැප හැරදා සාමාන්‍ය පුද්ගලයකු වූ නගර සැලසුම් ශිල්පියකු වන යොෂිකු කුරෝදා සමඟ 2005 දී විවාහ විය. ගෞරව නාම සහිත බොල් පිලිමයක් ලෙස ජීවත්වනවාට වඩා පාරට බැස සැබෑ ජීවිතයට මුහුණ දෙන්නට රජ පවුලෙන් මුලින්ම හිත හදාගත්තේ ඇයයි. එතැන් සිට රජ කුමරියකට හිමිව තිබූ සියලු වරප්‍රසාද අහිමිව ගිය ඇය සාමාන්‍ය ජපාන ගෘහණියක ලෙස ජීවත්වන්නට මුලසිටම ඉගෙන ගත්තාය.

සයාකෝ කුමරිය රජ පවුලේ ලලනාවන් හට ලබාදුන්නේ පරමාදර්ශයකි. රාජකීය සළුපිළිවලින් සැරසී, ගෞරව බුහුමන් මැද, ගෙදරට නාකි වෙනවාද? නැතිනම් තම සිත්ගත් තමන්ට ආදරය කරනා තැනැත්තෙකු හා විවාහ වී සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් නිදහස් සුව විඳිනවාද? යන අවස්ථා අතරින් දෙගිඩියාවකින් තොර තීන්දුවකට එළැඹෙන අයුරු ගැනය. දැනට වයස 25ක් වන මාකෝ කුමරියද ඇය අනුගමනය කරමින් රජමැදුරේ නාකි නොවී පාරට බැස ජීවිතයට මුහුණ දෙන්නට සිතට ගත්තාය. නැතිනම් කවදාවත් හිස පළඳින්නට නොලැබෙන ඔටුන්නක් වෙනුවෙන් සිය ජීවිත කාලයම රාජකීය රූකඩයක් ලෙස කටයුතු කරන්නට ඇයටද සිදුවන්නට තිබුණි. මේ වනවිට ජපාන රාජකීය පවුලට අයත් ලලනාවන් ගණන 14කි. එයින් හය දෙනෙක්ම නාමිකව ඔටුන්න හිමි කුමරියන්ය. සැබෑවටම ඔටුන්නට හිමිකම් කිවහැකි පිරිමින් ගණන පස් දෙනෙකි. රාජකීය කුමරෙක් නොලැබුණහොත් ඉහත කී කුමරියන් හයදෙනාටද සිදුවන්නේ මාකෝ කුමාරියගේ සහ ඇගේ නැන්දණිය වන සයාකෝ කුමාරියගේ පරමාදර්ශය අනුව යාමටය. කරුණු එසේම සිදුවුවහොත් මේ නිසාම ජපාන රාජකීය පවුලේ සාමාජික සංඛ්‍යාව තවත් කේඩෑරි වී යනු ඇත. මේ ගැන දැනට 83 වැනි වියේ පසුවන අකිහිතෝ අධිරාජයාද සිටිනුයේ මහත් සිත්තැවුලෙනි. තමන්ගේ දුර්වල ශාරීරික තත්ත්වය හේතුවෙන් විශ්‍රාම ගන්නට සිතා සිටින අධිරාජයා මත තවදුරටත් ජපාන රූකඩ රජ ඔටුන්නේ බර පැටවෙන්නට මාකෝ, කුමාරියගේ තීන්දුව බරසාර හේතුවක් වී ඇත.

ලෝකයේ සාමාන්‍ය පවුල්වල උදවිය රාජකීයන් සමඟ විවාහ වීම අලුත් කාරණාවක් නොවේ. බ්‍රිතාන්‍ය රජපවුලට එක්වූ ඩයනා සහ කේට් මිඩ්ල්ටන්ගේ සිට භූතානයේ පෙමා කුමරිය, මොනාකෝ රජ පවුලට එක්වූ ග්‍රේස් කෙලී, මොනාකෝ රජපවුලටම ආ චාර්ලින් විට්ස්ටොක්, ඉරානයේ ෆාරා පාලාවි ග්‍රීසියේ බ්ලැටිනික්  මෙන්ම මාකෝ කුමරිය මෙන් අමෙරිකානු සරසවියකදී සිය අනාගත සහකරු තෝරාගත් උගන්ඩාවේ රජකුමරිය රෑත් විවාහ කරගත් ඩිස්කවරි චැනලයේ ක්‍රිස්ටෝපර් තෝමස් මේ පිළිබඳ උදාහරණය. මෙබඳු තවත් පෙම් පටලැවිලි 25ක් ගැන ලෝකයෙන් වාර්තා වෙයි. හැබැයි මේ කිසිදු අවස්ථාවක අදාළ රාජකීයයාට සිය උරුමය අහිමිවූයේ නැත. එවැන්නක් ගැන සඳහන් වූයේ එක්වරකි. එයද මේ තරම්ම ලෝකය කැළඹූ පෙම් පලහිලව්වකි. බ්‍රිතාන්‍යයේ අටවැනි එඩ්වඩ් රජු වැලීස් සිම්සන් නමැති දික්කසාද කාන්තාව විවාහ කරගන්නට ආදරය කිරීම හේතුවෙන් සිය රජකම අත්හැරීමේ කතාව එයයි.

♦ සුගත් පී. කුලතුංගආරච්චි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00