2017 මැයි 27 වන සෙනසුරාදා

සිකුරුලියා යුද්ධයක පැටලේ!

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

2017 ජුනි මස 3 වන ශනි දින දවල් 1 පසුවී විනාඩි 3ට සිකුරු ග්‍රහයාත් යුරේනස් ග්‍රහයාත් ග්‍රහ යුධ සංග්‍රාමයක නිරතවනු ඇත. සිකුරු හා යුරේනස් යන ග්‍රහයන් දෙදෙනා මේෂ රාශියෙහි අස්විද නැකතේ ප්‍රථම පාදයෙන් එකම අංශකයක ගමන් කරමින් දෙදෙනා දෙදෙනාව අභිබවා යාමට උත්සාහ කිරීම හේතුවෙන් ඒ දෙදෙනාගේ අශුභ වූ කිරණ පෘථිවිය වෙත ඉදිරි මාස තුනක කාලයක් යනතුරැම එල්ලවනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී කුඩා ළමුන්ට හා ස්ත්‍රීන්ට අයහපත් වූ කාල වකවානුවක් වේ. ප්‍රසිද්ධ ලේඛකයකුට, මාධ්‍යවේදියකුට හෝ ග්‍රන්ථ කතුවරයකුට මාරක වනු ඇත. මහජනයා අතර අසත්‍ය, සිත් කළඹන පුවත් ප්‍රචලිත වේ. දික්කසාද බහුල වකවානුවක් වන අතර සියදිවි නසාගැනීම්ද, අපරාධ ඉහළ යාමද සිදුවේ. ආගමික කටයුතු සම්බන්ධ ප්‍රශ්නයක්ද, ඒ ආශ්‍රිත නීති ප්‍රශ්නයක් ද පැනනගිනු ඇත. පාර්ලිමේන්තුව තුළ ගැටලුකාරී තත්ත්වයක් උදාවන අතර මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරැවක් වාර්තා වනු ඇත. දුම්රිය අනතුරක් ද වාර්තා වේ. විනෝද හෝ නෘත්‍ය ස්ථානයක් ගිනිගනු ඇත.

මේෂ - හිසේ පීඩා

ඔබගේ පවුල් දිවියේ ගැටලු පැනනගින වකවානුවක් බැවින් ඉවසීමෙන් වැඩ කරන්න. හවුල් කටයුතු කිරීමේදීත් කල්පනාකාරී වන්න. හිස ආශ්‍රිත පීඩා මතුවනු ඇත.

වෘෂභ - ප්‍රේමයට බාධා

ඔබගේ කටයුතු අඩපණ වන්නාවූත් වකවානුවකි. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ප්‍රේම සබඳතාවලට අවහිරතා ඇතිවනු ඇත.

මිථුන - ලේඛනයට අයහපත්

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් වුවද හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වේ.

කටක - තැන්පත් ධනය වැයවේ

තැන්පත් ධනය වියදම් වී යන වකවානුවක් වේ. රැකියා ස්ථානයෙහි තමාට එරෙහි කුමන්ත්‍රණ ඇතිවනු ඇත. ආත්ම ගෞරවයට හානිවන්නාවූ සිදුවීමක් විය හැකි බැවින් අවධානයෙන් වැඩ කරන්න.

සිංහ - නීතියෙන් සහන

ඔබට අයහපත් නොවනු ඇත. කෙටි ගමන් වැඩි වශයෙන් යෙදෙන වකවානුවකි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අය ක්‍රීඩා ආදියට යොමුවන වකවානුවක් වේ. නීතිමය ප්‍රශ්නයකට මැදි වී සිටින අයට සහනයක් අත්වනු ඇත.

කන්‍යා - හිමිකම් ලැබේ

ඔබට හදිසි ශරීර පීඩා ඇතිවන්නාවූ වකවානුවකි. සහකරුට හෝ සහකාරියට යම් යම් ප්‍රශ්න ගෙන දෙන්නාවූත් කාල වකවානුවක් වේ. උරුම හිමිකම් ලබාගැනීමට යහපත් වකවානුවකි.

තුලා - සතුරු බලවේග

ඔබගේ සහකරුට හෝ සහකාරියට ශරීර පීඩා ගෙන දෙන්නාවූ කාලසීමාවක් වේ. හවුල් කටයුතු කිරීමට අයහපත් වකවානුවක් වේ. සතුරු බලවේගයක් ක්‍රියාත්මක වන්නාවූ කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

වෘෂ්චික - හදිසි අනතුරු

ඔබගේ ශරීර සෞඛ්‍යයට අයහපත් වන කාල වකවානුවක් වේ. කටයුතුවලට විවිධ වූ පාර්ශ්ව වලින් බාධා කිරීම් සිදුකරනු ඇත. හදිසි අනතුරු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතු වේ.

ධනු - මිතුරන් දුරස් වේ

ඔබගේ සිත ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙන වකවානුවක් වේ. ප්‍රේම සම්බන්ධතාවලට අයහපත් වූ බලපෑම් ඇතිවනු ඇත. හිතමිතුරන් තමාගෙන් ඈත්වන කාලසීමාවක් වේ.

මකර - ආරවුලකට මුල

භූමිය ආශ්‍රිත ආරවුලකට මැදිවිය හැකි බැවින් ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කළ යුතු වේ. ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධාවන් එල්ලවනු ඇත. නව දේපලක් වාහනයක් මිලදී ගන්නේ නම් කල්පනාකාරී වන්න.

කුම්භ - මතගැටුම් ඉහළට

සහෝදර සහෝදරියන් අතර මතගැටුම් පැනනගිනු ඇත. සිතේ සහනය අඩු වේ. ඔබ ළඟින් ඇසුරු කළ අයකු ඔබගෙන් දුරස්වීමක් සිදුවන වකවානුවක් වේ.

මීන - ඉක්මන් තීරණ

ඉක්මන් තීරණ ගැනීමෙන් අමාරුවේ වැටෙන කාලයක් වේ. ඔබගේ කටයුතු සඳහා විවිධ වූ පාර්ශ්ව වලින් බාධාකිරීම් එල්ල කරනු ඇත. හදිසි ශරීර පීඩා ගෙනදෙන වකවානුවකි.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ 
පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල