2017 මැයි 27 වන සෙනසුරාදා

ආදරය ගඟක් රාගය ගල්පරයක්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 493

දරුවෙනි, ලෝකයේ සෑම ජීවියෙකුටම ඇත්තේ අත්‍යවශ්‍ය පොදු අරමුණු දෙකකි. ස්වභාව ධර්මයට අවශ්‍ය වන්නේ සෑම සත්ත්වයෙකු ලවාම ඒ අරමුණු දෙක මුදුන් පමුණුවා ගැනීමය. ඉන් පළමුවැන්න සෑම සත්ත්වයෙකුම තමන්ගේ ජීවිතය ජීවත් කරවීම උදෙසා ආහාර සොයා ගත යුතුය. දෙවැන්න නම් තම අනාගත පරම්පරාව ව්‍යාප්ත කිරීම උදෙසා පැටවුන් බිහි කිරීමය. ඉන් එහා කිසිවක් ස්වභාවික පරිසරය විසින් සත්වයකුගෙන් බලාපොරොත්තු නොවේ.

එහෙත් තනි තනිව ගත් කල සතුන් විවිධ දේ කරති. ලගිති, දුවති, පනිති, සෙල්ලම් කරති, කලහ කරගනිති, නිවාස තනති, කලාව හදාරති, අධ්‍යපනය ලබති, ගීත ගයති, නාති, පීනති, හැඩරුව වෙති, ඡන්දය ඉල්ලති, වාහන තනති, ඒවයේ නැගී රේස් පදිති. එහෙත් මේ කිසිවක් කළා නොකළා කියා ස්වභාව ධර්මයාට ගැටලුවක් නැත. ස්වභාව ධර්මයාට අවශ්‍ය වන්නේ ඔබ යහතින් කාලයක් ජීවත්වීමට ඔබලාගෙන් පසු ඔබගේ පරපුර පවත්වා ගැනීම උදෙසා පැටියෙකුත් පමණි. මිනිසුන් මිනිසුන් විසින්ම නියම කරගත් බොහෝ දේ පවා මඟහරිති. මිනිසා උපතින්ම කලහකාරීය, වෙනස්වන සුළුය. උන්ට ඉතා ඉක්මණින් සියල්ල අමතකව යයි. මේ නිසා මිනිසා නැමැති සත්ත්වයා පාරම්පරික ලෙස පවත්වාගෙන යාමට අනෙකුත් සතුන්ට පැනවූ නියමයත් ප්‍රමාණවත් නොවේ.

ගොනා, හරකා හෝ මුවා කති, බොති, නිදති. ඊට අමතරව අනිවාර්ය ලෙසම පැටවුන් බිහි කරති. නමුදු මිනිසුන් ඇතැම්විට තම ජීවිත අරමුණුවලට හානිදායක වෙතැයි බියෙන් පැටවුන් බිහි නොකර සිටිති. මෙවැනි දෑ වැළැක්වීම සඳහා මිනිසුන්ගේ යුගල බන්ධනය ශක්තිමත් කළ යුතුය. අනෙක් සතුන්ට වඩා ඒ යුගල බන්ධනය තුළ ආකර්ෂණය තීව්‍ර කළ යුතුය. අනෙක් සතුන්ට වඩා ඔවුන් එක්ව තැබීමට වෙහෙස විය යුතුය. ඒ උදෙසා ස්වභාව ධර්මය නැමැති දෙවියන්වහන්සේ විසින් ඔවුනතර ආදරය තැබූහ. ආදරය පිටස්තර පොත්තක් සේ දවටා ඒ අභ්‍යන්තරයේ රාගය තැබූහ. ආදරය ඵලයක පිට පොත්ත නම් මදය රාගයය. ශෘංගාරයය. ඵලයම බුදිනා සෑම සතෙකුම ආදරයේ මෙන්ම ශෘංගාරයේ රසද හඳුනාගන්නේය. සමහරුන් ආදරය නැමැති පිට පොත්ත ගලවා දමා මදය පමණක් භුක්ති විඳිති. එමගින්ද ස්වභාව ධර්මයේ අරමුණුට බරපතළ හානි සිදුවේ. මේ නිසා යුගල බන්ධනය තවත් වියවුල් තැනකට පත්වේ. යුගල බන්ධනය අතර රාගය, ආදරය, ශෘංගාරය තමන්ගේ පැටවුන් බිහි කිරීමේ ක්‍රියාවලියට සෞන්දර්යාත්මක රසයක් ගෙන දීමටය. මූලික අරමුණ පැටවකු බිහි කිරීමය. එහෙත් මිනිසා රසයට ලොල්ව ඵලය විනාශ කරනා ජීවියකු බැවින් මුල් අරමුණම විනාශ කිරීමට තාක්ෂණය යොදා ගනී. එනම් විවිධ උපත් පාලන ක්‍රමය මේ සියල්ල නිසා සිදුවී ඇත්තේ පසුගිය ශතවර්ෂ ගණනක් පුරා මිනිසා ස්වභාවික ජීවියකු බවට පත්වීමය. 

එබැවින් දරුවෙනි ආදරය යනු ඔබ අද මේ රසවිඳින, අත්විඳන, සිනාහ වීම, නියවීම, අතපත ගෑම හෝ ලෙවකෑම නොවේ. අමනාප වීම හෝ මිත්‍ර වීම නොවේ. සිප ගැනීම හෝ ස්පර්ශයේ යෙදීම නොවේ. 

එසේනම් ආදරය යනු කුමක්ද?

ඔබ ඔය කරන්නේ ආදරය නිසා සිදුවිය යුතු දේට මුහුණ දෙනවා මිස ආදරය කිරීම නොවේ.

රානාගේ මුහුණ අමුතු වී ගියේය. ඔව් ඔහුට පැටලුණු බව සැබෑය.

අසා සිටින්න රානා... ඔබ සිතන්න, උදෑසන ඉර එළිය කදිමට වැටෙන මෙවන් මොහොතක අර ගල්පරවල හැපී උඩ විසිව වාතලයට මුහු වන පිනි තුෂර දෙස. ඒවා හරහා ඉර එළිය ගමන් ගන්නා විට කදිම දේදුන්නක් මැවී පෙනෙයි. මේ ගඟ ගලන්නේත්, අර ගල් පරය අතන තියෙන්නෙත්, ඉර පායන්නෙත් දේදුන්න ඇති වීම උදෙසා නොවේ. ගඟ ඔහේ ගලයි. ඉර ඔහේ පායයි. ඒවායේ සංකලනයෙන් ඒවා පවා නොදැනුවත්වම දේදුන්නක් හටගනී. අපි ඒ දෙස සාවධානව බලා සිටිමු. අපිට කිසි වෙහෙසක් නැතිව අපි ඒ දෙස බලා විනෝද වෙයි. ඔබ සිතන්න ගඟ නොගලනා දිනක අපි දිය බාල්දි රැගෙන විත් ඉර එළිය හරහා මෙවැනි පිනි ධහරාවක් තනන්නට මහන්සි ගත්තා යැයි කියා ඇතැම් විටෙක අද වගේම නැතත් දේදුන්නක් එවිටද හටගත හැකියි. එවිටත් එය අප සාවධානව රස විඳින්නේ නැත. අපට එය නැරඹීමට කාලයක් නැත. මන්ද අප දේදුන්න නිරීක්ෂණය කරමින් සිටිනා බැවින් අපි කලබලය.

ආදරය සහ ශෘංගාරය යනු ගඟ සහ ගල් පරයය. දේදුන්න යනු පැටවාය. ගඟ ගලන්නේ දේදුන්න බිහිකිරීම උදෙසා නොවෙන්නාසේම අපි ආදරය හෝ ශෘංගාරය පවතින්නේ දරුවන් සෑදීම සඳහා නොවේ. එහෙත් එය අනිවාර්යයෙන්ම සිදුවන්නේය. එය එසේ සිදුනොවන සෑම සංස්කෘතියක් තුළම ගැටලු පැන නගින්නේය. ලොව නොදියුණු සෑම සංස්කෘතියක්ම පැටවුන් බිහි කිරීමේ ක්‍රියාවලිය ගැන ඕනෑවට වඩා ඇඟිලි ගැසූ සංස්කෘතීන් වන්නේය.

රාගය ගැන, ශෘංගාරය ගැන, ඕනෑවටත් වඩා ප්‍රවේසම් වන ජාතියක් ලෝකයේ කොහේ හෝ සිටීද ඒ ජාතියට ඇති එකම අරමුණ රාගයම පමණක් වෙයි. උන් නැතැයි නැතැයි මුරගාන සෑම අවලංකමක්ම උන්ගේම අනන්‍ය ලක්ෂණම වෙයි. උන් අපි හොඳයි හොඳයි කියා මුරදෙන බැවින්ම නරක උන් වෙයි. යමෙක් නිතර නිතර තමන් හොඳයයි කියන්නේ ඔවුන් හොඳකම ගැන ඔහුටද සැක හිතෙනා විටය.

එබැවින් රානා කවුරුන් හෝ තමන් හොඳ යැයි ඔහුම කියනවා නම්, අංක එකට ඔබ ඔහු නරක මිනිසෙකු බව හිතන්න. එක්කෝ පරිස්සම් වන්න.

තොපගේ ජාතිය විසින් ඉතිහාසය පටන්ම කර ඇත්තේ රාගය සහ ශෘංගාරය සමඟ නියැලීමකි. තොප උජාරුවෙන් පුරසාරම් දොඩන ඉතිහාසය දෙස වරක් හැරී බලන්න. හොරුන් මැරයන් ස්ත්‍රී දූෂකයින් විකෘති කාමාතුරයින්ගෙන් තොපගේ රජ පෙළපත පිරී ඇත්තේය. රටවලින් සල්ලාලයින් හෝ ලේබල් තියා මව්පියන් පවා එලවා දැමූ මිනිස් නොසණ්ඩාලයන්ගෙන් පැවත එන තොපි ඒ ජාන හැඩහුරුකම් තවමත් පෙන්වමින් සිටියි. රානා ඒ නිසා සිහි තබාගන්න... කවුරුත් කී නිසා මෙතෙක් උන්මත්තකව කෑ ගැසූ, මැතිරූ, කට පාඩම් වාක්‍ය රටා අමතක කර දමන්න. අපි උතුම්, අපේ රට උතුම්, අපේ මුතුන් මිත්තන් උතුම්, අපි පොඩියි, අපි ශ්‍රේෂ්ඨයි කියා නොවෙයි රානා... අපි උතුම්ද? අපි පොඩිද? අපි ශ්‍රේෂ්ඨද?... යන්න සෑබෑවට ප්‍රශ්න කරන්න. යමෙකු තමන්ගේ ඉතිහාසය කීමෙන් කිසිවක් ඔප්පු කර පෙන්වන්නේ නැත. මන්ද ඉතිහාසය යනු මියැදුණු සිතුවමකි. ඔබ ගැන කියන්නේ මියැදුණු සිතුවම නොවේ. අත ඇති පින්සලය.

I සමන් එදිරිමුණි
(ලබන සතියට)