2017 මැයි 27 වන සෙනසුරාදා

රජරට හිඳුණු වැව් මත සව්දිය පුරන නරුමයෝ

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

අනුරාධපුරයේ ප‍්‍රධාන ජලාශ ගණනාවක සමස්ත ජල ධාරිතාවය සියයට තිහේ සීමාවටත් වඩා අඩුවී ඇති බව වාරිමාර්ග බලධාරිහු පවසති. සමහර ජලාශයක එය සියයට විසිපහකි. තවත් තැනෙක එය සියයට විස්සකි. ග‍්‍රාමීයව පවතින සුළු පරිමාණ වැව් සියයට අනුවක් පමණම මුළුමනින්ම සිඳී ඉරිතලා ගොස්ය. තවදුරටත් කාලය ඉකුත්ව යත්ම තත්ත්වය මෙපරිද්දෙන්ම පැවතියහොත් පානීය සහ අනෙකුත් සනීපාරක්ෂක අවශ්‍යතාවන් සඳහාද ජලය සපයා ගැනීම ගැටලු සහගත වනු ඇත.

පිපාසිත වනසතුන් තැන තැන මැරී වැටී සිටින දසුන දැකීමට තරම් අප අවාසනාවන්ත වනු ඇත. මේ හැම අතරවාරයේ සිඳිගිය වැව් තාවලු මත සව්දිය පුරන පවුකාරයන් සිදුකරන පරිසර විනාශය මහත්ම අභාග්‍යයක් වී ඇති බව පරිසර හිතකාමීහු පවසති. 

මහවිලච්චිය ප‍්‍රදේශවාසී නිමල් පියතිස්ස මහතා පැවසුයේ මෙවැන්නකි.

හිඳිලා තියෙන වැව්වල සමහරු වාහන අරගෙන යන්නේ සෆාරි යනවා වගේ. කාලා බීලා ගේන දේවලුත් තැන් තැන් වල දාල පැත්තම විනාශ කරනවා. ගිනිමැල ගහනවා. බජව් දානවා. එකම විකාර ගොඩයි. මිනිස්සු විනෝද වෙන එකට අපිට වරදක් කියන්න බෑ. ඒත් බොන්ඩ ගේන අරක්කු බෝතලේ කුඩු කරලා තැන් තැන්වල දාන්ඩ තරම් මේ මිනිස්සු පවුකාරයෝ වෙලා තියෙනවා. වැස්සෙන් පස්සේ මේ හැමදේම ආයෙත් එකතු වෙන්නේ වැවට. මේ ටික හිතන්න බැරි මිනිස්සුන්ට නීතියක් හරියට ක‍්‍රියාත්මක වෙනවද කියන එක තමයි අපිට තියෙන ගැටලුව.

අනුරාධපුරයේ ප‍්‍රධානතම ජලාශය ලෙස සැලකෙන කලාවැව ආශ‍්‍රිතව ඉතා අවධිමත් ලෙස කැළි කසළ සහ අපද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් දැඩි පාරිසරික හානිදායක බවක් මතුව ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති. පවතින නියං තත්ත්වය හේතුවෙන් වැවේ ජල ධාරිතාවයද විශාල ලෙස අඩුවී ඇත. මෙහෙයින්ම සවස් කාලයේ වන අලින් ජලය සොයා වැව වෙත පැමිණෙන බවත්, අලින් දැකගැනීමට දෛනිකව විශාල පිරිසක් මෙහි එන බවත් ප‍්‍රදේශවාසීහු කියති. මෙසේ එන පිරිස් සිදුකරන පාරිසරික හානිය සුළුපටු නැති බව ගැමියන් කියති.

දශක ගණනාවක් ගත වුවද දිරා නොයන ප්ලාස්ටික් බෝතල්, පොලිතින් ආදිය මෙසේ ප‍්‍රදේශයේ බොහෝමයක් වැව් වටා සහ වැව් තුළ ඒකරාශි වී ඇති බවත්, විවිධ ප‍්‍රමාණයේ මත්පැන් බෝතල්ද ඒ අතර විශාල වශයෙන් ඇති බවත් ප‍්‍රදේශවාසීහු  කියති. වැව තුළ මෙන්ම වැව් බැම්ම මත සහ රළපනාවේ ගල් කැබැලි අතර මෙසේ මෙම අපද්‍රව්‍ය විශාල වශයෙන් ඒකරාශි වී ඇති බව ඔවුන් පෙන්වා දෙති. වැව වටා ඇති නාන තොටුපළවල් ආසන්නයේ සබන් දවටන, පොලිතීන් මලු ආදිය තැන තැන දමා ඇත්තේ කිසිදු තැකීමකින් තොරවය. මත්සයන්ට සහ මේ පරිසර පද්ධතීන් ආශ්‍රිතව සැරිසරන ජලජ පක්ෂීන්ගේ පැවැත්ම සඳහාද මෙම තත්ත්වය දීර්ඝකාලීනව මහත් හානිකර විය හැකි බව ප‍්‍රදේශවාසීන්ගේ විශ්වාසය වී තිබේ. 

ගල්නෑව, බුල්නෑව ප‍්‍රදේශවාසියකු වන ඩී.එච්. රුවන්පුර මහතා කීයේ මෙහි තවත් පැතිකඩක් පිළිබඳවය.

ගම්වල පොඩි වැව් දැන් සම්පූර්ණයෙන්ම වගේ හිඳිලා තියෙන්නේ. කැලෑ රොදවල් අස්සේ ඉන්න හාවෝ, මීමින්නෝ, මුවෝ, ඉත්තෑවෝ, වල් ඌරෝ වගේ සත්තුන්ට බොන්න වතුර නෑ. උන් වතුර හොයාගෙන වැව්වලට එනවා. මේ එන අහිංසක සත්තු මරාගෙන කන්න සමහරු තුවක්කු බඳිනවා. උගුල් අටවනවා. කිසිම හිතක් පපුවක් නැති විදිහට තමයි මේ දේවල් කරන්නේ. පිපාසෙට වතුර ටිකක් හොයාගෙන එන සත්තුන්ට වෙඩි තියන මිනිස්සු ඉන්න පුදුම හැදියාවක් තියෙන රටක් මේක.

සවස්කාලයේ බොහෝමයක් වැව් බැමිවල හුදකලා ප‍්‍රදේශ මත්ලෝලීන්ගේ සහ විවිධ නොපනත්කම්වල නියැලෙන්නන්ගේ තිප්පොළක් වීම සාමාකාමී ජන ජීවිතයට විශාල තර්ජනයක් වී ඇති බවද ප‍්‍රදේශවාසීහු කියති. මත්පැන්, ගී ගායනා, උසුලු විසුළු සමග මිශ‍්‍ර වූ මොවුන්ගේ හැසිරීම් කලහකාරීව අවසන් වූ අවස්ථාවන්ද ඇති බව ඔවුහු හෙළිදරව් කරති. එවැනි අවස්ථාවලදී මෙවැනි පිරිස් ගෙනඑන මත්පැන් බෝතල්, පොලිතීන් ආදි සියලු අපද්‍රව්‍ය වැව් බැම්ම් ආශ‍්‍රිතව හෝ වැව වෙත මුදාහරින අවස්ථාවන් ඇති බවද ඔවුහු කියති. 

මල්වානේගම ප‍්‍රදේශවාසියකු වන අතුල වික‍්‍රමසිංහ මහතා පැවසූයේ මෙවැන්නකි.

මේක මහා පවුකාර රටක්. කිසිම තැනක පූර්වාදර්ශයක් නෑ. වැව් තාවලුවල කුණු දාන්ඩ එපා කියන නිලධාරි ඉන්න ආයතනවල ගොඩගැහිලා තියෙන කුණු කන්දවල් බලන්ඩකෝ. ඒවා බලන්ඩ මහජන පරීක්ෂකලත් නෑ. වෙන කවුරුවත් ඇත්තෙත් නෑ. 

ඉතිං කොහොමද වැව්වලට ඇවිල්ලා පිස්සු නටන පව්කාරයන්ගේ වැඩ නවත්තන්නේ. ගොවිතැනක් කරගන්ඩ වතුර නැතිව ගොවියෝ ළතැවෙනවා. හිඳිච්ච වැව් තාවලුවල මේ මිනිස්සු ජෝගි නටනවා. මේ දවස්වල හැම වැවකම වගේ තත්ත්වේ මේක. ඉස්සරහට තවත් වැඩිවෙයි.

දිනපතා  පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට වැව් අසලට වී ගිමන් නිවා, රැක් සෙවනට වී ආහාර පානාදිය ගෙන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සෑම ප‍්‍රධාන ජලාශයක් ආශ‍්‍රිතවම කසළ බඳුන් තබා ඇත. එහෙත් මෙසේ තබා ඇති බඳුන් වෙත කසළ බැහැර කිරීම පිළිබඳව බොහෝදෙනකු සැළකිලිමත් නොවීම මහත්ම ගැටලුවක් වී ඇති බව ප‍්‍රදේශවාසීහු හෙළිදරව් කරති. කිසිදු තැකීමකින් තොරව අයාලේ අපද්‍රව්‍ය දැමීම බොහෝදෙනකුගේ සිරිත වී ඇති බව ඔවුහු කියති. තැන තැන දැනුම්වත් කිරීමේ පුවරුද සවිකොට ඇතත්, මෙහි පැමිණෙන්නවුන්ගේ ආකල්පමය වෙනසකට එය ප‍්‍රමාණවත් වී නැති බව ද ප‍්‍රදේශවාසීහු පවසති.

මේ වැව් බොහෝමයක් අනුරාධපුරයේ කෘෂිකාර්මික ජන ජීවිතයේ හදවතයි. වැව්, අමුණු මගින් වගාවන් සිදුකරන භූමිය අක්කර ලක්ෂ ගණනකි. ධීවරයන් දස දහස් ගණනක්ද වැව් තුළ මසුන් නෙලීමේ යෙදී සිටිති. ඒ වටා සුරක්ෂිත වන ව්‍යාපාරිකයන් එකෙකු දෙන්නකු නොවේ. දහස් ගණනකි. එමගින් යැපෙන්නවුන් ලක්ෂ ගණනකි. පානීය සහ සනීපාරක්ෂක අවශ්‍යතාවයන් සඳහා කලාපය තුළද ඉන් බැහැරවද මෙම වැව් මගින් ජලය නිකුත් කිරීමේ ක‍්‍රියාවලියද අවධානයට ලක්වන්නකි. ඉතා විචිත‍්‍රවත් පරිසර පද්ධතීන් ලෙසද මේ බොහොමයක් වැව් අමුණු පවතී.

මේ සියලු තත්ත්වයන් සමඟ පෙර රජදවස ඉදිවූ වැව්අමුණු මගින් වර්තමානයේ කොපමණ ප‍්‍රයෝජන ලබාගත්තද උදාව ඇති අභාග්‍යයෙන් අත්මුදවන්නට කිසිවකු නොවීම ඉමහත් අපරාධයක් බව ප‍්‍රදේශවාසීහු කියති. යළි වැසි ඇදවැටීමත් සමඟ මේ බොහෝමයක් වැව්වල රළපනාව තුළත්, වැව් තාවුල්ලෙත් ඒකරාශි වී ඇති අපද්‍රව්‍ය වැවට එකතුවීම වැළකිය හැක්කක් නොවන බව ඔවුහු හෙළිදරව් කරති. එහෙයින්ම වැස්සට පෙර මෙම කැළිකසළ ඉවත් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ප‍්‍රදේශවාසීහු පෙන්වා දෙති. යම් නීතිමය පියවරකින් හෝ වැව් බිම් මත ජෝගි නටන්නවුන්ට එරෙහිව වැටබැඳිය යුතුව ඇත. එහෙත් වැටත්, නියරත් ගොයම් කන පසුබිමක එවැනි වැඩපිළිවෙළක සාර්ථකත්වය බොහෝ ඈත බව නම් නොකියමනාය. 

කතාව හා සේයාරූ - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00