2017 මැයි 27 වන සෙනසුරාදා

මීතොටමුල්ලට සති හයයි - කඳුළු කතා තාම ඉවර නෑ

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

මුළු රටක්ම කැළඹීමට පත්කළ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ ඛේදවාචකය සිදුවී අදට හරියටම මාසයකුත් දින දාහතරක් ගෙවී ගොස්ය. මීට මාසයකට පමණ ඉහතදී එනම් හරියටම සිංහල අලුත් අවුරුද්ද දිනයේ පළාතක්ම ගිගුම් දෙමින් කුණු කන්ද නායගියේ අහිංසක ජීවිත විශාල ප්‍රමාණයක් පොළොවට පස්කරමිනි. බාල, තරුණ, මහලු, වැඩිහිටි මේ කිසිවෙකුටත් කුණු කන්දෙන් අනුකම්පාවක් නොලැබුණි. මිනිස් ජීවිතද සමඟ ඔවුන් හරි හම්බරගත් දේපළද මේ නිසා විනාශයට පත්විය. කුණු කන්ද කඩාවැටුණු ආසන්නම කාලසීමාවේ එහි ගිය අපට බොහෝදුරට දැකගන්නට ලැබුණේ එහි ජීවත් වූ ජනතාව නගන විලාපයන්ය.

මෙහිදී සංවේදිම අවස්ථාවක් වුයේ තම සිඟිති දියණිය ජීවත්වන්නේද හෝ මියගියේ යැයිද නොදැන ඇය සොයා මුළු මීතොටමුල්ල ප්‍රදේශයේම අස්සක් මුල්ලක් නෑර සැරි සරණ පියකුගේ දසුනයි. අද මේ මාසයකුත් දිනකිහිපයක් ගත වූ මොහොතේ එහි ගිය අපට දැකගන්නට ලැබුණේ මුළු ප්‍රදේශයම පාළු වී ඇති ස්වභාවයයි.

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් 32කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වූ බවට වාර්තාවක් ඉදිරිපත් වූ අතර ඒ අවට ප්‍රදේශවාසීන් පවසන්නේ එම සංඛ්‍යාව ඊට වඩා ඉහළ අගයක් ගන්නා බවයි. එසේම නිවාස 145කට අධික සංඛ්‍යාවක් විනාශ වූ අතර දැනට එම ප්‍රදේශයේ අවදානම් කලාපය ලෙස ප්‍රකාශයට පත්කර ඇති කොටසේ නිවාස 200ක් පමණ පිහිටා ඇත. 

පූර්ණ වශයෙන් නිවාස හානි වූවන් සඳහා සති දෙක තුනක් වැනි කාලයකදී නිවාස ලබාදීමට රජය කටයුතු කළ අතර මේ වනවිට ආපදාවට ලක්වූවන් අතරින් පවුල් 95ක් පදිංචි වී සිටින්නේ කොළොන්නාව ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේය. මෙහි ජීවත්වන වැඩි පිරිස තමන්ගේ අලුත් නවාතැනට වැඩි කැමැත්තක් නොදක්වන අතර ඔවුන් කියා සිටින්නේ මෙලෙස හිරවී තට්ටු ගණනක් ඉහළින් ජීවත් වීම වඩාත් අපහසු කාර්යයක් බවය. මෙහිදී අපට හමුවූ මවක අපට පැවසූයේද තමන් රෝගී තත්ත්වයෙන් සිටින නිසා මේ ඉහළ මහළට නැග ගැනීම වඩා අපහසු බවය.

අපේ ගේ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඇඳගෙන හිටිය ඇඳුම් ටික විතරයි ඉතිරි වුණේ. වාසනාවට පවුලේ කාගෙවත් ජීවිත වලට කරදරයක් වුණේ නෑ. ඒ නිසා හම්බවුණ තැන වැටිලා ඉන්නවා. වෙන මොනවා කරන්නද ඒ තවත් මවකි. ඔවුන් කාලෙකදි තම තමන්ගේ නිවාසයන්හි සැප පහසුව ජීවත් වූ මිනිසුන්ය. එහෙත් ඔවුන්ට අද මේ ගෙවන්නට සිදුවී ඇත්තේ අනුන්ගේ පවකි. අවසානයේ කොළඹ කුණු කඩා වැටුණේ ඔවුන්ගේ හිස මතය. අනුන්ගේ කුණු නිසාම ඔවුන්ට අද අනුන්ගේ පිළිසරණ පැතීමටද සිදුව ඇත. 

කුණු කන්ද නිසා ආපදාවට ලක්වූවන්ට කෙටි කාලීන නවාතැන් පහසුකම් ලබාදීමට පසුගියදා මීතොටමුල්ල වී ගබඩාවද පිළිසකර කෙරිණි. මෙහි පවුල් 75කට පමණ නවාතැන් පහසුකම් ලබාදෙන්නට ඉඩ සලසා තිබුණද එහි ගිය අපට දැකගන්නට ලැබුණේ පවුල් 8ක් පමණක් එම ස්ථානයේ පදිංචි වී සිටින ආකාරයයි. ඔවුන් ආපදාවට ලක්ව ඇත්තේ ගිය වසරේ ඇති වූ ගංවතුරත් සමගය. 

අපිට ගංවතුර දාලා දැන් අවුරුද්දක් විතර වෙනවා. මේ කුණු කන්ද කඩාවැටෙද්දී අපි කූඩාරම්වල හිටියේ. එතනින් තමයි අපිව මේ තැනට ගෙනාවේ. ඇත්තටම කවිදජ හාමුදුරුවොයි, රන්ජන් රාමනායක ඇමැතිතුමයි තමයි අපිට මෙතෙන්ට ගෙනාවේ. අපි කුඩාරම්වල හිටියේ හරිම අමාරුවෙන්. දරුවෝ දෙන්නත් එක්ක කොහොමවත් එතන ඉන්න බෑ. මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන් කරදරයි. ලයිට් නෑ. වතුර නෑ. රෑට නෙට් දාගෙන නිදාගත්තත් මීයෝ ඇවිත් කකුල් හපලා යනවා. දරුවන්ටත් හැමදාම වගේ උණ හැදෙනවා. ගංවතුරට අහුවුණු අයත් මෙතන ඉන්නවා.

මීතොටමුල්ල වී ගබඩාවේදී හමු වූ ශෂීමා ගයන්ති මහත්මිය දේශයට අදහස් දැක්වූයේ එලෙසය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට ස්ථිර නිවහනක් ලබාදෙන්නේ නම් එය පිනක් බවය.

වී ගබඩාවේ මේ වනවිට නවාතැන්ගෙන සිටින ෆයිරූස් මහතා අප සමඟ පැවසූවේ තමන්ට කිසිම ආධාර මුදලක් හිමි නොවූ බවයි. 

මීතොටමුල්ලෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමෙහිලා වැල්ලම්පිටිය පරමධර්මෝදය විහාරාධිපති පූජ්‍ය විටියල කවිදජ ස්වාමීන්වහන්සේගෙන් සිදුවූයේ විශාල මෙහෙවරකි. මෙම සහන කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් අප උන්වහන්සේගෙන්ද අදහස් විමසීමක් කළෙමු. 

මීතොටමුල්ලේ කුණු කන්ද නායයාම නිසා ආපදාවට ලක්වුණු පුද්ගලයින්ගෙන් සියයට අනූවක පමණ ගැටලු මේ වෙද්දී විසඳිලයි තියෙන්නේ. නමුත් තවත් සියයට 10ක-15ක විතර ගැටලු විසඳන්නට තියෙනවා.

ආපදාවට ලක්වූවන්ට සහන සලසා දීමේදී ප්‍රමුඛතාවය දියයුතු පිළිවෙළක් තියෙනවා. මෙහිදී පළවෙනි කණ්ඩායාම වෙන්නේ පූර්ණ හානි හා ජීවිත හානි වූ අය. දෙවන කණ්ඩායම වන්නේ අර්ධ හානි සිදුවූ පිරිසයි. අවදානම් කලාපයේ සිටින පුද්ගලයින් අයත්වන්නේ තුන්වැනි කාණ්ඩයටයි. 

නමුත් සහන සැලසීමේදී මේ අයගේ කලවම්වීමක් සිද්ධවෙලා තියෙනවා. ඇත්තටම රජයෙන් නම්කිසිම අඩුපාඩුවක් නැතිව ප්‍රතිපාදන වෙන්වුණා. නිලධාරීන්ට තිබුණේ ඒ දෙන පහසුකම් ජනතාවට සියයට සියයක්ම ලබාදෙන්න. මෙතනදී පළවෙනි කණ්ඩායමට අයත් ජීවිත හානි හා පූර්ණ හානි සිදුවුණු අයටනේ මුලින්ම සලකන්න ඕනෙ. ඒ අයට ගෙවල් දීලා ඒ කටයුතු ඉවර වුණාට පස්සේ තමයි අර්ධ හානිවලට පත්වු අයට සලකන්නට ඕනෙ. මේ දෙගොල්ලන්ටම සහන ලබාදුන්නට පස්සෙයි අවදානම් කලාපයේ සිටින පිරිස් වෙත අවධානය යොමු කළ යුතු වන්නේ. නමුත් සිද්ධවෙලා තියෙන අසාධාරණය තමයි අර්ධ හානි සිදුවුණ අය පූර්ණ හානි සිදුවුණ අයටත් කලින් නිවාස ලබාගැනීම. ජීවිත හානි වුණ අය ගෙවල් ගත්තෙ නැති තත්ත්වයකදි අර්ධ හානි වුණ අය ගෙවල් දෙක බැගින් ලබාගත් අවස්ථා ගැනත් අපිට වාර්තා වුණා. 

ඊට අමතරව නිවාස එකකට වැඩියෙන් තිබුණ අයටත් සහන සැලසීමේ අසාධාරණකම් සිද්ධවෙලා තියෙනවා. නිවාස හතරක් හිමිකරුවකු හට ඒ නිවාස හතරම බඩු බාහිරාදියත් එක්ක විනාශ වෙලා තියෙද්දී එයාලට ලැබිලා තිබුණේ නිවාස දෙකක් විතරයි. මේ අසාධාරණයක්. ඒ වගේම පුර්ණ හානි සිදුවුණු අවස්ථාවකදී ගෙවල්වලට අමතරව බඩු මුට්ටු ගැනීමටත් ලක්ෂ දෙකහමාරක් දෙන්න ඕනෙ. නමුත් මේ පුද්ගලයන්ට ඒ මුදලුත් ලැබිලා තිබුණේ නෑ. ඉතින් මේ අය හැඬු කඳුළින් අපිට ප්‍රශ්න කියනවා. මම කිව්වා ඒවා සාකච්ඡා කරලා විසඳලා දෙන්නම් කියලා. හරිනම් ගෙවල් හතරම වෙනුවෙන් ඒ අයට රුපියල් දෙලක්ෂ පනස්දහයේ ඒවා හතරක් ලැබෙන්න ඕනෙ.

ජීවිත හානිවුණ අය දුකෙන් ඉඳිද්දි, පූර්ණ දේපළ හානි සිදුවුණ අය පැත්තක ඉඳිද්දි, අවදානම් කලාපයේ පදිංචිකරුවන්ට හා අනවසර පදිංචිකරුවන්ට මුලින්ම ගෙවල් හම්බවෙන එක ප්‍රශ්නයක් කියලයි මම කියන්නේ.

මෙතනදි නිවාස 98ක් පූර්ණ හානියට පත්වුණා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කිව්වේ ඒ වෙලාවෙ තියෙන හැටියට ගෙවල් 50ක් දෙන්නම් කියලා. මම කිව්වා 50 කට විතරක් දෙන්න බෑ. 98ටම එක සැරේම දෙන්න ඕනෙ කියලා. මොකද විනාශය සිද්ධ වුණේ එක සැරේටනෙ. පස්සෙ ගෙවල් 4ක් වෙන්කරන්නට තීරණය කළා. එහෙම ගෙවල් 98ක් වෙන්කළාට එවා අවශ්‍ය අයට නෙවෙයි ගියේ වෙන වෙන අයටයි. අනෙක් එක තමයි එක කාන්තාවක් ඉන්නවා එයාට හම්බවෙලා තියෙන්නේ දහවෙනි තට්ටුවේ ගෙයක්. එයා ආතරයිටිස් රෝගියෙක්. මට ඇවිත් අඬාගෙන කියනවා හාමුදුරුවනේ මම මේ අසනීපෙත් තියාගෙන කොහොමද දහවෙනි තට්ටුවට යන්නේ කියලා. එයාට ගෙවල් හතරක් තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ අය තෝරාගෙන ඔවුන්ට විශේෂත්වයක් කරන්න ඕනනේ. අඩු ගානේ පළවෙනි මහල හරි දෙන්න ඕනෙ. දෙවෙනි මහලේ ඉන්නවා අනවසර පදිංචිකරුවෝ. ඒවා තමයි ඉතින් තියෙන ප්‍රශ්න. නිලධාරීන් හරියට හොයලා බලලා වැඩකරනවානම් මේ ගැටලු මතුවෙන්නේ නෑ.

 හේමමාලා කුමාරි රාජකරුණා
සේයාරූ l සුමුදු හේවාපතිරණ 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00