2017 මැයි 20 වන සෙනසුරාදා

කොළඹ ගාලුමුවදොරින් මතුවූ ඇටකටු

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

කොළඹ ගාලුමුවදොර පිටිය අභියස ඉදිකරමින් පවතින හෝටල් ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය භූමියේ කැණීම් කටයුතු සිදුකරමින් සිටියදී මිනිස් අස්ථි කොටස්වලට සමාන ඇටකටු කීපයක් මතුව තිබුණේ දින කීපයකට ඉහතදීය. මේ පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ ඇතැම් පිරිස් ඊට විවිධ අර්ථකථන එක්කරන්නට උත්සාහ ගත්හ. ඒ අතර ඇතැමුන් සැක සහිත ඇටකටු සිය දේශපාලනික මතය අනුව සසඳන්නට උත්සාහ ගත්හ.

කොළඹ ෂැංග්‍රිලා හෝටල් සංකීර්ණය ඉදිකරමින් පවතින අවස්ථාවේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා පො‍ෙළාව ගැඹුරට අඩි අටක් පමණ කැණීම් සිදුකර තිබියදී මෙම අස්ථි කොටස් මතුවූ බව දුටුවෝ පවසති. ඒ පිළිබඳව සැකසිතූ එහි සේවක මණ්ඩලයේ මැදිහත් වීම මත එම තොරතුර කොටුව පොලිස්ථානය වෙත දැන්වීමෙන් අනතුරුව එහි කැණීම් කටයුතු නවත්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු ඉදිරි කැණීම් සිදුකරන අවස්ථාවට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සහභාගී වන ලෙස දන්වා සිටිනු ලැබීය.

අදාළ ස්ථානයෙන් වැඩිදුරටත් ඇටසැකිලි කොටස් හමුවනු ඇතැයි අනුමාන කරමින් අධිකරණය එසේ නියම කළ අතර නැවත පසුගිය 13 වැනිදා සහ පසුව කැණීම් සිදුකළේය. ඊට පෙර දින මහේස්ත්‍රාත්වරිය එම ස්ථානය නිරීක්ෂණයට ලක්කළ අතර එදින හමුවී තිබුණේ මිනිස් සිරුරක සම්පූර්ණ අස්ථි කොටස් නොවීය. පැහැදිලි වූ ආකාරයට එම කොටස් කීපය පො‍ෙළාවට අඩි අටක් ගැඹුරින් හමුවී තිබුණි. ඒ බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් පො‍ළොව කණින අවස්ථාවකදීය.
විවිධ කාලයන්හිදී මෙරට පැවති දේශපාලනික පසුබිම මත ඇතැම් පුද්ගලයන් ඝාතනය, පැහැර ගැනීම මෙන්ම අතුරුදන් වීමද වාර්තා වී ඇත. එවැනි අතීතයක් මතක ඇති ඕනෑම අයකුට මෙවැනි ප්‍රසිද්ධ ජනාකීර්ණ පෙදෙසක මෙන්ම ආරක්ෂක අංශ මූලස්ථානයක් අභියස පොළව තුළින් මිනිස් සිරුරක අස්ථි කොටස් හමුවීම සැක සහිත විමතිය උපදවන සිදුවීමකි. එම හේතුව නිසාම ඉහත සිදුවීම පිළිබඳව විවිධ අදහස පළවීම පුදුම නැත.

සිද්ධිය පිළිබඳව කොටුව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබියදී එම ස්ථානයේ සිටි පෞද්ගලික ආරක්ෂක අංශයක සාමාජිකයකු වූ පුද්ගලයෙක් පොලීසියට පවසා තිබුණේ මෙම භූමිය ආශ්‍රිතව අතීතයේ සොහොන් භූමියක් තිබී ඇති බවට කතාවක් පවතින බවය. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසූවේ වාර්තා වී ඇති අයුරින් 1809 වර්ෂයේදී පමණ මෙම ස්ථානයේ සුසාන භූමියක් පැවති බවට තොරතුරැ හමුවන බවත් හමුවූ ඇටකටු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බවත්ය.

අදාළ භූමිය පිළිබඳ සොයා බැලීමේදී ඉතිහාසය පිළිබඳව (නිදහස් පර් යේෂක) ධනේෂ් විසුම්පෙරුම මහතා සඳහන් කළේ වර්තමාන ෂැංග්‍රිලා හෝටල් සංකීර්ණය ඉදිකෙරෙන භූමිය 1809 – 1877 අතර කාලයේ සොහොන් බිමක්ව පැවති බවය. එවකට “.eරිසන් සෙමට්‍රිය” නමින් හඳුන්වා ඇති එය බ්‍රිතාන්‍ය පාලන යුගයේ ආරම්භ වූවකි. 1913 වසරේදී ජේ.පී. ලෙවිස් රෝටි මහතා විසින් රචිත “List of inscriptions on Tombstones and monuments in Ceylon” කෘතියේ මේ තොරතුරු සඳහන්ව ඇත. එම කෘතියේ එවකට පැවති සුසාන භූමි, සොහොන් කොත්, සිහිවටන සහ ශිලා ලේඛන පිළිබඳව තොරතුරු ඇතුළත් වන අතර ඒ සඳහා පිටු 195ක් පමණ වෙන්කර ඇත. බ්‍රිතාන්‍ය ජාතිකයන් උඩරට ආක්‍රමණය කළ 1815 සහ ඊට පෙරාතුව බ්‍රිතාන්‍ය ජාතිකයන් රාශියක් යුද්ධයෙන් මෙන්ම උණ රෝගයකින් මියගිය බවට පැවසෙන අතර බ්‍රිතාන්‍ය හමුදා නිලධාරින්, බිරින්දෑවරුන් හා ඔවුන්ගේ දරුවන්ගේ සිරුරු මෙන්ම සිවිල් නිලධාරින්ගේ සිරුරුද එම භූමියේ වළ දමා ඇති බවට සාධක පවතී.

පසුකලෙක 1860 දී පමණ බොරුල්ල කනත්ත ආරම්භ කිරීම සහ 1920 දී පමණ ගාලුමුවදොර උද්‍යානය ආරම්භයත් ඊට බලපාන සෞඛ්‍ය ගැටලු නිසාත් සමඟ සොහොන් බිම එම ස්ථානයෙන් ඉවත් කරන්නට කටයුතු කර ඇත. එහෙත් ඉන් පසුවද එම ස්ථානයේ රෝහල් සංකීර්ණයක් සහ හමුදා ගොඩනැගිලි කීපයක්ද පැවතී ඇත. පසු කලෙක එම ස්ථානය මෙරට හමුදාවේ භාවිතයට ගෙන ඇති බවත් වර්තමාන හමුදා මූලස්ථානය එම ඉසව්වේ පවතින්නට හේතුව එය බවත් ධනේෂ් විසුම්පෙරුම මහතා සඳහන් කරයි.

මාස කීපයකට ඉහතදී එම ආසන්නයේ සිදුකළ කැණීමකදී කාලතුවක්කු ඇතුළු අවි කීපයක් මතුවී තිබුණේද එම සාධක සනාථ කරමිනි. පසුගියදා මතුවූ අස්ථි කොටස් එම ඉතිහාසයේ කොටසක්ද? නැතිනම් වෙනත් මිනිස් ඝාතනයක්ද? තවමත් නිශ්චිත නැත. මේ ආකාරයේ සංවර්ධන කටයුතු අතරතුරදී සිදුකළ කැණීම්වලදී මීට පෙරද මිනිස් ඇටකටු රාශියක් හමුවී තිබුණි. වරෙක මන්නාරම තිරුකේතීස්වරම් ප්‍රදේශයේ ජලනළ එළමින් සිටි කම්කරුවන් පිරිසකට මිනිස් හිස් කබල් තුනක් හමුවීමත් සමඟ සිදුකළ වැඩිදුර කැණීමේදී මළ සිරුරු ගණනාවක අස්ථි කොටස් හමුවී තිබිණ. එය සමූහ මිනී වළක් වශයෙන් දකින්නට ලැබුණු අතර සිරුරු 43ට අදාළ අස්ථි කොටස් හමුවී තිබිණ.

එමෙන්ම ත්‍රිකුණාමලය මැකයිසර් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුක්තක් අතරතුරදීද පො‍ලොවට අඩි 5ක් පමණ ගැඹුරේ තිබූ ස්ථාන කීපයකින් අස්ථි කොටස් රාශියක් හමුවී තිබුණේද වසර කීපයකට ඉහතදීය. මේ සියල්ල අතර මාතලේ රෝහල් බිම අසලින් හමුවූ සමූහ මිනීවල තුළ සිරුරු 150කට අධික සංඛ්‍යාවක් දක්නට ලැබිණ.

මෙවැනි අවස්ථාවකින් පසුව නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය සහ අදාළ අංශවල පරීක්ෂණ කටයුතු සාධාරණව අපක්ෂපාතීව සිදුකළ යුතුය. ඊට ඇති බාධා ඉවත් කරලීමත් අවශ්‍ය පහසුකම් සලසා දීමත් ආණ්ඩුවේ යුතුකමය.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර