2017 මැයි 20 වන සෙනසුරාදා

යාචක පවුල් තිහක් සිඟමනින් මුදාගත් හිත හොඳ තරුණයා

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133

ගිනිගහන හිරු ක‍්‍රමයෙන් බැස යමින් තිබේ. තවත් පැයක් හමාරක් ගතවෙත්ම තුරු අතු පතර මත අඳුර නිදිසුව සොයනු ඇත. තඹුත්තේගම-කලාවැව මාර්ගයේ ගල්නෑව නගරය පසුකොට කිලෝමීටර් හතක් පමණ පැමිණි පසු හමුවනුයේ අවුකන මංසන්ධියයි. මෙතැන් සිට කලාවැවට ඇත්තේ තවත් කිලෝමීටර් පහක පමණ දුරකි. මෙහි සිට වම්පසින් ඇති තාර අතුල මාවතේ කිලෝ මීටරයක් පමණ ගියතැන හමුවනුයේ සුප‍්‍රකට අවුකන රජමහා විහාරයයි.

අනතුරැව මේ මායිමෙන් මහව සිට මඩකලපුව දක්වා දිවයන දුම්රිය මඟට මඳක් ඔබ්බෙන් පිහිටි ගැමියන් වළස්වැව පාර ලෙස හඳුන්වන මාර්ගයට අප පිවිසියේ යම් නිශ්චිත අරමුණකින් යුතුවය. අපගේ ගමනාන්තය අලිවංගුව ගම්මානයයි. වළස්වැව ගම පසුකළ අපි රූස්ස ගහ කොළින් සපිරි වනය මැදින් ඉදිරියට ඇදෙන්නට වීමු. වනජීවි කලාපයක් වන හෙයින්ම මෙහි වල් අලින් ඇති බව මඟදී හමුවූ ගැමියෙක් අප හා කීය. තවත් මිනිත්තු කිහිපයක් ගතවෙත්ම අපි ගමනාන්තයට පිවිසියෙමු.

තැන තැන වරිච්චි බිත්තිවලින් යුතු පොල් අතු තහඩු කැබැලි ආදිය හෙවිලූ කුඩා නිවාස රුසකි. එහෙත් තවත් තැනක දැකිය හැක්කේ අලුතින්ම ඉදිවන ස්ථිර නිවාස පෙළකි. ප‍්‍රජා ශාලාවකි. බුදු මැඳුරකි. බෝ සෙවණකි. දෑසින් දැකගන්නට මෙන්ම විමසා දැනගන්නට විසල් කතාවක් මෙහි ඇති බව දැන් පැහැදිලිය. මොහොතක් ගතවෙත්ම පියමනාප පෙනුමෙන් යුතු අයකු අප පෙරමඟට ආයේ ෙළන්ගතු බව නොඅඩුව දක්වමිනි. 

ඔහු නමින් එස්.ආර්.ඩබ්ලිව්. ශාන්ත කුමාරය. ඔහු මේ අපූරු ගමේ ප‍්‍රධානියාය.

මේ ගම නිර්මාණය වීම සහ 1978 වර්ෂයේ දී ඉපිද ඇති ශාන්ත කුමාර තරුණයා අතර පවතිනුයේ ගසට පොත්ත මෙන්වූ නොබිඳිය හැකි සබඳතාවයකි. පාසල් අධ්‍යපනයක් නොලද ශාන්ත කලක් සිය පියා හා මහමඟ සිඟමනේ ගොස් ඇත්තේ දෛවය එලෙසම ලියැවී තිබූ බැවිනි. එහෙත් නොපැකිලව දෛවයට අභියෝග කළ ඔහු සිය පියාගේ අභාවයෙන් පසුව සිඟමනට සමුදී පුවත්පත් අලෙවිසලක පත්තර විකිණීම සඳහා මහ මඟට පිවිස ඇත්තේ ජීවිතය දිනීම සඳහාය. එතැන් සිට සිදුවූයේ කවරක්දැයි ශාන්ත අපට මෙසේ කියයි.

මම පත්තර විකුණන්ඩ යනකොට තැන් තැන්වල කඩපිල් ගාණේ, මහ පාරේ හිඟාකන ගෑනු මිනිස්සු දකිනවා. එතකොට මගේ අතීතය මට මතක් වෙනවා. මුලින් තැන් තැන් වල හිඟාකාපු පවුල් පහක කට්ටිය එක්ක 95 අවුරැද්දේ මෙතැන පදිංචි වුණා. වනජීවි එකේ මහත්තුරුන්ට පදිංචි වෙන්ඩ තැනක් දෙන්න කිව්වහම අනේ ඒ මහත්තුරු මෙතැන කෑල්ලක් තාවකාලිකව වෙන් කරලා දුන්නා. ඒ කාලේ මේ හරිය අලි ඉන්න මහ කැලේ. මේ පාරත් පොඩි අඩි පාරක් වගේ තිබුණේ. කාලෙත් එක්ක ගමේ කට්ටිය වැඩිවුණා. දැන් පවුල් තිහක් ඉන්නවා. ඔක්කොම කට්ටිය එකසිය හැත්තෑපහක් විතර ඉන්නවා.” 

දරුවන්, මහල්ලන් සිඟමනේ යොදවා යස ඉසුරු සොයන මිනිසුන් සපිරි රටේ යාචකයන් ඉන් මුදවා දෑත දෙපය වෙහෙසවා ජීවිතය ජීවත් කරවීමේ පාඩම ඔවුනට කියාදෙන ශාන්තගේ කතාව පුදුමයට හේතුවකි. ගෙවී ගිය අෙප්‍ර්ල් මාසය වසර ගණනාවකට පසුව මේ ගමටත්, මිනිසුන්ටත් වාසනාව ගෙන ආ කාලයක් වී ඇත. නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් මහතාෙග් කරුණික අවධානය යොමුවී ගමේ නිවාස තිහක් ඉදිකිරීමට නිවාස ආධාර මුදල් ලැබී ඇත්තේ එතෙක් පැවැති ලොකුම ගැටලුවට විසඳුමක් ලෙසිනි. විවාහ නොවී එක ගෙයි විසූ බොහෝ දෙනකු නිත්‍යනුකුලව විවාහ කරවා ඇත්තේත්, උප්පැන්න සහතික කිසිත් නොවුණු දරුවන්ගේ උප්පැන්න සහතික සැකසී ඇත්තේත් මේ කාලයේදීමය. 

පැවැති කරදර පිළිබඳව ආර්.එම්. සුසිලාවතී මහත්මිය පැවසුයේ මෙවැන්නකි.

ඒ කාලේ පවුල් සෞඛ්‍ය සායනේකට ගියත් හිරිහැර කරදර ගොඩක් තිබුණා. ගොඩක් වෙලාවට අපිව කොන් කෙරුවා. දරුවෙක් ඉස්කෝලෙට දාගන්න ඉඩක් තිබුණේ නෑ. කොහේ ගියත් අපි දිහා අමුතු විදිහට බැලුවේ. මේක අපේ කරුමේ වෙන්ඩ ඇති. අපිත් මනුස්සයෝ කියලා ගොඩක් අය හිතුවේ නෑ. ඒත් දැන් දෙයියනේ කියලා එහෙම කරදර නෑ.” 
මෙහි වෙසෙන බොහෝ දෙනෙකුට අකුරු ලිවීමේ, කියවීමේ හැකියාවක් නැත. ආගම දහම පිළිබඳවද කවර හෝ හැගීමක් බොහෝදෙනෙකුට නොතිබුණු බව ශාන්ත කුමාර කීයේ නිවසින් නිවසට අප හා යන අතරේය. ගමෙහි සියල්ලෝම පාහේ උපතින් සිංහල බෞද්ධයන්ය. දැන් කළ යුතුව ඇත්තේ නමට ඇති බෞද්ධකම ප‍්‍රායෝගික ජීවිතයට එකතු කරගැනීමේ වැඩපිළිවෙළකට ගැමියන් යොමු කරවීමය. ශාන්ත ඒ ගැන කීයේ මෙවැනි කතාවකි. 

ගෙවල් හැදෙන වැඩෙත් එක්කම බුදු මැඳුරක් හදලා වැඩ ඉවර කරලා තියෙනවා. ටික කාලෙකට කලින් පැළ කරපු බෝ පැළේ දැන් ලොකුයි. දැන් මම හවසට පිරිත් දානවා. ගමේම ළමයි ඇවිත් මෙතැන හවසට පන්සිල් ගන්නවා. මුල් කාලේ සමහරු බීලා රණ්ඩු කෙරැවා. දැන් ඒවා සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. ඉල්ලාගෙන කන එක නවත්තලා ලස්සන පින්තූර කොළ ගෙවල් ගාෙණ් ගිහින් විකුණන්ඩ, පොල් කඩන්ඩ, යකඩ එකතු කරන්ඩ වගේ රස්සා කරන්ඩ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. මට දැන්  ඕන කොහොම හරි එළවළු එහෙම වවන ගොවිතැන් වැඩවලට කට්ටිය පුරුදු කරන්ඩ. ඒකට වගා ළිඳක් දෙකක් කපාගන්ඩ, වතුර මැෂින් දෙකක් විතර ගන්ඩ කවුරැ හරි උදවු කරනවා නම් ලොකු දෙයක්.

තැන තැන සිඟමන් යදිමින්, විටෙක යම් යම් අයථා කටයුතුවලට දායක වෙමින් දිවිගෙවූ මේ පිරිස දැන් දැන් ශිෂ්ට සමාජයට අනුගත වෙමින් සිටිති. ඉකුත් සිංහල අවුරුදු සමය නිමිත්තෙන් මොවුන් පිළිබඳව අසා දැනගත් සමහරකු ගමට පැමිණ විවිධ උපකාර සිදුකොට ඇත. එසේ පැමිණ ඇති කුරුණෑගල, ඇත්පවුර නම් සංවිධානයක් ගමේ ප‍්‍රජා ශාලාව ඉදිකර ගැනීමට උපකාර කොට ඇත. එහෙයින්ම තවත් නොබෝ දිනකින් උදාගමක් ලෙස විවෘත වීමට නියමිත අලිවංගුව ගම ඇත්පවුර උදාගම ලෙස නම වෙනස්වීමට යෝජිත බව ශාන්ත කුමාර අප හා කීය. ඔහු කීයේ ඉකුත් වකවානුවේ ලද ආහාර ද්‍රව්‍ය බුක්ති විඳිමින් ගැමියන් සියල්ලෝම පාහේ නිවාස ඉදිකිරීමේ කටයුතුවලටත්, ගෙවතු පරිශ‍්‍ර පවිත‍්‍ර කිරීමේ කාර්යන්ටත් දායකව සිටින බවය. 

ආර්. සීතා මහත්මිය මෙසේ කීය.

පහුගිය අවුරුදු ගාණක් තිස්සේ හිතේ සන්තෝසයක් කියලා දෙයක් තිබ්බේ නෑ. හැම අතින්ම දුක් කරදරමයි වින්දේ. ජීවිතේ නැතිකරගන්ඩ හිතුනු වාර අනන්තයි. ඒත් දැන් ඒ ප‍්‍රශ්න ගොඩක් දුරට ඉවරයි. අපි මොන දහදුක වින්දත් අපේ දරුවන්ට හරි අනාගතයක් තියෙනවනේ කියලා දැන් හිත හදාගන්න පුළුවන. ජීවිතේ අවසාන කාලේ හරි හිතේ සැනසිල්ලෙන් ඉඳලා මැරෙන්ඩ තිබුණොත් ඇති.

වරෙක දූවිල්ලෙන් පිරිගිය තවත් වරෙක මඩ ගොහොරුවක් වන ගෙබිම මත පැදුරු කඩමාල්ලක රැය ගෙවූ මේ අහිංසකයෝ හෙට දවසේ නොතෙමී සුවසේ නිදිසුව විඳින්නට සිහින දකිමින් හිඳිති. පාසල් යන වයසින් ඔබ්බට ගිය ගමේ තරුණ පිරිස යම් වෘත්තිය දැනුමක් ආයාචනය කරති. අකුරක් ලියන්නට කියන්නට නොදන්නා ඔවුන් තුළ නම, ගම හෝ ලියන්නට කියන්නට ඉගෙන ගන්නට ඇත්තේ විශාල කැමැත්තකි.

දුකම සතුට කොටගත් මේ මිනිසුන්ට ඉන් ඔබ්බට ගිය ජීවිතය විඳීමේ කලාව කියාදීමට කාට හෝ හැකිනම් එයද මහා පිනකි. ශාන්ත කුමාර නම් හිත හොඳ තරුණයා ඔහුට කළ හැකි දේ අපමණක් දුක් ගැහැට මැද සපුරා ඇත. අනේ ඉන් ඔබ්බට ඔවුන් වෙනුවෙන් ඔබටත් යමක් කළ හැකිනම් ඔවුන්ගේ බොහෝ සිහින සිනහවෙන් පිරී යනු නොඅනුමානය. 

♦ කතාව හා සේයාරූ - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00