2017 මැයි 20 වන සෙනසුරාදා

කුවෙට් රටෙන් බැට කා ලංකාවෙදිත් බැටකන ප්‍රියන්ති

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

ප්‍රියන්තගේ ලෝකේ අහස උසට මාලිගා නොතිබුණි. ඉන්න හිටින්නට හරිහැටි තැනක් නොතිබුණු ප්‍රියන්තිට අවැසි වුණේ තම දරුවන් පස්දෙනා සමඟ ජීවිතේ ගෙවන්නටය. ලුණුගම්වෙහෙර කුඩාගම්මාන 6,  දකුණ ඉවුර ප්‍රදේශයේ පදිංචි පී.ජී. ප්‍රියන්ති දරුවන් පස් දෙනකුගේ මවකි. ප්‍රියන්තිගේ ජීවිතය තම සැමියාගේ වියෝවීමත් සමඟම කඩා වැටුණි. අලි ප්‍රහාරයකින් ඇගේ සැමියා මියගියේ මීට වසර තුනකට පමණ පෙරය. එතැන් පටන් තම දරුවන් උස් මහත් කරවන්නට ප්‍රියන්ති නොවිඳිනා දුකක් වින්දාය. පුංචි ගෙපැල නිවසක් කර ගැනිමට හීන දැක්කාය.

මීට මාස කීපයකට පෙර හීන කන්දරාවක් පොදි බැඳගෙන කටුනායකින් කුවේට් බලා ප්‍රියන්ති පියාසර කළේ ඒ හීන කවදා හෝ දවසක හැබෑ කරගන්නා අදහසිනි.

කුවේට් රට තුළ ප්‍රියන්තිලා වැනි ගෘහ සේවිකාවන්ට රජ මැඳුරු නැත. සමස්තයක් ලෙස ගත්කල බොහෝ ගෘහ සේවිකාවන්ට අත්වන ඉරණම ප්‍රියන්තිට උරුම විය.

කුවේට් රටේදී මම පුදුම දුකක් වින්දේ. මම හිටපු ගෙදර මට හරියට කන්න දුන්නේ නෑ. පුළුවන් තරම් වැඩ ගත්තා. පොඩ්ඩ ඇත්නම් ඒ ගෙදර උදවිය මට දස වද දුන්නා... බිම දාලා මට ගහනවා. ඒත්.... මම ඒ හැම දුකක්ම ඉවසුවා...
ප්‍රියන්ති ඒ අතීතය නැවත මතක් කළාය.

කුවේට් රටේදී ඇය කුසගින්නේ සිටි දින ගණන් වැඩිය. බොහෝ දිනවල ඇගේ කුස පිරැණේ වතුර බෝතලයකිනි. එසේත් නැතිනම් පුංචි රොටී දෙකකිනි. ඇය කුස පිරවූ දිනවලට වඩා කුසගින්නේ සිටි දින ගණන් වැඩිය. ඒ කාලය පුරාවට ඇය කුස පිනවූ දිනයක් තිබුණේම නැත.

දිනක් ඇයව කුවේට් නිවසේ උස් තැනකින් බිමට ඇද වැටුණාය. ඇය හොඳටෝම රෝගාතුර විය. කුවේට් නිවැසියෝ වහාම ඇයව ආන්දාන් රෝහලට ඇතුළත් කළහ. ප්‍රියන්ති ආන්දාන් රෝහලේ දින එකොළහක් පමණ නේවාසිකව ප්‍රතිකාර ගත්තාය. ආන්දාන් රෝහලේදී ප්‍රියන්තිට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් කීප දෙනෙකුම මුණ ගැසුණි. ඒ සැවොම ඉතා අසරණ ශ්‍රී ලාංකිකයෝ වූහ. කුවේට් නිවැසියන්ගේ තාඩන පීඩනයන්ට හසුවූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් රැසක් ආන්දාන් රෝහලේ ප්‍රතිකාර ගත්හ. ඒ සෑම බොහෝ තාඩන පීඩනවලට ලක්වූවෝ වෙති.

ප්‍රියන්ති ආන්දාන් රෝහලෙන් ලබාදුන් බෙහෙත් පෙති බිව්වේ නැත. ඒ පිළිබඳව ප්‍රියන්ති පැවසුවේ මෙසේය.

ආන්දාන් ඉස්පිරිතාලේදී අපේ ගෘහ සේවිකාවන්ට බෙහෙත් දීලා ඉන්ජෙක්ෂන් විදිනවා. එහෙම කරල අපේ මුළු ඇඟම පණ නැති කරනවා. පොඩි ලෙඩකට ගියත් බෙහෙත් දීලා සදාකාලික ලෙඩ්ඩු කරනවා. සමහර ලෙඩ්ඩුන්ගේ ඇඟේ එක එක අවයවත් අරගෙන රෝගීන්ව මරල දානවා. ඒ නිසා රෝහලේ මට දීපු බෙහෙත් මම බිව්වේ නෑ. මම ඉක්මනට ටිකට් කපලා ආවා...

රෝහලෙන් ආ ප්‍රියන්තිට පෙර පරිදිම කුවේට් නිවසේදී වැඩ කරන්නට අපහසු විය. ඇඟේ දුර්වලවීමත් රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර නොලැබීමත් නිසා ප්‍රියන්ති නැවතත් අසනීප විය. අත්වාරුවක ආධාරයෙන් එහා මෙහා ගිය ප්‍රියන්ති කෙරෙහි කාරුණික හදවතක් එම කුවේට් නිවැසියන් තුළ නොතිබුණි.

අවසානයේදී ප්‍රියන්ති තම ඥාති හිතාදීන්ගෙන් පිහිට පැතුවාය. නමුත් ඔවුන්ද සිටියේ අසරණවය. කුවේට් රාජ්‍යයේ සේවය කළ ප්‍රියන්තිව ගෙන්වා ගන්නට ඔවුහු බොහෝ වෙහෙසක් දැරූහ.

ඉස්පිරිතාලෙන් ආවට පස්සේ මට පුදුම වදහිංසාවක් දුන්නේ. ඒ ගැන මම ඒජන්සියටත් තානාපති කාර්යාලයටත් දැන්නුවා. ඒත් වැඩක් වුණේ නෑ. ඊළඟට මම ගෙදර මිනිස්සුන්ට කිව්වා. ඒ අයත් අසරණයි. ඒ අය පුළු පුළුවන් විදිහට මහන්සි වුණා. සැරෙන් සැරේට කෝල් කරලා කියනව පොඩ්ඩක් ඉවසලා ඉන්න අපි ඉක්මනට ගෙන්න ගන්නම් කියලා. ඒත්.... තවත් දුක් විඳින්නට මට බැරිවුණා. අන්තිමට එක මාසෙක සල්ලි හොයාගෙන ටිකට් එක හදාගෙන ලංකාවට ආවා...

ප්‍රියන්ති පැවසුවාය.

ප්‍රියන්ති එදා කුවේට් රාජ්‍යයට යද්දීටත් වඩා අසරණව නැවතත් ලංකාවට ආවාය. ලංකාවෙන් යද්දී මුදල් හිඟකමින් දිළින්දෙකුව ගිය ප්‍රියන්ති ලංකාවට පැමිණියේ ඊට අමතරව රෝගියකුද හැටියටය. විදෙස් මුදල් සොයන්නට විදෙස් ගතවූ ප්‍රියන්ති අවසානයේදී ගුවන්තොටුපොළෙන් දිවයිනට එනවිට අතේ කිසිදු මුදලක් තිබුණේ නැත.

ගුවන්තොටුපොළේ තියෙන විදේශ සේවා එකට ගිහින් මම මේ ගැන කිව්වා. ඔවුන් මට හම්බන්තොට මහ රෝහලට ඇතුළත් වෙන්න ලියුමක් දුන්නා. අතේ සතේ නැතිව හිටපු මට විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් රුපියල් එක්දාස් පන්සීයක් දුන්නා. ඒ මුදලින් තමයි මම හම්බන්තොටට ආවේ...

ඒ වනවිටත් ප්‍රියන්ති පවසන පරිදි ඇයට රෝගී තත්ත්වයන් කීපයක්ම තිබුණි. බෙල්ල හැරවීමට නොහැකිකම, නිතරම කලන්තය සෑදීම, පිටකොන්දේ වේදනාව වැනි රෝග ගණනාවකින්ම ප්‍රියන්ති දුක් වින්දාය. මේ නිසාම ඇය හම්බන්තොට මහ රෝහලේ දෙවැනි වාට්ටුවට මැයි එකොළොස් වැනිදා ඇතුළත් වූවාය. නමුත් ප්‍රියන්ත පවසන පරිදි දින තුනක්ම රෝගී තත්ත්වයෙන් පසුවූ ඇය පිළිබඳව වාට්ටුව බාර වෛද්‍යවරුන් සොයාබලා නැත. ප්‍රතිකාර කර නැත. නමුත් එය විශ්වාස කළ හැකිද?

දවස් තුනක්ම මම රෝහලේ හිටියා. ඒත් දොස්තර මහත්තරු මගේ ලෙඩේ බැලුවේ නෑ. චැනල් කරලා ආවා නම් බලාවි... දුප්පත් අපි ගැන හොයල බලන්නේ නැති දොස්තරවරැ මොකටද...?

ප්‍රියන්ති වෛද්‍යවරුන්ට චෝදනා කරයි.

මේ පිළිබඳව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් මනතුංග මහතා දැක්වූ අදහසයි මේ.

ඇය රෝහලට පැමිණ තියෙන්නේ සාමාන්‍ය රෝගී තත්ත්වයක් යටතේයි. ඊට පස්සේ ඒ සඳහා ලේ පරීක්ෂණ ඇතුළු අදාළ පරීක්ෂණ කරල බෙහෙත් දීලා තියෙනවා. ඒ රෝගියාව තවදුරටත් වාට්ටුවේ නතර කරගෙන බෙහෙත් කරන්න තරම් රෝගී තත්ත්වයක් නැති නිසයි රෝහලෙන් ඇගේ ටිකට් කපලා තියෙන්නේ. ගත්තු ලේ පරීක්ෂා ආදිය පරීක්ෂා කරලා ඇයට ක්ලිනික් එකකට එන්න කියලා රෝහලෙන් දන්වලා තියෙනවා.

නමුත් ප්‍රියන්ති පවසනුයේ තමාට කිසිම ප්‍රතිකාරයක් නොකළ බවයි.

ඒ කර ඇති පරීක්ෂණයන් පිළිබඳව මම බැලුවා. හම්බන්තොට මහ රෝහලට පැමිණෙන සෑම රෝගියෙක් පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. අපි අවශ්‍ය ප්‍රතිකාර ලබල දෙනවා. හම්බන්තොට රෝහලට එන අනිකුත් රෝගීන් මේ ගැන සාක්ෂි දරාවි. බොහෝදුරට ඇයට වෙන රෝගී තත්ත්වයක් ඇති බව වෛද්‍යවරුන් සලකනවා. යුද්ධයට ගිය සෙබළාට යුද්ධය ඉවරවුණාට පස්සෙත් මාස හය හතක් යනතුරු යුද්ධය මැවිලා පේනවා. කෙනෙක්ට යම් ප්‍රශ්නයක් ඇතිවුණාම ඒ මානසිකව වද දුන්නාම ඒක ඒ කෙනාගේ හිතේ පැලපදියම් වෙනවා. ඒ නිසා මේ රෝගියාටත් මේ රෝගී තත්ත්වය ඇත්දැයි සැකයක් මතුවෙනවා. මේක සාමාන්‍ය රෝගී තත්ත්වයක්. ඇයට රෝහලෙන් අවශ්‍ය ප්‍රතිකාර ඒ වෙද්දී ලබලා දුන්නා.

එමෙන්ම මේ පිළිබඳව තවදුරටත් සොයාබලන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් දේශයට පැවසීය.

♦ දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරෑ l දිලිප් නුවන් ජයසේකර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00