2017 මැයි 20 වන සෙනසුරාදා

මාස 12 ට මැති ඇමැති වාහනවලට කෝටි 321 ක්!

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 102

“රතගාය” නැමැති රෝගය වැළඳෙන්නේ බිළිඳු දරුවන්ටය. එහෙත් මේ වන විට යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටද “රථගාය” වැළඳී තිබේ. දැන් එහි උච්චතම අවස්ථාවට පැමිණ ඇති බවද වාර්තා වේ. පසුගිය 5 වැනි සිකුරාදා ඇමැතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට රුපියල් තිස් දෙකෝටි අනූ අට ලක්ෂ තිස් එක්දහසක පරිපූරක වැය ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඇමැතිවරුන් 6ක් සමඟ ආණ්ඩුකාරවරයකු සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයකු ද මෙම පිරිසට අයත් වන බව වාර්තා විය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු වැය ඇස්තමේන්තු අනුව, විදේශ රැකියා ඇමැති, ධීවර සහ ජලජ සම්පත් ඇමැති, ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා ඇමැතිවරුන් සඳහා රුපියල් හාරකෝටි තිස් ලක්ෂය බැගින් ද, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යවරයා සඳහා රුපියල් හාරකෝටි තිස්හය ලක්ෂ පනස් දහසක්ද, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති සඳහා රුපියල් හාරකෝටි විසි ලක්ෂයකද වාහන ඉල්ලා ඇත. මේ හැර අගමැති කාර්යාලයේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයාට රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක වාහනයක්ද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක වාහනයක්ද වශයෙන් ඇමැතිවරුන් හයකට, නිලධාරියකුට සහ ආණ්ඩුකාරවරයකුට මෙම වාහන ඉල්ලා ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සෑම වාහනයක්ම රුපියල් කෝටි හතර ඉක්මවූ අති සුඛෝපභෝගී වාහන වීමය. මෙලෙස ඔවුන් සුඛෝපභෝගී වාහන ඉල්ලූ මුල් අවස්ථාව මෙය නොවන අතර 2016 සහ 2017 වසරවල පස් වතාවක් සඳහා ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවල වටිනාකම රැපියල් කෝටි 321කට අධිකය.

මෙම සෑම ඇමැතිවරයකුටම අමෙරිකානු ඩොලර් 62500කට අධික වටිනාකමෙන් යුතු තීරු බදු රහිත වාහන 2016 ජනවාරි පෙබරවාරි මාසවල ආනයනය කර ඇති බවද සඳහන් කළ යුතුය. මෙම වරප්‍රසාදය වසර හතරකට වරක් ඔවුන්ට හිමි වේ. සෙසු රාජ්‍ය නිලධාරීන්ට හිමිවන්නේ තීරුබදු සහන සහිත වාහන නමුදු මෙම දේශපාලනඥයන්ට සම්පූර්ණයෙන්ම බදු රහිත වාහන ලැබී තිබේ. මෙවර එවැනි බලපත්‍ර ලබාගත් මැති ඇමැතිවරුන් 45 දෙනකු තමන්ට හිමි වූ බලපත්‍ර වෙනත් පාර්ශ්වවලට අලෙවි කර රුපියල් ලක්ෂ 300කට වඩා ආදායම් ලබා ඇති බවද ප්‍රචාරය විය. සමහර මැති ඇමැතිවරු එම වාහන බලපත්‍ර එසේ අලෙවි කළ බව විවෘතව පැවසීමට තරම් නිර්භය වූහ. නාස්තිය, දූෂණය පිටුදකින බවට පොරොන්දු වෙමින් බලයට පත් දේශපාලනඥයන් එළිපිටම මෙම දූෂණය කර ඇත්තේ නීතිය තඹ දොයිතුවකටවත් ගණන් නොගෙනය.

තීරැබදු රහිතව ආනයනය කරන වාහනයක් වසර 5ක් යනතුරු අනිකකුට පැවරීමට නොහැකි ලෙස සකසා තිබූ නීති පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ අහෝසි කිරීම නිසා මෙම වාහන ජාවාරම එළිපිටම කිරීමට ඔවුන්ට වාතාවරණය සැකසී ඇත. කෙසේ වුවද මේ වන විට මෙම මැති ඇමැතිවරැන් 45 දෙනාගේ නම් සහ ඔවුන් බලපත්‍ර අලෙවි කළ අයගේ නම්ද මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්ව ඇති අතර මේ පිළිබඳ අල්ලස් පනත යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ගොනු කර ඇත.

මෙම වාහන පහසුකම් හැරුණු විට මන්ත්‍රීවරැන්ට මසකට රුපියල් 50,000 බැගින් වූ දුරකතන දීමනාවක්ද, කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා රුපියල් 75,000 බැගින් මාසික දීමනාවක්ද, මාසික ගෙවල් කුලිය වශයෙන් රුපියල් 50,000ක්ද පාර්ලිමේන්තු රැස්වීම්වල වාඩිවීම සඳහා වරකට රුපියල් 5,000 බැගින්ද, නොමිලේ ඉන්ධනද, වෙනත් පහසුකම්ද, පෞද්ගලික කාර්යාල පහසුකම්ද ලැබෙන බව අමතක නොකළ යුතුය.

2016 ජුනි මාසයේ ඇමැතිවරු 30ක් සඳහා වාහන ලබාගැනීමට කෝටි 118ක ඇස්තමේන්තුවක්ද, ඉනික්බිති දින 27කට පසු තවත් කෝටි 79ක ඇස්තමේන්තුවක්ද, පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. මෙම කෝ‍ටි 79 ඇස්තමේන්තුව මැයි මස ගංවතුර නිසා අනාථ වූ අයට සහ කොස්ගම සාලාව සිදුවූ පිපිරීමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ඇති බව පවසා අගමැතිවරයා විසින් අත්හිටුවනු ලැබූ බවද සැලවිය. එහෙත් එය අත්හිටුවීමක් මිස අවලංගු කිරීමක් නොවන බවද සැලකිය යුතුය.

ඇමැතිවරුන් සඳහා අමාත්‍යංශවල සංචිතවල ඕනෑ තරම් වාහන ඇත. එම වාහන අවශ්‍ය අවස්ථාවල පාවිච්චි කිරීමට ඔවුන්ට සහ උසස් නිලධාරීන්ට කිසිදු බාධාවක් නොමැත. ඒ හැරුණු විට ඔවුනට ලැබෙන තීරුබදු සහිත වාහනයට අමතරව මෙලෙස විශේෂිත හේතු සලකා තව තවත් වාහන ගෙන්වීමට පුරුදුව ඇති බව පෙනේ. එය අද වන විට නරක පූර්වාදර්ශයක් බවට පත්ව ඇත.

පසුගිය මහින්ද රාජපක්ෂ රජයට චෝදනා එල්ල වූයේ මැති ඇමැතිවරුන්ගේ බිරින්ඳෑවරැන් ඇතුළු පවුල්වල අයටද රාජ්‍ය වාහන නිකුත් කර ඇති බව පවසමිනි. ඒ අය හැරුණු විට ආණ්ඩුවට හිතවත් විවිධ පුද්ගලයන්ට වාහන නිකුත් කර තිබූ බවද සැලවිය. ආණ්ඩු පෙරළිය සමඟ එම ඇතැම් වාහන තැන් තැන්වල අතහැර දමා ගොස් ඇති බවද සඟවා තබාගෙන සිට හමුවූ බවද මාධ්‍ය මගින් ප්‍රචාරයට පත්විය. සමහර වාහනවල මද ගලවා වටිනා කොටස් රැගෙන ගොස් තිබිණ. වාහන අවභාවිත කිරීම පිළිබඳ මේ වන විට පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වී ඇත. (සමහර සිද්ධි ගොඩින් බේරාගෙන ඇති බවද සැලයි.)

වංචාව, දූෂණය පිටුදැකීමේ මන්ත්‍රය මතුරමින් බලයට පත් යහපාලන ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන්ද පසුගිය ආණ්ඩුවට දොස් තබමින් ඔවුන්ට වඩා එවැනි විෂමාචාර කටයුතු සිදුකරන බවක් දක්නට ඇත. සමහර දේශපාලනඥයන්ගේ පවුල්වල සාමාජිකයන්ටද මේ වන විට රජයේ වාහන අවශ්‍ය තරම් පාවිච්චි කිරීමට ඉඩ දී ඇත. මේවාට ඉන්ධන සපයන්නේද එම අමාත්‍යංශවල මුදල් ප්‍රතිපාදන වලිනි. එසේම මැති ඇමැතිවරැන්ට පෙර ගමන් යන රාජ්‍ය වාහන සංඛ්‍යාවද එදාටත් වඩා අද විශාල වී ඇත. සමහර ඇමැතිවරුන් පැවසුවේ තමන්ට “කොන්දගාය” ඇති නිසා සුඛෝපභෝගී වාහන අවශ්‍ය බවය. එසේම ජනතාවට සේවය කිරීම සඳහා දුර පළාත්වල දුර්වල මාර්ගවල පැය ගණන් යාමට සිදුව ඇති නිසා අධි සුඛෝපභෝගී වාහන අවශ්‍ය බවද පැවසිණි. කෙසේ වුවද මේ වන විට විවිධ උපක්‍රමවලින් තව තවත් වාහනත් ලබාගැනීමට කටයුතු කරනු දක්නට ඇත.

ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම සඳහා 2016 – 2017 වසරවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පරිපූරක වැය ඇස්තමේන්තු

  දිනය    රුපියල් මිලියන
  2016 ජුනි    1180
  2016 නොවැම්බර්    791
  2017 පෙබරවාරි    543
  2017 මාර්තු    371
  2017 මැයි    330
  මුළු වටිනාකම    3215

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්ත මන්ත්‍රී අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කට අධික සංඛ්‍යාවක් තමන්ට ලැබුණු තීරු බදු රහිත වාහන බලපත්‍ර රුපියල් කෝටි 2 බැගින් අධික මිලකට අලෙවි කර ඇති බවය. අමෙරිකානු ඩොලර් 62,500ක් වටිනා මෙම වාහන බදු සහිතව ආනයනය කළා නම් එකකින් රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයක විශාල බදු මුදලක් භාණ්ඩාගාරයට ලැබීමට ඉඩ තිබූ බව ඔහු කියයි.

මන්ත්‍රීවරුන්ට මෙලෙස බදු රහිතව වාහන දෙන්නේ මහජන සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යාමට නමුත් මේ වනවිට ඇතැමුන් එය සුවිශාල ආදායම් මාර්ගයක් බවට පත්කරගෙන ඇති බවත් ඔහු අවධාරණය කරයි. රජය දුන් මෙම වරප්‍රසාදය වැරදියට භාවිත කරමින් එහි වාසිය ජනතාවට ලබා නොදී විකුණා දැමීම දැවැන්ත මුදල් අවභාවිතයක් වන අතර වාහන ලබාදීම මේ වනවිට අල්ලසක් බවට පත්ව ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු හෝ පළාත් සභා මන්ත්‍රීවරුන් කිසිවෙක් තමන්ට ලැබුණු වාහන බලපත්‍ර විකුණා නැති බව අවධාරණය කරන මන්ත්‍රීවරයා ඇතැම් පළාත් සභා මන්ත්‍රීවරුන් ස්වකීය බලපත්‍රය ලබා නොගෙන ඇතැයිද පවසයි.

ට්‍රාන්ස්ෆෙයරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ප්‍රධානී ශාන් විජේතුංග
“ඇමැතිවරුන්ට වාහන ගැනීම පිළිබඳ නම් ගැටලුවක් නැහැ. ඒත් මෙවැනි සුඛෝපභෝගී වාහන අවශ්‍යද කියන එකයි ප්‍රශ්නය. අද රටේ පවතිනවා යැයි කියන ආර්ථික කඩාවැටිල්ල, එසේම විශාල අර්බුදයක් වී ඇති අධික ණය බර ආදී පරිසරය තුළ මෙලෙස අධික මුදලකට සුඛෝපභෝගී වාහන ගෙන්වා ගැනීමට පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන ජනතාව ප්‍රශ්න කිරීම සාධාරණයි. ඇමැතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ජනතාවට සේවය කිරීම සඳහා කාලය අපතේ නොදමා දුරබැහැර පළාත්වලට යාමට හොඳ තත්ත්වයේ වාහන අවශ්‍ය බව ඇත්ත. එහෙත් ඒවා සුඛෝපභෝගික අධික මිලැති වාහන වීම අවශ්‍යද යන්න ගැන සාධාරණව සලකා බැලිය යුතුය. එසේම අමාත්‍යංශ වාහන සංචිතවල ඕනෑ තරම් යහපත් තත්ත්වයේ වාහන තිබෙනවා. වාහන අවශ්‍ය නම් අලුතින් නොගෙන්වා ඒවායින් තෝරාගත හැකියි.”

මේ අතර මානව හිතවාදී ක්‍රියාකාරිකයකු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු තමාට හිමිවූ තීරුබදු සහිත වාහන බලපත්‍ර වෙනත් පාර්ශ්වයකට විකුණා අධික ආදායමක් ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පසුගියදා නඩු පැවරුවේය. ඔහු එම මන්ත්‍රීවරැන් 45 දෙනාගේ නම් සහ බලපත්‍ර අලෙවි කර ඇති පුද්ගලයන් හා ආයතනවල නම්ද ජනමාධ්‍ය හරහා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. මෙම වාහන අධි සුඛෝපභෝගී ඒවා වන අතර එම සෑම වාහනයකින්ම රුපියල් 33,459,250කට සමාන බදු මුදලක් අයවිය යුතුව තිබියදී එම බදු මුදල් නිදහස් කරවා ගැනීම නිසා රජයට විශාල පාඩුවක් ඇති වී තිබෙන බව ඔහු කියයි. එසේම මෙම වාහන බලපත්‍ර හිමි මන්ත්‍රීවරුන් මිලිය 25කට අධික ආදායමක් උපයාගෙන තිබේ. මේ වාහන බොහෝමයක් ටොයෝටා ලෑන්ඩ්කෘෂර් වැනි මිල අධික සුඛෝපභෝගී වාහන වේ.

මෙලෙස වාහන බලපත්‍ර විකිණීමට ඔවුන්ට අයිතියක් නොමැති අතර අල්ලස් පනතේ 70 වගන්තිය අනුව මෙම ක්‍රියාව දූෂණය යන වරද යටතට ගැනෙන බව ඔහු පවසා තිබේ.

මෙසේ තිබියදී යළිත් වරක් මෙලෙස බදු රහිත වාහන ආනයනය කළ මැති ඇමැතිවරුන්ට වාහන ලබාදීමට ජනතා මුදල් වැය කිරීම දරුණු අපරාධයක් බවද ඔහු කියයි. තම වාහන බලපත්‍ර විකුණා මුදල් ලබාගත් ඇතැම් මන්ත්‍රීවරුන්ට අමාත්‍යංශ නාමය යටතේ යළි වාහන අලුතින් ගෙන්වා දීම කොතරම් සාධාරණදැයි ඔහු විමසයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසන්නේ අද රටේ ප්‍රධානතම අවශ්‍යතාව ඇමැතිවරුන්ට සහ උසස් නිලධාරීන්ට වාහන ආනයනය කිරීමද යන්න ප්‍රශ්න කළ යුතු බවයි. ඔහු පවසන්නේ මාස 2 - 3 පමණ මෙලෙස වාහනවලට පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් ඉල්ලා සිටීම මේ වන විට සම්ප්‍රදායක් වී ඇති බවය.
මෙවර ඇමැතිවරුන්ට අතිරේකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධන කමිටුවේ කටයුතු කරන ජයම්පති වික්‍රමරත්න වෙනුවෙන්ද වාහනයක් ඉල්ලා ඇති බව ඔහු කියයි. එහි තනතුරු නාමය සඳහන් වන්නේ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු ලේකම් ලෙසයි. මොහු දරණ තනතුර තාවකාලික වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තනා අවසන් වූ පසු එම තනතුර අහෝසි වෙයි. ඔහු පත් කළ මන්ත්‍රීවරයකු ලෙස දැනටමත් තීරුබදු රහිත වාහන පහසුකම් ලබාගෙන ඇති අතර වෙනත් තනතුරක නමකින් යළි වාහනයක් ගෙන්වීම ගැටලුසහගත බව ඔහු කියයි.

“වාහන අවශ්‍ය වැඩ කරන මන්ත්‍රීවරුන්ට වාහන දෙන්නේ නැහැ. ජනතා ප්‍රශ්නවලට ජනතාව අතරට යන තරුණ මන්ත්‍රීවරු ඉන්නවා. ඒ අයටයි වාහන දෙන්න ඕනෑ. ඒත් දෙන්නේ යහපාලනය ඇති කරනවා යැයි වියදම් අඩුකරනවා යැයි කියලා පාර්ලිමේන්තුවට ආපු අයටයි. මෙම වාහන අමාත්‍යංශවලට කියලයි ගන්නේ. සමහර ඒවා කාට දෙනවද කියලා දන්නෙත් නැහැ. මේ වන විට රටේ මූලික අවශ්‍යතාව වන්නේ ඩෙංගු වසංගතය මර්දනය කිරීමයි. ඒ සඳහා කැපවී කටයුතු කරන නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් නැහැ. වාහන නැහැ. මෙවැනි මූලික අවශ්‍යතාවලට මුදල් වැය නොකරන ආණ්ඩුව ඇතැම් දේශපාලනඥයන්ට මහජන මුදල් වැය කර සුඛෝපභෝගී වාහන ගෙන්වීම අසාධාරණයි. රටේ ආනයන වියදම අඩු කළ යුතුව තිබෙන කාලයක්. පහළ තැනට වඩා ඉහළ තැන්වලින් ආදර්ශමත්ව කටයුතු කළ යුතුයි. එසේ තිබියදී මෙවැනි තීරණ ගැනීම අමන්‍යයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ කාර්යයේද තවම ප්‍රගතියක් නැහැ. පසුගිය වර චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපති වූ සමයේදී මේ පිළිබඳව ලැබූ ප්‍රගතිය තරමටවත් තවම ළංවෙලා නැහැ. එවැනි තත්ත්වයක තිබියදී ඒ නිලධාරීන්ට වාහන ආනයනය කිරීම කොයි  අතිනුත් ගැලපෙන ක්‍රියාවක් නොවෙයි.

♦ යසවර්ධන රුද්රිගු