2017 මැයි 20 වන සෙනසුරාදා

මේක ‍රොබෝලා සින්දු ලියන යුගයක්

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 241

සුදත් ගාමිණී බණ්ඩාර බදුල්ලෙන් බිහිවූ කවියෙකි. 1990දී සමීචිය පළ කරමින් කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඔහු පසුව ගීත සාහිත්‍යය වෙනුවෙන් රාජ්‍ය සම්මානයටද පාත්‍ර විය. ඒ 2005දී උමා කෘතිය වෙනුවෙනි. සුදත්ග් අලුත්ම කවිපොත සීමා නෑ සඳ වතුරේ පසුගියදා සන්ථව ප්‍රකාශනයක් ලෙස නිකුත් විය.

දීර්ඝ කාලයකට පසු ඔබ කවි පොතක් පළ කර තිබෙනවා?

ඔව්. වසර 12කින් තමයි කවි පොතක් පළ වන්නේ. සුළඟ සමඟ යමු පළ වුණේ 2005දී. ඊට පසු ලියූ කෙටි කවි එකතුකර මෙම කවිපොත කල. පුස්තකාල සේවා මණ්ඩලයෙන් අනුමත වූ කෘතියක්. 

කෙටි කවි පළ කරන්නේ දීර්ඝ කවියට ඉඩක් නැති නිසාද?

නැහැ මම ගැඹුරින් ලියූ කාව්‍ය සංකල්පනා සහිත කෘතියක් මේ වසරේ අග පමණ වන විට එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.

90 දශකයේ වගේ මතයක් තිබුණා කවි පොත් පළ කර ගැනීම අසීරුයි කියලා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා නේද?

පසුගිය වසර තුන හතරක සිට හොඳ ප්‍රවණතාවක් තිබෙනවා. දැන් කවි පොතක් පළ කර ගැනීම පවා අමාරු නැහැ. අකමැත්තක් නැතිව කවිපොතක් පළ කරන ප්‍රකාශකයෙක් පවා සිටිනවා. කවි කියවීම සහ කවි ලිවීමට පෙළඹවීම වැඩි බව පේනවා. ෆේස්බුක් එකෙත් අලුත් පරම්පරාව සෑහෙන්න කවි ලියන බව පේනවා.

ෆේස්බුක් කවි ගුණාත්මක අතින් ඉහළ තැනක නෑ නේද?

ඒක ඇත්ත. කලාතුරකින් ගතයුත්තක් තිබෙන කවි පළවුණත් එතරම් බරසාර නිර්මාණ එහි දැකගත නොහැකි. 

අද කවි පොත් ලියන තරුණ පරම්පරාව ඔබ දකින්නේ කෙසේද?

විවිධ ඉසව් ඔස්සේ නිර්මාණ බිහිකරන විශිෂ්ට තරුණ පරපුරක් අපට ඉන්නවා. ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ටිම්රාන් කීර්ති, සෞම්‍ය සඳරුවන් ලියනගේ, රුවන් බන්දුජීව, මංජුල වෙඩිවර්ධන ඇතුළු පිරිසක් ඉන්නවා. මට නම් පේන්නේ තරුණ ආගමනයත් සමඟ පසුගිය වසර 4-5 තුළ සිංහල කවිය විශාල වර්ධනයක් ලබා ඇති බවයි. 

අලුත් පරපුර තම අනුභූතින් වශයෙන් වෙනස් සංකල්ප පාදක කරගන්නා බවයි පේන්නේ?

ඔව්. වර්තමාන පරපුර නිසා කවිය යළිත් සමාජගත වෙලා. ජනතාවට වඩාත් දැනෙන දේශපාලන සමාජ සංස්කෘතික අනුභූතින් ඔවුන් වැඩිපුර භාවිතා කරනවා. මීට අවුරුදු 10-15කට පෙර පැවති පරිකල්පනය මත පදනම් වූ ධ්වනිතාර්ථ මත ලියැවුණු කවිය වෙනුවට අද පොළොවේ පයගසා ලියන කවි පැතිරිලා. 

අද කවි පොත් පළ කිරීම සමහරුන්ගේ විලාසිතාවක් වෙලා නේද? 

නමුත් තරුණ පරම්පරාවක් කවියට පිවිසීම හොඳයි. හොඳ ප්‍රතිභාවක් පෙන්වන කවියෝ ඕනෑ තරම ඉන්නවා. නමුත් ඒ අතරින් කාව්‍ය ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටින්නේ ටික දෙනෙක්.

ඔබ රාජ්‍ය සම්මානයට ලක්වූ ගීත රුසක් රචනා කළා. අද ගීත රචනය ගැන කිව්වොත්?

මගේ අතින් නම් මෑතකදී ගීත ලියැවුණේ නැහැ. මම ගීත ලිව්වේ කවුරු හෝ ආරාධනයක් කළ විටයි. ගීත කලාවේ වර්තමානය ගැනනම් තිබෙන්නේ දැඩි කළකිරීමක්. ගීතයක තිබිය යුත සාහිත්‍යමය ගුණය නොසලකන නිසරු රැල්ලක් අද යන්නේ. මම හිතන්නේ අද ගීතය කලාවක් නොවේ කර්මාන්තයක් වෙලා. වෙළඳ රැල්ලක් තමයි යන්නේ. වචන ටිකක් කොහෙන් හරි උහුලලා ගීතයක් බවට පත් කරනවා. රොබෝ යන්ත්‍රවලින් වගේ තමයි එය සිදුවන්නේ.

අපට හොඳ ගීත සාහිතයක් තිබුණා නේද?

ඔව්. අවුරුදු 70-80ක් පමණ පැරැණි සුභාවිත ගීත සාහිත්‍යයක් අපට තිබෙනවා. මෑතක් දක්වා හරවත් ගීත ලියන පරම්පරාවක් සිටියා. නමුත් දැන් ඔවුන්ටත් ගීත ලියන්න අවස්ථාවක් නැහැ.

අද ගීත ලියන්නේ විශාල මුදලකට. ඔබලත් එදා ලියූ ගීත වලට සල්ලි ඉල්ලුවාද?

අපොයි නැහැ. අපි කවදාවත් ලියපු ගීත මුදලට විකුණුවේ නැහැ. ගායකයන් අපට දීලත් නැහැ. ගායනා කළ ගීත නැවත සීඩී තැටියකට යොදාගන්නා විට එම සමාගම්වලින් සුළු ගෙවීමක් කළා පමණයි. මේ යන වෙළෙඳ රැල්ල ගැන අපට ප්‍රසාදයක් නැහැ. අද සමහරු විශාල මුදලක් අරන් ගීත ලිව්වත් අගය කළ යුතු ගීත බිහිවෙන්නේ නැහැනේ. ඒකයි දුක. කලාතුරකින් තමයි හොඳ ගීතයක් අහන්න ලැබෙන්නේ.

ඔබ නිර්මාණ චාරිකාව ආරම්භ කළේ කවියෙන්. කවියේ අද තත්ත්වය ගැන ඔබට හිතෙන්නේ මොනවද?

අපේ කවිය තියන තැන ගැනනම් මට සතුටුයි. නවකතාවටත් කෙටි කතාවටත් වඩා කවිය ඉදිරියෙන් සිටින බවයි මට පේනේනේ. 

 පාඨක

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00