2017 මැයි 20 වන සෙනසුරාදා

වෛරස් උණ අලුත් සහලේ බත් කන්නෙ බලාගෙන

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 469

නිදන්ගත රෝග බොහොමයක් ගැනම ආයුර්වේදයේ සඳහන් වුවද පසුකාලීනව හමුවන වෛරස් උණ වැනි රෝග සම්බන්ධයෙන් ආයුර්වේද පොත්පත්වල ඉඩකඩ නැති තරම්ය. එමෙන්ම මෙවැනි රෝග අවස්ථාවලදී වැඩි දෙනකු යොමුවන්නේද ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයට නොව බටහිර වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහිය. කෙසේ වෙතත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව වෛරස් උණ වැනි රෝග අවස්ථාවන් සඳහා ද විවිධ වූ ප්‍රතිකාර ක්‍රම පවතින අතර, මෙම ප්‍රතිකාර හරහා අත්වන ඉහළම ප්‍රතිලාභය නම් අනෙකුත් ඖෂධ භාවිතයෙන් ඇති කරන අතුරු ආබාධයන් ආයුර්වේද ඖෂධ මගින් ඇති නොකිරීමයි.

අද අපේ වෙදකමෙන් වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් කතා කරන්නට සිතුවේ මේ දිනවල එය බහුලවම හමුවන රෝගී තත්ත්වයක් වන නිසාය. ඒ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ ආයුර්වේද වෛද්‍ය චමිත් චන්ද්‍රසේකර මහතායි. සෙම්ප්‍රතිශ්‍යා ආසාදනයන් ලෙස මුලින්ම මතුවන AH1N1 වෛරස් උණ රෝගය අවසානයේදී සුව අතට හැරෙන්නේ මුළු සිරුරම අඩපණ කරගෙනය. රෝගී කාලය තුළදී පීඩාකාරී අවස්ථාවන් රැසකටම මුහුණපාන්නට සිදුවන අතර ඇතැම් රෝගීන් මියයන්නේ මෙහිදී මතුවිය හැකි සංකූලතාවයන් නිසාය.

ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව ඇතැම් අවස්ථාවලදී ආයුර්වේදයෙහි සඳහන් වුණත් වෛරස් උණ වැනි රෝග ගැන නම් ආයුර්වේදයේ සඳහන් වෙන්නේ නෑ. නමුත් මෙවැනි රෝග ඕපසර්ගික රෝග නැත්නම් බෝවන රෝග යටතට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආයුර්වේදයේදී ජ්වර යන නාමය උණ රෝගයට ලබා දී තිබෙනවා. මෙම ජ්වර අවස්ථාවනුත් ශරීරයේ ඒ ඒ දෝෂයන්ට අනුව වෙන්කර දක්වනවා. මේ අනුව වාතජ ජ්වර, පිත්තජ ජ්වර, කපජ ජ්වර හා සන්නිපාත ජ්වර ආදී වශයෙන් වෙන්කොට දැක්විය හැකියි.

වෛරස් උණ හටගන්නේ මෙහෙමයි

වෛරස් උණ රෝගය හටගැනීමට නම් අදාළ වෛරසය අපගේ සිරුර තුළට ඇතුළු විය යුතුය. එසේ ඇතුළු වීම හරහා එම වෛරස් සිරුර තුළ ගුණනය වීමෙන් රෝගය හටගනී. මෙලෙස බැක්ටීරියා හෝ වෛරස් ගුණනය වීම කෙරෙහි සිරුරේ ප්‍රතිශක්තියද බෙහෙවින්ම බලපායි. නිදසුනක් ලෙස ඕනෑම පුද්ගලයකුගේ සිරුරේ ක්ෂය රෝග බැක්ටීරියාව පවතින අතර රෝගය මතුවන්නේ සිරුරේ ප්‍රතිශක්තිය අඩු වී සිරුර දුර්වල වීමෙනි. එසේ වූ විට බැක්ටීරියා ප්‍රතිශතය සීඝ්‍රයෙන් ඉහළ යයි.

සාමාන්‍යයෙන් වෛරසයක් සිරුරේ යම් සෛලයකට ඇතුළු වීමෙන් අනතුරුව යම් කාලයකදී එය ගුණනය වීම සිදුවේ. මෙම ගුණනය වීම ඒ ඒ වෛරසයන්ට පොදු වූ රටාවකට සිදුවන අතර වෛරස් උණ රෝගය හටගන්නේ මෙලෙස වෛරස් ගුණනය වී එම සෛලය බිඳගෙන සෛලයෙන් එළියට ඒමත් සමඟයි. උණ පවතින කාලය තුළදී උණ වැඩිවීම හා අඩුවීම කිහිප වරක්ම සිදුවන අතර නැවත නැවතත් උණ ඇතිවීම සිදුවන්නේ සෛල බිඳගෙන තව තවත් අලුත් වෛරස් අංශු එළියට ඒම නිසාය.නිදසුනක් ලෙස ඩෙංගු රෝගය ගත් විට ඩෙංගු වෛරසය ගුණනය වීම සිදුවන්නේ රුධිර පට්ටිකා සෛලවලයි. මෙලෙස රුධිර පට්ටිකා තුළ ගුණනය වන වෛරස් අංශු රුධිර පට්ටිකා බිඳගෙන එළියට පැමිණීමේදීයි ඩෙංගු උණ වැඩිවීම සිදුවන්නේ. මෙය දින කිහිපයකට වරක් සිදුවන අතර ඩෙංගු උණ අඩුවැඩි වන්නේ මේ අනුවය. අනෙකුත් වෛරස් බැක්ටීරියා උණ රෝග සඳහා ද මෙම ක්‍රමවේදයම බලපායි.

රෝග ලක්ෂණ

AH1N1 ඉන්ෆ්ලුවන්සා උණ රෝගය ගත් විට එහිදී මතුවන ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව හා ඇඟපත වේදනාවයි. ඊට අමතරව හුස්ම ගැනීමේ අපහසුව, හිසරදය, වමනය ආදිය ද දැකිය හැක. බාහිරව සිදුකරන පරීක්ෂණ මගින් මෙම රෝගය වෛරස් රෝගයක්ද, එසේත් නැතිනම් බැක්ටීරියා රෝගයක්ද යන්න පවා හඳුනා ගැනීම අපහසුය. එය ස්ථිර කරගැනීමට නම් රුධිර පරීක්ෂාවක් සිදුකළ යුතුය.

ආයුර්වේද ප්‍රතිකාර කරා යොමුවීම

වෛරස් හා බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් හරහා ඇති කරන උණ රෝග බොහොමයක්ම ඇති අතර අප AH1N1 ඉන්ෆ්ලුවන්සා රෝගය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන්නට සිතුවේ මේ වනවිටත් එමඟින් බහුතරයක්ම පෙළෙන නිසාය. ඩෙංගු රෝගය ද වසංගතයක් තරමටම රට පුරා ඔඩුදුවා ඇතත් එවැනි රෝගයකදී ආයුර්වේද පැත්තට යොමුවෙනවාට වඩා බටහිර වෛද්‍ය ක්‍රමය වෙත යොමුවීම ආයුර්වේද වෛද්‍යවරැන් පවා අනුමත කරන්නකි.

AH1N1 වැනි වෛරස් රෝගයකදී පවා බොහෝ දෙනකු බටහිර වෛද්‍ය විද්‍යාව මගින් නිර්දේශිත ප්‍රතිකාර කෙරෙහි යොමුවීමට වැඩි නැඹුරුතාවක් දක්වන අතර බොහෝවිට එවැනි රෝගියකු ආයුර්වේදය වෙත යන්නේ තමන් වෛරස් රෝගියකුදැයි අවබෝධයක් නොමැතිවය.

අපේ ජනතාව කාලයක් තිස්සේ හුරැවී ඇත්තේ ඇතැම් ලෙඩරෝග සඳහා මුලින්ම බටහිර ප්‍රතිකාර කරා යොමුව ඉක්මන් සුවය බලාපොරොත්තු වීමමයි. එහෙත් මෙහිදීද බටහිර ප්‍රතිකාර මගින් සෑහීමට පත්නොවන ඇතැම් පිරිස් ආයුර්වේද ප්‍රතිකාරවලට යොමුවීම සිදුවේ. ඒ අතරම කුෂ්ඨ රෝග, කැඩුම් බිඳුම් වැනි තවත් රෝග ගණනාවක්ම සඳහා රෝගීන් කෙළින්ම ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන අතර ඒ හරහා රෝගය නිට්ටාවටම සුවකරගත හැකි බවට ඔවුන් තුළ විශ්වාසයක් ද පවතී.

කෙසේ වෙතත් වෛරස් වැනි උණ රෝග තත්ත්වයන්ට නිශ්චිත වූ ප්‍රතිකාර නොමැති අතර දින කිහිපයකින් රෝගය ඉබේම සුව වී යයි. මෙහිදී රෝගියාට මූලිකවම අවශ්‍ය වන්නේ විවේකයයි.

බර නැති ආහාර වඩාත් සුදුසුයි

උණ රෝගයෙන් පෙළෙන පුද්ගලයකු ආයුර්වේද ප්‍රතිකාර සඳහා පැමිණි විට එම රෝගියා සඳහා මූලිකවම උණ සඳහා සිදුකෙරෙන චිකිත්සාවන් සිදුකෙරේ. ඉන්පසු ආහාර පාලනය හා විවේකය (ප්‍රත්‍ය අපත්‍ය සේවනය) ලබාගැනීම සම්බන්ධයෙන්ද රෝගියා දැනුම්වත් කෙරේ. ප්‍රත්‍ය අපත්‍ය සේවනය යන්නෙන් අදහස් කෙරෙන්නේ රෝගියකු හට සුදුසු දේ හා නුසුදුසු දේ පිළිබඳවයි. උණ රෝගියකු හට වඩාත් සුදුසු වන්නේ බර නැති එනම් සැහැල්ලු ආහාරයි. මුලින්ම ආහාර වශයෙන් ලුණු කැඳ ඇතුළු කැඳ වර්ග, තැම්බුම් හොදි ආදිය ලබාදිය හැකි අතර ඉන්පසු මෙම ආහාරත් සමඟ ඝන ආහාර මඳ වශයෙන් ලබාදිය හැකිය. උණ ලක්ෂණ අඩුවීමත් සමඟ බත් සහ එළවළු කලවම් කර හොඳින් පොඩිකර ආහාරයට ලබාදීම කළ හැකිය. සතියකින් පමණ පසු රෝගියා සඳහා සාමාන්‍ය ආහාර වේලක් ලබාදීමට හැකියාව ලැබේ. මෙලෙස ක්‍රමවත්ව ආහාර රටාව සකස් කිරීම හැඳින්වෙන්නේ ලංහනය ලෙසයි. මෙයත් උණ රෝග ප්‍රතිකාරයේම එක් අංගයකි.

අලුත් සහලින් පිසින බත් කන්න එපා

උණ රෝගියකුගේ ආහාර වේලට බර ආහාර එකතු කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැත. විශේෂයෙන්ම අලුත් සහලින් පිසින බත් ඔවුන්ට සුදුසු නොවන අතර කොස්, දෙල් වැනි පිටි බහුල ආහාරද සුදුසු නොවේ. ආහාර සඳහා වැඩිපුර කුළු බඩු යෙදීමද උණ රෝගීන්ට අහිතකරය. එසේම මස්, මාළු, බිත්තර වැනි ආහාරද දිරවීම අපහසු බැවින් උණ රෝගීන්ට ලබාදීම සුදුසු නැත.

තැඹිලි ගුණයි

සාමාන්‍යයෙන් උණ රෝගියකු විවිධ බීම වර්ග පානය කිරීමට කැමැත්තක් දැක්වුවද ඔවුන්ට ශීත කළ බීම වර්ග ලබාදීම සිදුකරන්නේ නැත. නමුත් වාතජ ජ්වර, පිත්තජ ජ්වර, කළුජ ජ්වර වැනි අවස්ථාවන් කිහිපයක් පවතින නිසා පිත්තජ ජ්වර වැනි අවස්ථාවේදී තැඹිලි වැනි පාන, ශීතකළ කෂාය ආදිය එම රෝගීන්ට ලබාදීමේ හැකියාව ඇත. එසේ වන්නේ ඔවුන්ගේ සිරුර දැඩි උෂ්ණත්වයකින් යුක්ත වන නිසාය.

ඖෂධීය ප්‍රතිකාර

උණ රෝගීන් සඳහා ප්‍රධාන වශයෙන්ම ලබාදෙන්නේ සුදර්ශන චූර්ණය නමැති ඖෂධයයි. එය වයස් භේදයකින් තොරව ඕනෑම උණ රෝගියකු සඳහා ලබාදිය හැකි අතර මෙම ඖෂධය ලබාදීමෙන් කිසිදු ගැටලුවක් මතුවෙන්නේ නැත. මෙය කහ පැහැති කුඩු වර්ගයක් වන අතර රෝගියාට ලබාදෙන්නේ කෝප්පයකට මෙම කුඩු වර්ගයෙන් තේ හැඳි දෙකක් පමණ දමා එයට උණුවතුර අවශ්‍ය ප්‍රමාණයට දමා මඳක් තැම්බෙන්නට හැරීමෙන් අනතුරුවය. එසේම දෙනිබාදිය කසාය හා රස ඖෂධයක් වන සීතාරාම ගුලි ඖෂධයද තවත් කසාය වර්ග කිහිපයක් මඳ උණ රෝගීන් සඳහා ලබාදේ. මෙම ඖෂධවලින් අතුරු ආබාධ ඇති නොවීම විශේෂත්වයකි. මීට අමතරව උණ සඳහා සරලවම ලබාදිය හැකි වන්නේ පස් පංගුව ඖෂධයයි.

ඩෙංගු රෝගීන්ට මෙවැනි ඖෂධ සුදුසුද?

ඩෙංගු රෝග තත්ත්වයකදී උණ අඩුවීම සඳහා මෙවැනි ඖෂධ භාවිත කළ හැකි වුවත් වඩාත් සුදුසු වන්නේ ඔවුන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමයි. එයට හේතුව නම් ඩෙංගු රෝගයේදී උණ හටගන්නා ආකාරය එම රෝගයටම පොදු වූ ආකාරයකට සිදුවන අතර මෙවැනි ඖෂධ ලබාදීම හරහා උණ පාලනය කළත් මේ ඖෂධයෙන් වෛරසයට බලපෑමක් සිදු නොවන නිසා පිටට උණ නොපෙන්වූවද ශරීර අභ්‍යන්තරයේ වෛරස් ගුණනය වීමට හැකියාව තිබීමයි. මෙම රෝගය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේද ප්‍රතිකාර නොමැති අතර කළ යුත්තේ හැකිතරම් රෝගියාට දියර වර්ග පානය කිරීමට සැලැස්වීමයි.

 හේමමාලා කුමාරි රාජකරුණා

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00