2017 මැයි 06 වන සෙනසුරාදා

නාය යා යුතුව අැත්තේ ධනවාදයයි

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

දෙදහස් පන්සිය වසරක් ඉපැරුණි නිර්මල ඉතිහාසයක් පිළිබඳ නිබද ජප කළ හැකි දිව මතුරක් අපට තිබේ. ඉතින් අප විටින් විට ඒ දිව මතුර මුමුණන්නෙමු. ලෝකයේ වෙනත් කිසිදු ජන වර්ගයකට නොමැති තරමේ උදාරම් කතා පුවත්ද, වික්‍රමාන්විත ජයග්‍රහණයන්ද, අනභිබවනීය ගොඩනැංවීම් විසින්ද ඉතිහාසය පිළිබඳ ඒ දිව මතුර සාරවත් මන්ත්‍රයක් බවට සදාකාලික කොට ඇත. එහෙත් එසේ උදාරම් ගයන ජාතියක වර්තමාන මොහොත කෙබදු ද යත්, ඒ ජාතිය විසින් පෙර නොවූ විරූ ආකාරයේ වාර්තා නිර්මාණය කරමින් ලෝකය මවිත කරමින් සිටී.

වතාවක් අප සිය දිවි නසාගැනීම් අතින් ලෝකයේ අංක එකේ රට බවට පත් වීමු. තවත් වතාවක් Sex ගැන සොයන්නට ගොස් ලෝකයේ අංක එක බවට පත් වීමු. පසුගිය අප්‍රේල් දාහතර වනදා මීතොටමුල්ලේදී අප තවත් ලෝක වාර්තාවක් තැබුවෙමු. ඒ කුණු කන්දක් මිනිසුන්ගේ හිස පිට නාය ගිය ලොව අංක එකේ රට බවට පත්වෙමිනි. අප විස්මිත වාරි සංස්කෘතියක් නිර්මාණය කළ රටකි. අප අප්‍රමාණ සෞන්දර්යයෙන් යුත් කලා කෘති නිමැවූ රටකි. දුෂ්කර ගිරි දුර්ග මත සීගිරිය වන රාජධානි ගොඩනැගූ රටකි. එහෙව් රටකට දැන් කුණු ගොඩක් කළමනාකරණය කරගත නොහැකිය. ඉතිහාසය පිළිබඳ කිසිදු දිව මතුරකට මේ යථාර්ථය මඟ හැර යා නොහැකිය.

මීතොටමුල්ලේ කුණු කන්ද එක රැයකින් ගොඩ ගැසුණා නොවේ. ඒ වනාහී දශක කීපයක ප්‍රතිඵලයකි. ටොන් ගණනින් කසළ කදු ගැසුණු මේ කාලයේ ආණ්ඩු දෙක තුනක් වෙනස් විය. ප්‍රතාපවත් ජන නායකයන් කීප පොළක් අතේ බලය හුවමාරැ විණි. ඒ නායකයන් සාමාන්‍ය ජනතාවට ආසා හිතෙන අන්දමේ සංවර්ධන සැලසුම්ද ඉදිරිපත් කළහ. සුන්දර සුන්දර වචනවලින් ඒ සැලසුම් විසිතුරු කළහ. මහින්ද මහත්තයා ආණ්ඩු කරපු කාලයේ පරිසරය පිළිබඳ ඇමැතිවරයා පංච මහා බල කේන්ද්‍රයක්* ගැන කතා කළේය. දැන් මහින්ද මහත්තයා බලයේ නැතද ඒ ඇමැතිවරයා මේ ආණ්ඩුවේද ඇමැති ධූරයක් දරමින් සිටී. මීතොටමුල්ල අයත් වන්නේද ඒ ඇමැතිවරයාගේ විෂය පථයටමය. කුණු කන්ද නාය යන්නට බොහෝ කලකට කලින් ආසියාවේ ආශ්චර්යයද සමඟින් උන්නැහේගේ පංච මහා බල කතාව නාය ගිය බැවින් දැන් ඒ ගැන අසා පල නැත. පංච මහා බල කේන්ද්‍රයක් ගැන කතා කරන කාලයේද උන්නැහේ මීතොටමුල්ල දුටුවේ නැත. මීතොටමුල්ලේ කුණු කන්ද ගැන අවධානය යොමු කළේ රටේ වාමාංශික කණ්ඩායම්ය. ඉනුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැදිහත්වීම අප දුටුවේ වසර පහකට හයකට පෙරයගමීතොටමුල්ලේ ජනතාව විඳින පීඩාවේ තරම ඔවුන් රටට කීවෝය. ප්‍රබල නොවූ නිසාදෝ ඔවුන්ගේ හඬ රටට නෑසුනි. කුණු ගොඩවල් උස්සාගෙන පියඹන කපුටන් නිසා පොඩි දරුවෙකුට මිදුලේ සෙල්ලම් කළ නොහැකි යැයි එක අම්මෙක් හඬද්දී, තව අම්මෙක් හැඬුවේ කිලෝමීටර් දෙක තුනක් පැතිරෙන දුර්ගන්ධය ඉවසාගත නොහී රෝගාතුර වන දරුවන් ගැන කියමිනි. මේ අම්මාවරුන්ගේ හඬ රට හමුවට ගෙන යාමට අරගලයක් අවශ්‍ය වූ අතර පෙරටුගාමීන් ප්‍රමුඛ වාමාංශික කොටස් ඒ අරගලයට පණ දුන්නහ. වරින් වර කරන ලද උද්ඝෝෂණ පහළොවක පමණ ප්‍රතිඵලයක් වශයෙන් අරගලයට කිසියම් සමාජ බරක් එකතු වුණි. එය කොතරම් දුර දිග ගියාද යත් කුණු කන්ද මඟ හැර කොළොන්නාවේ දේශපාලනය කරන්නට කිසිවෙකුට පුළුවන්කමක් නොවිනි. මනාප වන්දනාවේ යමින් ගමන් මරික්කාරුත්, හිරුණිකාත් මීතොටමුල්ල පැත්තට ගොඩ වෙන්නේ ඒ අනුවය.

අරගලය වෙනුවට පුද්ගලයාව විශ්වාස කිරීමේ භයානක දේශපාලන රෝගයට මීතොටමුල්ලේ ජනතාවද ගොදුරු විය. මරික්කාරුත් හිරුණිකාත් පාර්ලිමේන්තු ගියහ. අරගලයට අවශ්‍ය කරන ජවය නොලැබිණි. ඒ වෙනුවට ඔවුන් මරික්කාර් සහ හිරුණිකා විශ්වාස කළහ. කුණු කන්දක් ආශිර්වාද සලසන්නේ පණුවන්ටය. කන්දෙන් යැපෙමින් කන්ද පෝෂණය කරන පණුවන් පාර්ලිමේන්තු යැවීමෙන් මීතොටමුල්ලට සෙතක් නොවූ බව තේරැම්ගන්නට පසුගිය දාහතර වැනිදා වන තෙක් බලා සිටින්නට එහි ජනතාවට සිදු විය. ප්‍රශ්නය ප්‍රශ්නයක්ව පවතින තාක් කල් ඒ ගැන අවධානය යොමු නොකරන නායකයන්ට ඒ දෙස හැරී බලන්නටවත් සිතෙන්නේ ප්‍රශ්නය ප්‍රශ්නයක තැනින් මිදී ව්‍යසනයක් බවට පත් වූ විටය. එසේ හැරී බැලූ පසුවද එකී නායකයන් විසින් ප්‍රශ්නය විග්‍රහ කරගන්නේ සිය දේශපාලන න්‍යාය පත්‍රයන්ට සාපේක්ෂවය. බො‍හෝ විට සිදුවන්නේ රාජපක්ෂලාගෙන් වික්‍රමසිංහලාටත් වික්‍රමසිංහලාගෙන් රාජපක්ෂලාටත් ප්‍රශ්නය මාරු වීමය. එහෙත් එසේ එහාට මෙහාට මාරු කරන්නට මෙය බෝලයක් නොවේ. සෙල්ලමක් නොවේ. රටේ ජනතාවගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයකි. කන්ද ගොඩ ගැහුණට අපේ කාලෙ නම් ඔහොම නාය ගියේ නෑ අපේ හාමුදුරුවනේ.... කියා ඒගොල්ලන්ට හෝ ඒ කාලේ තමයි කුණු ගොඩ ගැහුනේ. අපිට කරන්න දෙයක් නෑ කියා කියන්නට මේ ගොල්ලන්ට ‍හෝ නොහැකිය. එබදු සංවාදයක් ගොඩ නැගීමේ තේරුමක්ද නැත්තේ ඉන් ප්‍රශ්නය විද්‍යාත්මකව වටහා ගන්නට තිබෙන අවස්ථාව මඟ හැරෙන බැවිනි.

කුණු කදු නිර්මාණය වීම ධනවාදයේ ප්‍රශ්නයකි. ධනවාදය විසින් අධි පාරිභෝජනවාදී ජීවන රටාවක් නිර්මාණය කොට තිබේ. එනිසා ‍‍දෛනිකව බැහැර කරන කුණු ප්‍රමාණය ඉහළ යයි. දැනට දශක හය හතකය පෙර ලංකාවේ මෙ‍හෙම කසළ ප්‍රශ්නයක් තිබුණේ නැත. නව ලිබරල් ආර්ථික රටාව විසින් නිමවන ලද පාරිභෝජනවාදය සිය සීමා ඉක්මවමින් සිටින වග පැහැදිලිය. අනෙක් අතට කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය තිබේ. කර්මාන්ත ශාලා හිමියන් ලාභය සහ ප්‍රාග්ධනය පිළිබඳව මිස ජනතාවගේ සුබසාධනය පිළිබඳ වග කියන්නේ නැත. සංවර්ධන සැලසුම් තුළදීද අධික ලාභය ගැන මිසක් අනාගතය පිළිබඳ හිතකර අහිතකර තත්ත්වයන් පිළිබඳව සලකා බැලෙන්නේ නැති ගාණය. එහි ප්‍රතිඵලය වන්නේ කසළ කඳු ගැසීමය. එසේ කදු ගැසෙන කසළ කොල්ලුපිටියේ බම්බලපිටියේ කුරුදුවත්තේ හෝ ගාලු මුවදොර ගොඩ ගැසෙන්නේ නැත. දියවන්නාව අසබඩ ගොඩ ගැසෙන්න්ත් නැත. කසළ කදු සැදෙන්නේ පීඩිත පන්තියේ ජනාවාස ආශ්‍රිතවය. ඒ වනාහී පීඩිත පන්තිය පිළිබඳ ධනේෂ්වර දේශපාලනඥයාගේ චින්තනයේද පිළිබිඹුවයි.

ඉතිහාසය ධනවාදයෙන් අවසන් වන්නේ යැයි ඇතැමුන් කල්පනා කරති. එය එසේ වන්නේ නම් ඉතිහාසය අවසන් වනු ඇත්තේ ඛේදවාචකයකිනි. මන්ද යත් ධනවාදය විසින් ලෝකයට ජයග්‍රහණ දිනා දුන් කාලය දැන් අවසන් වී ඇති බැවිනි. ඒ වෙනුවට ධනවාදය විසින් දැන් දායාද කරමින් තිබෙන්නේ නොමිනිය හැකි තරම් ඛේදවාචක ප්‍රමාණයකි. ඒ ධනවාදයේ නූතන ස්වරූපයයි. ඒ ස්වරූපය මිනිස් වර්ගයාට අතිශයින්ම හතුරැ වන අතර මීතොටමුල්ලේදී පුපුරා හැලුනේ ලාංකික ධනවාදයේ එබදු එක් ස්වරූපයකි. මෙබදු ප්‍රශ්නවලට වග උත්තරකරුවා වශයෙන් රාජපක්ෂ හෝ වික්‍රමසිංහ විත්ති කූඩුවට නැංවීමෙන් පලක් නැත්තේ එබැවිනි. ඒ විද්‍යාත්මක දැනුම ජනතාව අතට පත් වන තෙක් රට පුරා කුණු රොඩු කදු ගැසෙනු ඇත. කිසියම් දිනෙක ධනවාදය නාය යැවීමට අප සමත් නොවන්නේ නම් එසේ ගොඩ ගැසෙන කුණු කදු අපේ හිස පිට නාය යනු ඇත.

නලින්ද සංජීව