2017 මැයි 06 වන සෙනසුරාදා

නීති හැදුවේ කවුද, උන්මය. නීති කැඩුවේ කවුද, උන්මය

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

මහාන්ධකාරය මධ්‍යයේ උන්හිටි හැටියේම සහන් එළියක්ද ඒ මැදින් තුනී මීදුමක්ද ගලා ආවේය.
ඔරේනස්
ගුරුතුමාණෙනි....
මා මෙම කර්තව්‍යය සඳහා නුඹවම තෝරා ගන්නට හේතු කාරණා කිහිපයක් බලපෑවේය.
එසේය ස්වාමීනි.

ප්‍රධානතම කාරණය විනා ශවන්නට ඉඩදී බලා සිටීමේ පුරුද්දක් මට නැත. යහපත් මනුෂ්‍යත්වය යනු තමන් පමණක් යහපත්ව විසීම නොවේ. අයහපත් අනෙකුන්ද තම අනු දැනුමෙන් යහපතට පොළඹවාලීමය. අනෙක් කාරණය නම් නුඹ සතු යමක් අනෙකාට පැහැදිලිව වටහා දීමේ හැකියාවය. එහෙත් නුඹ තුළ පැවති යම් දුර්වලතාවක් තිබේ.
එසේය ස්වාමීනි.

නුඹට යම් යම් අවස්ථාවන්හිදී ආවේගයන් පැමිණෙයි. සැබෑය ඔරේනස්. දැන හෝ නොදැන ගිලී මියෙන්නට යන මේ මිනිසුන්, කාලකන්නි අසරණයින් ඒ අභාග්‍යයෙන් මුදවා ඔවුනට නිම්නයේ උල්පත ඇති සදාහරිත ඉසව්ව පෙන්වීමට නුඹත් මමත් තැත් දරද්දී ඊට එකඟ නොවී තර්ක කිරීම ආවේගාත්මක කරුණක් බව සැබවි. එහෙත් කුමක් කරන්නද ඔරේනස්. උන්ගේ අසරණකම එයම වන්නේය. රනා සහ මිල්කා යනු මේ ගමෙහි ඊළඟ පරම්පරාව වන්නේය. නුඹ අනිවාර්ය ලෙසම සුදුසුම පෙමක අපගේ අධ්‍යාත්මික බෝගසේ බිජුවට වපුරන්නට දැනටමත් පස් පෙරළා හමාරය. සිහි තබාගන්න. උන් උන්ගේ පරම්පරාවල වෙසෙන වැඩිහිටි සත්ව චර්යාව පෙන්වන වැඩිහිටියන්ට වඩා කුඩා ජීවී කොටසක් වන්නේය. එබැවින් උන් කොතරම් හිතවත් වුවද මුළුමනින්ම වෙනස් කළ හැකි යැයි සිහි තබාගන්න.

ස්වාමීනි ඇතැම් විට මිනිසුන් දෙවිවරුන්ටද වඩා සදාචාර සම්පන්නය. ඔවුන්ගේ නීති පද්ධතිය ගෞරව සම්පන්නය. හැම එකාම නිතිපතා ගරුකළ යුතු යැයි සැවොම පරසක්වල ගසන්නේය. එහෙත් ඒ නීතිය රකිනා කෙනෙකුද නැත. එමගින් ආරක්ෂා වූ එකෙකුද නැත...
ඔරේනස් කී කල්හි ගුරුතුමානෝ සිනාසුනහ.
ඔරේනස්, නීති හැදුවේ කවුද, උන්මය. නීති කැඩුවේ කවුද, උන්මය. එපා කියනා සියල්ල මැව්වේ උන්මය. එපා කියන ඒ සියල්ල කරන්නේද උන්මය. නීති ඇත්තේ කඩන්නටය. එය ඔවුන්ගේ නීතියම වෙයි.
එසේය ස්වාමීනි.

හොඳයි ඔරේනස්.... පිටත්ව යන්න. ඔබට ජය.
ගුරුතුමාණන්ගේ අතුරුදන්වීමත් සමඟම මන්දාලෝකය ඝන අන්ධකාරයක්ම වන්නේය. සීතල පරිසරය වනේ කැලෑ සීපාවාගේ සිය හඬා වැටීම්වලින් ආඪ්‍යව ගියේය. දිය පාරක ගොජ බොජ හඬද ගහක වැලක සිලිසිලියද හෝසෙට ඇසෙයි. ඔරේනස් කඳු ප්ලලම් බැස ගම් දෙසට වන්හ. අඳුර මැදින් හේ නොකැලැල්ව ගමන් කළේය.
මේ අන්ධකාරය මත කිසිවක් නොදත් ගම්හු සදාකාලික නින්දේ උන්නද තාවකාලිකව දෙනෙත් පියා ගත්හ. උන් පියවිව සිටියද නිදාගෙන උන් ජීවීහු වෙති. අවදියෙන් ඇති විටද හදවත නිදිය. කනබොන විටද හදවත නිදිය. කෙලි සෙල්ලම් කරන විටද රති ක්‍රීඩාවේ යෙදෙන විටද ඌහු බුදිය.

කරන්නේ කුමක්දැයි නොදැන සියල්ල කලා වූ ජීවී කොට්ඨාසයක් වන සාපලත් ග්‍රාමයේ වාසීහු සියල්ල ලද්දාහු යැයි විශ්වාස කළහ. ඒ නිසාම ඌහු කිසිවක් නොලද්දාහ. උන් කිසිදාක තමන්ගෙන් පිට කෙනෙකු දැක නැත. තමන්ගෙන් පිට යමක් අත්විඳ නැත. සියල්ල මටය. සියල්ල මගේය. සදාකාලිකවම හදවතේ කොටාගත්තාවූ මේ යථාර්ථය පලුදුකර නිම්නයේ උල්පත් භූමියට ඔවුන් කැඳවාගෙන යන්නට ඔරේනස් සමත් වේද.... දන්නෝ කවරහුද.... ඔරේනස් පවා තමාගෙන් ප්‍රශ්න කරති. එය මට කළ හැකිද...?

ලබන සතියට
සටහන - සමන් එදිරිමුණි