2017 මැයි 06 වන සෙනසුරාදා

සපත්තු සහ දුප්පත්තු

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 183

ඇවිද්ද පය දහස් වටින වග හැගී යන්නේ සපත්තුවල මිල ගණන් බලන විටය. විවිධ පන්නයේ සපත්තු රැදවූ ප්‍රදර්ශනාගාරය වටා පස් හය වතාවක් කැරකිල්ල හැදෙන තුරු කැරකුනද කකුලෙ දාගෙන යා හැකි සපත්තු දෙකක් සොයාගැනීමට නොහැකි විය.

සපත්තු මිල පුදුමාකාරය. එය 2,999ය. නමුත් 3,000ට අඩුය. රුපියලක වෙනස පාරිභෝගිකයා පොළඹවා ගැනීමට කෙතරම් බලපෑමක් කළද කිසිවෙකුට ඉතුරු රුපියල ලැබුණා දැයි සොයා බැලිය යුතුය.
සමාජය මෙවන් මායාවලින් පිරිලාය. ගිනි ගහන මද්දහනේ රශ්මිය දරාගන්නටත් බැරි තරම්ය. කඩේ ඇතුළේ වායුසමීකරණය නිසා අපහසුවක් නොවීය. නමුත් වායුසමීකරණයක් තියා වතුර උගුරක් බොන්නට දහදුක් විඳින මිනිසුන් කෙතරම් වේද.
එසේ සිතා ඇසිල්ලක් ගත වන්නට පෙර සපත්තු රාක්ක අතරින් මා දුටුවේ වියපත් මිනිසෙක් හා ඔහුගේ අතේ එල්ලී සිටින වයස අවුරුදු දහයක දොළහක වයසේ පිරිමි දරුවෙකි. 
වීදුරුවලින් නිමවූ ප්‍රදර්ශනාගාරය පිටත මේ සිටින්නේ නව පාසල් වාරයට තම මුණුපුරාට සපත්තු දෙකක් අරන් දෙන්නට පැමිණි සීයා කෙනෙකි. වියපත් මිනිසා හැද සිටියේ සරමක් හා අත් කොට කමීසයකි දෙපයේ සෙරෙප්පු දෙකක්වත් නොවීය. 
කුඩා දරුවා තම සීයාගෙ අතේ එල්ලීගෙන අනිත් අතේ නියපොතු කමින් නොසන්සුන්ව බලා සිටින අයුරු  දුටු මම ගල් ගැසී මෙන් ඔවුන් දෙස බලා සිටියෙමි. ඒ මුහුණුවල වූයේ උතුරායන තරමේ අසරණකමකි.
කිරිපාට ටයිල් වේ. රිද්ම ඉංග්‍රීසි ගීත කලිසම් ෂර්ට් ඇද ගත් මිනිසුන් මේ සුපෝගබෝගී ප්‍රදර්ශනාගාරය ඔවුන්ව අසරණ කර ඇති හැඩකි. අසරණකම දැක දැක තවදුරටත් මා කිමට බලා සිටින්නේද. 
මම ඔවුන් වෙත පිය නැගුවෙමි. ඔවුන් මා දුටු සැණින් යන්නට හැරුනේ මා මෙහි සේවකයෙකු යැයි සිතා විය හැක. 

සපත්තු දෙකක්ද බැලුවෙ
මම ඉතා පහත් ස්වරයෙන් ඇසුවෙමි.
දෙදෙනා මුහුණට මුහුණ බැලුවේය. 
මම දෙදෙනාම කැටුව ප්‍රදර්ශනාගාරයට ඇතුළු වීමි. 
ඉදිරියට එත්ම ස්වයංක්‍රීය දොරටුව දෙපසට විය. ඔවුන් දෙදෙනා එතැන නතර විය. 
මේ ටයිල් පොළව බියකරුය. 
ඉස්සර ගමේ චණ්ඩියා සීයාය, වල් ඌරන් කුළු හරකුන් සමඟ සීයා පොරබැදූ හැටි සීයා  මුණුපුරාට පවසා ඇත. දරැවා සීයාගේ අත තදින් අල්ලාගත්තේ ඒ නිසාය. ඒත් දැන සීයාද අසරණ වෙලාය ඔවුන්ට මේ ජීවිතය පුරුදු නැත.
එන්න ඇතුළට බය වෙන්න දෙයක් නෑ. මම දරුවාගෙ අතින් අල්ලාගෙන ඇතුළට ආවේමි. දෙදෙනාම එතන වූ කුඩා අසුනක වාඩි කළ මා සේවකයෙකුගේ සහය පැතීමි. 
මොනවගේ දෙකක්ද බැලුවේ 
මම විමසීමි.
දරුවට ඉස්කෝලෙ දාන්න දෙකක් සර්
මහලු මිනිසා කැඩුණු ස්වරයෙන් පැවසීය.
දරුවා සහයකයා සමඟ සපත්තු තෝරන්නට විය.
සපත්තු දෙකත් ගෙන අපි එළියට බැස්සෙමු.
මම මේ මිනිසා සමඟ කතාවට වැටුණෙමි. 
එහා ගමේ සර් අපි. හවස් වෙලාම ආවා මේ කාශ්ටකේ නිසා. ඒත් අවුවේ අඩුවක් නෑ. මෙතන නම් සීතලයි හොඳයි 
ඔහු කීවේ කමීසයේ කොලරයෙන් අල්ලා සොලවමිනි.
නගරයට ඇන්දේ මේ ඔහු සතු හොඳම ඇඳුම විය යුතුය.
මේ දරුවා කීය වසරෙද?
මම විමසීමි.
දැන් පහේ පන්තියට පාස්. ඉගෙනගන්න දස්සයි. තාත්ත කුලී වැඩ කරන්නෙ. ඒ මිනිහට මේවට සල්ලි නැහැ. මන් ඔය ඉතුරැ කරන් හිටපු ටිකක් තිබිලා අරන් දෙන්නෙ මේ. අපි නොදැකපු ලෝකෙ මේ දරැවා දකින බව මට විශ්වාසයි*

ඔහු කීවේ සපත්තු රාක්කවල එල්ලෙමින් සිටි දරැවා දෙස ආදරයෙන් බලමිනි.
අපි සපත්තු දෙකත් ගෙන එළියට බැස්සෙමු. 
හොදයි මහත්තයෝ පරිස්සමින් යන්න එහෙනම්
මම ඔහුට කීවේ යටහත් පහත් ලෙසය.
ගොඩක් පින් මහත්තයෝ. දරුවගෙ වැඩේ කරගත්තෙ මහත්තයා නිසා. මේවා අපිට පුරුදු නෑ. අපි ගිහින් එන්නම්. දෙවිපිහිටයි
ඔවුන් යන්නට හැරුණි. 

කෙතරම් කෑවාත් බීවත් මොන විදිහේ දේවල් ළඟා කරගත්තාට කිසි දිනක මා මෙවන් ආත්ම තෘප්තියක් ලබා නොමැත. මේ අහස යටම ඉපද මිය යන මෙවන් අසරණ මිනිසුන් තව කෙතරම් සිටීද? අපිට ඒ සැමට පිහිට විය හැකි නම් ලෝකය කෙතරම් සොදුරුද?

 තිසුම් නලින