2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

මීතොටමුල්ලෙන් ඇවිස්සුණු අහිමි වන්දි කතා

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 285

රටම කම්පා කළ මීතොටමුල්ල ඛේදවාචකය අවසන් වූයේ මිනිස් ජීවිත 32ක් බිලිගනිමිනි. විශාල පිරිසකට උන් හිටිතැන් අහිමි කරමිනි. එසේ පීඩාවට පත් ජනතාවගෙන් කොටසකට නිවාස 98ක් බෙදා දීම පසුගියදා සිදුවිය. මීතොටමුල්ල සිද්ධියෙන් සදහටම ජීවිතයෙන් සමුදුන් පිරිස මෙන්ම අතුරුදන් වූ පිරිස දහයකට අඩු නොවේ. කුණු කන්ද පිපිරීමෙන් අවතැන් වූ මුළු සංඛ්‍යාව 1400 ඉක්මවන බව රාජ්‍ය තොරතුරු සඳහන් කරයි. ඔවුන් හෙට අනිද්දාම අඩි 8x6 පමණ නිවසක් තුළ ගාල්කිරීමට සඳහා තාවකාලික නිවාස නමින් කුඩා කුටි ඉදිවෙමින් තිබේ. 

ජපාන පර් යේෂකයන්ට අනුව මීතොටමුල්ල කන්දේ තවත් පිපිරීම් සිදුවීමටත් ඉඩකඩ තිබේ. එම පිපිරීම්වලින් කන්ද අවට සිටින තවත් විශාල පිරිසකට හානි සිදුවිය හැකිය. එම නිසා ඔවුන් සිටින්නේද අවදානම් කලාපයකය. කුණු කන්ද පිපිරීම රටම කම්පා කරන සිදුවීමක් වුවද තව සතියකින් දෙකකින් එහි උණුසුම අඩුවී ඛේදවාචකයත්, ඉන් හානියට පත් අහිංසක ජනයාත් අමතක වනු ඇතැයි අතීත අත්දැකීම් මතක් කර දෙයි. ඉන් පසුව අගතියට පත්වූවන්ට හා අවදානම් කලාපයේ සිටින්නන්ට පොරොන්දුවූ සහන සැපැයීම, ආධාර දීම, ස්ථිර නිවාස ලබාදීම, වන්දි පිරිනැමීම, ඉඩම් ලබාදීම ආදිය පමා වෙමින් වෙනත් දේශපාලිනික කරුණු ඉදිරියට ඒමත් කුණු ඛේදවාචකයට ගෙවල් කිහිපයක් පිරිනැමීම වැනි තාවකාලික පැලැස්තර විසඳුම්වලට සීමා කිරීමත් පමණක් සිදුවිය හැකිය. ඒ බව මීට වසර දෙක හමාරක සිට සිදුවූ කොස්ලන්ද නාය යෑම, කොළොන්නාව ගංවතුර, සාමසාර කන්ද නාය යෑම, සාලාව පිපිරීම වැනි මහා ඛේදවාචකයන්ට නියම කළ ප්‍රතිකර්ම සහ ඉන් හානියට පත්වූවන්ට ලබා පොරොන්දු සිහිපත් කරයි.

මීට වසර දෙකහමාරකට ඉහතදී මීරියබැද්ද කොස්ලන්ද නාය යාමෙන් මිනිස් ජීවිත තිහක් හතළිහක් පමණ නිහඬව පොළව තුළ වැළලී ගියහ. ඉරණම විසින් වතු කම්කරු ජීවිතයකට උරුම ලයින් කාමර තුළ කොටු කර තිබූ එම කම්කරු ජීවිත නිදහසේ නික්ම ගියද ඔවුන්ගේ ඥාතීන්ට අත්වූ ඉරණම මරණයටත් වඩා දරුණු විය. මාස තුනකින් ලබා දීමට පොරොන්දු වූ නිවාස 75 එම වතු කම්කරැවන් වසර දෙකක් ගතවීමෙන් පසුව ලබා ගත්තේ අඛණ්ඩව කළ අරගල හේතුවෙනි. එහෙත් නායයාමේ අවදානමේ ඇති ලයින් කාමරවල වසන පවුල් ගණනාවක් එම ස්ථානවලින් තවම ඉවත්ව නැත්තේ නිවාස ලබා නොදීම නිසාය. 

කොස්ලන්ද පදිංචිකාරිනියක නාය යෑමෙන් පසු තත්වය විග්‍රහ කරමින් කීවේ “නාය යාමෙන් නිවාස අහමි වූ මිනිස්සුන්ට පූනාගල පාරේ මකල්දෙනිය හන්දියේ නිවාස හදලා දුන්නා අවුරුදු දෙකක් පහුවෙලා. ඒ වෙද්දී මිනිස්සු හිටියේ බාගෙට මැරිලා වගේ. ඊට ටිකක් ඈතින් අවදානම් කියන අයට ගෙවල් දෙන්න නිවාස ඇමැති ඇවිත් ඉඩම් වෙන් කළා. ඒත් තාම අත්තිවාරම් දාලා නෑ. ඒ හින්දා ඒ මිනිස්සු තාමත් ඉන්නේ ඥාතීන්ගේ ගෙවල්වල. සමහරුන්ට වගකියන්නේ නෑ කීවත් යනඑනමං නැතිව අවදානම් ගෙවල්වලම ඉන්න සිදුවෙලා. තව පාරක් වැස්සකින් ඒ ගෙවල්වල ඉන්න මිනිස්සුත් පොළව යටට යනකම් තමයි බලධාරින් බලාගෙන ඉන්නේ. ඊට පස්සේ දුක්වෙන්න ඕනි නෑ.”

මේ චෝදනාව සම්බන්ධයෙන් හල්දුම්මුල් ප්‍රාදේශීය ලේකම්වරියගෙන් කළ විමසුමට පිළිතුරු දෙමින් ඇය මෙසේ පැවසුවාය. 

“මීරියබැද්දේ තිබුණ ලයින් කාමරවලින් නාය ගිය ලයින් කාමරවලට අමතරව ලොකුම අවධානම් තිබෙන්නේ‍ 14 හා 15 ලයින් කාමර වලට. තාවකාලිකව නවාතැන් පහසුකම් ලබා දී තිබුණත් ජල පහසුකම්, විදුලි පහසුකම් හා අවම පහසුකම් නොමැති නිසා ඒවාට යන්නත් අවදානම කලාපයේ ඉන්න ජනතාව කැමැති නැහැ. මේ ගැටලුව වතු යටිතල පහසුකම් අමාත්‍යංශයේ අවධානයට ලක් කරලා තියෙනවා. දැනට කෙරීගෙන යන ව්‍යාපෘතිවලින්වත් ඒ ජනතාවට අදාළ කටයුතු කෙරෙයි කියන බලාපොරොන්තුවෙන් තමයි ඉන්නේ. මේ ගැටලු සම්බන්ධයෙන් මම පාර්ශව කිහිපයටම ලිඛිතව දන්වලා තියෙනවා.”

අතිවිශාල දේපළ හානියක් හා පරිසරවිනාශයක් සිදු කළ කොස්ගම සාලාව යුදහමුදා අවිගබඩාව පිපුරුමට වසරක් පිරීමට තවත් ඇත්තේ මසක කාලයක් පමණි. ස්වභාවික ආපදාවක්වත් සාලාව වැසියන්ගේ වරදින්වත් සිදු නොවූ එම විපතට ඍජුව ඇඟිල්ල දිගුවූයේ රජයටය. අවිගබඩාව පිපිරීමෙන් එක් ජීවිත හානියක් පමණක් සිදුවුවද නිවාස සිය ගණනකට පූර්ණ හානි සිදු විය. තවත් නිවාස ගණනාවකට අර්ධ හානි හා නිවාස කිහිපයකට සුළු හානි ද සිදු විය. කොස්ගම නගරයේ ව්‍යාපාරික ස්ථාන ගණනාවක්ම මුළුමනින්ම විනාශ වී ගිය අතර කුඹුරු, රබර් ගස් ඇතුළු කෘෂිකාර්මික ඉඩම්වලට හානි සිදු විය. මෙම හානිවලට අදාළව වන්දි ගෙවීමට අගමැතිවරයා පොරොන්දු වූයේ පිපුරුම සිදු වීමෙන් අනතුරට මුහුණ දී සිටි ජනතාව හමුවේය. එහෙත් සාලාව පිපුරුමට වසරක පමණ කාලයක් ගතව ඇතත් වන්දි ගෙවීම් හරියාකාරව සිදුව නැතැයි සාලාව වැසියෝ මැසිවිලි නගති.

“මේ ප්‍රශ්නය නිවැරදිව සාධාරණව විධිමත්ව විසඳන්න රාජ්‍ය නිලධාරීන්ට ප්‍රමාණවත්ව කාලයක් තිබුණා. පීඩාවට පත්වෙච්ච ජනතාව, ව්‍යාපාරික ප්‍රජාවට ප්‍රමාණවත් සහ සාධාරණ විසඳුම් ලබා දීමට රජය මේ තරම් කල්මරන්නේ ඇයිද කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තක්සේරු පිළිබඳවත් ගැටලු තියෙනවා. ඉදිරිපත් කළ අභියාචනාවලට සාධාරණයක් ඉටුවිය යුතුයි. ව්‍යාපාර අහිමි වූවන්ට, රථවාහනවලට හානි සිදුවූවන්ටත් වන්දි අවශ්‍යයි. සාලාව පිපුරුණු දවසේ ඉඳලා සාලාව ප්‍රදේශයේ ව්‍යාපාර කළ ප්‍රජාව අලුත් ව්‍යාපාරික කටයුතු කරන්නේ නැහැ. ආණ්ඩුව මේ සිදුවීමෙන් ව්‍යාපාරිකයන්ගේ ජීවන වෘත්තිය උදුරාගෙන තියෙනවා.” 

සාලාව අවිගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමතුවේ ලේකම් චන්දන සූරිය බණ්ඩාර මහතා ආණ්ඩුවට චෝදනා කරයි.

එම චෝදනාවට පිළිතුරු දුන් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා 

“තක්සේරු කළ මිලියන 1250ක වන්දි මුදල් අපි යවලා ඉවරයි. එයින් අනතුරට පත්වූවන් 99.5ක්ම වන්දි අරගෙන තියෙනවා. නිවාස වන්දි, ගෘහභාණ්ඩ හා අනෙකුත් භාණ්ඩ වන්දි, ව්‍යාපාරික ස්ථාන හා ව්‍යාපාරික භාණ්ඩවල වන්දි යන සියල්ල ගෙවා අවසන්. 

තක්සේරු කිරීමේදී නිවාස හිමියන් සමඟ සාකච්ඡා කරලා ඔවන්ගේ පළමු අභියාචනාව සළකා බැලුවා, නැවත දෙවන අභියාචනාවත් සළකා බැලුවා. තුන්වැනි වතාවෙත් අභියාචනා සළකා බලලයි වන්දි ගෙව්වේ. වන්දි ගත්තෙ නැති බොහොම ටික දෙනෙක් ඉන්නවා. ඒවගේම ගත්ත අයගෙන් කිහිපදෙනෙකුත් වන්දි මුදල් මදි කියාගෙන ඉන්නවා. ඒකයි මෙතැන ප්‍රශ්නය. වන්දි මුදල් එපා කියන්නේ බොහොම පුංචි හානිවලටත් කර තිබෙන රුපියල් හාර පන්දහසේරු තක්සේරු තියෙන අය. ඒ අය නොගත්තත් අපේ ලේඛනය සඳහන් කරලයි තියෙන්නේ. තමන්ට වන්දි මුදල් මදි කියලා වන්දි මුදල භාර නොගන්න කිහිප දෙනෙකුත් ඉන්නවා. වාහන ගැන ඒ මිනිස්සු සාකච්ඡා කරගෙන තිබුණේ මුදල් අමාත්‍යංශයත් එක්ක. අපේ වන්දි පැකේජ්වල වාහන ගැන තිබුණේ නැහැ. වාහන සම්බන්ධයෙන් තක්සේරැ අපි මුදල් අමාත්‍යංශයට යොමු කරලා තියෙනවා. අපේ යෝජනා ක්‍රමවල තිබුණු සියලුම වන්දි මුදල් දී අවසන්.”

පසුගිය මැයි මාසයේ දිවයින පුරා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් කැලණි ගඟ පිටාර ගැලීමෙන් ලක්ෂයකටත් අධික පිරිසකට සිය නිවැස් අත්හැර දමන්නට සිදුවිය. ගංවතුර තත්ත්වය දැඩි ලෙස බලපෑවේ කොළොන්නාව, ඔරැගොඩවත්ත, කැලණිමුල්ල, වැල්ලම්පිටිය, කොටිකාවත්ත යන ප්‍රදේශයන්ටය. අඩි 07-10 දක්වා පහත් බිම් වතුරට යටවිය. කැලණි මිටියාවත අවට නිවාස ගංවතුරට හසුවීමෙන් ගෘහභාණ්ඩ, විදුලි උපකරණ, පශු සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ විය. දින තුන හතරක් පමණ වතුරට යටව තිබූ ඉහත ප්‍රදේශයන්වල ජනතාව තාවකාලික කඳවුරුවල, පාසල්, පන්සල් හා අනෙකුත් ආගමික ස්ථානවල පදිංචි කරන ලදී. 

ගංවතුර තත්ත්වයට මුහුණ දීමට රජය ක්‍රියාත්මක වීමට පෙර ගංවතුර ඉදිරියට පැමිණියේ තරැණ කණ්ඩායම්, සිවිල් සංවිධාන, මාධ්‍ය ආයතන හා අනෙකුත් ආයතනයන් වීම කැපී පෙනිණි. ඔවුන් විසින් ආපදා සමයේ අනතුරට පත්වූවන්ට අවශ්‍ය ආහාරපාන, ඇදුම් පැලදුම්, සනීපාරක්ෂක භාණ්ඩ ආදිය පිරිනැමිණි. ආපදා සමයේ මන්දගාමීව ක්‍රියාත්මක වූ රජය දැඩි දෝෂදර්ෂණට ලක් වූ අතර ආපදාවෙන් අනතුරට පත්වූ ජනයාට වන්දි ගෙවීම භාරගැනීමටත් රජයට සිදුවිය. රජය වන්දි ගෙවීමට පොරොන්දු වුවද අදාළ වන්දි ගෙවීම් ගංවතුර ගලා වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් ගෙවා අවසන් කිරීමට සමත්ව නැත. ගංවතුර ගැලූ වකවානුවේ රජය ඉදිරිපත් කළ පරිසර හිතකාමී යෝජනා කිසිවක් තවම ක්‍රියාත්මක නැත. ගංවතුරට හසුවූ පහත්බිම්වල ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කළ යුතු බව කීවත් ඒ ගැන කිසිදු කතාබහක් දැන් නැත.

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ඒ.යූ.කේ. දොඩංවල මහතා අප සමඟ මෙලෙස අදහස් දැක්වීය. “අපි දුන්නේ දසදහසේ හානි මුදල්. 95%කටම එම මුදල ගෙවලා ඉවරයි. මුදල් දෙන්න බැරි වුණේ ජනතාවගේම ප්‍රශ්න හින්දා. සමහර ගෘහ මූලිකයේ ඉන්නේ රට. 15000 හානි මුදලුත් භාගයකට වැඩිය ගෙවා අවසන්. 15000 ගෙවන්නේ රක්ෂණ භාර අරමුදලින්. ගංවතුරවලින් හානි වූවන්ගෙන් හානි මුදල් 15000ට වැඩි තක්සේරැ නොලැබුණ අය තමයි මේ චෝදනා කරන්නේ.”

ජාතික රක්ෂණ භාර අරමුදල විධායක නිලධාරි සනත් සී. ද සිල්වා මහතාට කොළොන්නාව ප්‍රාදේශිය ලේකම්වරයා නැගූ චෝදනාව යොමු කළෙමු. 

“දැනට අපි කොළොන්නාව ප්‍රදේශයට කෝටි 180ක් ගෙවලා තියෙනවා. තක්සේරු කරණයේදී යම් යම් බාධා දේශපාලනික වශයෙන් හා මහජනයාගෙ පැත්තෙන් ඇති වුණා. ආපදාවෙන් හානි වුණ 70000කගෙන් මුලින් තක්සේරු වාර්තා ලැබුණේ 25000යි. ගිය මාසේ තමයි ඉතිරි වාර්තා තහවුරු කරලා අපිට ලැබුණේ. තවත් 8000ක් විතර තක්සේරු අපිට ලැබෙන්නත් තියෙනවා. තක්සේරුවලත් තාක්ෂණික දෝෂ තියෙනවා. ඒ සේරම පරික්ෂා කරලයි වන්දි ගෙවන්නේ. අදාළ හානි සිදු වූ හැම කෙනෙක්ටම අපි අනිවාර් යෙන්ම වන්දි ගෙවනවා. ඒත් පමාව තියෙන්නේ තාක්ෂණික නිලධාරී පමාව නිසා. රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ජාතික ප්‍රතිපත්ති යන අමාත්‍යංශ තුනක් එකතු වෙලා කරන වැඩක් නිසා සහ නිලධාරි මණ්ඩලය ප්‍රමාණවත් නොවීම යන කාරණය තමයි ප්‍රමාදයට හේතුව. නමුත් දැනට තත්ත්වය යම් පාලනයකට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. තක්සේරැ ගෙවන්න තියෙන අයට ඍජු ගෙවීම් කරන්න බලාපො‍රොත්තු වෙනවා. මැයි මාසය අවසන් වෙද්දි ගෙවලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

පසුගිය මැයි මාසයේ ඇදහැලුණු අඛණ්ඩ වර්ෂාව දරාගත නොහැකිව අරණායක සාමසාර කන්ද නායගියේ නිවාස 14ක් ගිලගනිමින් 30ස් දෙනෙකු පමණ සඳහටම නින්දට යවමිනි. තවත් නිවාස 60කට දැඩි හානි සිදුවිය. අවට කලාපයද අවදානම් කලාප ලෙස භූ විද්‍යාඥයෝ නම් කළහ. නිවාස අහිමි වූවන් තාවකාලික කඳවුරැවල ලැගුම් ගැනීමට සිදුවූ අතර ඔවුනට ලබාදීමට පොරොන්දු වූ සහන තවමත් ලැබී නැති තත්ත්වයක් තුළ වසරක කාලයක් ඔවුන් ජීවත්වීමට සිදුව ඇත්තේ ආපදා සමයේ ලබා දුන් කඳවුරැවලමය. කඳවුරැවල අධි අවදානම් වශයෙන් නම් කළ 500 ගාණක පිරිසක් සහ නාය යෑමෙන් හානියට පත්වූ පිරිස ද සිටිති.

ඔවුනට නිවාස ලබා දීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් කෑගලු දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු මෙසේ කීය. “ගෙවල් පනහක් හදලා ඉවරයි. තවත් ගෙවල් පහක් හදන්න තියෙනවා. ඒ ගෙවල් පහත් මැයි මාසේ හදලා අවසන් කරනවා. එතැනින් නායගිය අයගේ ප්‍රශ්නය අවසන් වෙනවා. අවදානම් කලාපයේ ජනතාව එම ස්ථානයෙන් ඉවත් වුණාට ඔවුන්ගේ නිවාස හා ඉඩම් එම ස්ථානවලම තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය නම් අවදානම් නැති කාලවල තම නිවැස්වල ඉන්නත් පුළුවන් ඉඩම පරිහරණය කරන්නත් පුළුවන්. ඔවුන්ට ඉඩමක් සහ ලක්ෂ දොළහක මුදලක් රජයෙන් ලබා දෙනවා. පැහැදිලිව තේරැම්ගත යුතු දෙයක් තමයි, අවදානම් කලාපයේ ජනතාවගේ කිසිම දෙයක් නැති වෙලා නැහැ. එහෙම තියෙද්දී ඔවුන්ට ගෙයක් හදාගන්න ඉඩමකුත් දීලා මුදලුත් දෙනවා. කිසිම රටක ආණ්ඩුවකින් එවැන්නක් සිදු කරලා නැහැ. මේ ප්‍රශ්නය මාස තුනක් ඇතුළත් අපි අවසන් කරනවා. දැනට 60%කට පමණක් ඉඩම් ලබා දීමේ හැකියාවක් තිබෙනවා. මෙච්චර ප්‍රමාදයක් සිදු වුණේ ඉඩම් අත්පත් කරගැනීමේදී ඇතිවුණ ගැටලු නිසයි. ඉතිරි ඉඩම් ඉතා ඉක්මණින් අත්පත් කරගන්නවා. ලක්ෂ 12ක මුදල කොටසකට ලබා දී අවසන්. ලබා ගත්ත අය ගෙවල් හදන්න පටන් අරගෙන. තව මාස තුනක් ඇතුළත ඉතිරි අයටත් පළමු වාරිකය ගෙවා අවසන් කරනවා. එතකොට ඒ අයටත් ගෙවල් හදාගන්න පුළුවන්.”

කොස්ලන්ද පටන් සාමසාර කන්ද නාය යාම දක්වා ආණ්ඩුව පොරොන්දුවූ වන්දි මුදල් ගෙවා අවසන් කිරීම හා නිවාස තනා දීම වසරකට වැඩි කාලයක් ප්‍රමාද වී ඇත. එම ගැටලුවලට යොදා ඇත්තේද පැලැස්තර විසඳුම් පමණි. එවැනි තත්ත්වයක් මීතොටමුල්ලට ද උදාවිය හැකිය. මීතොටමුල්ලට අදාල වන්දි ගෙවීම් සම්බන්ධයෙන් රක්ෂණ භාර අරමුදලේ විධායක නිලධාරියාගෙන් කළ විමසුමට පිළිතුරැ දෙමින් පවසා සිටියේ මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් තාමත් ඔවුනට ලැබිලා ඇත්තේ තාක්ෂණික වාර්තාවක් පමණක් බවයි. තක්සේරැ කිරීමක් හෝ ඉල්ලීම් කිරීමක් තවමත් ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් සිදුව නැති බවත්ය. ඉන් පෙනී යන්නේ සුපුරැදු පරිදි මීතොටමුල්ලට අත්වන්නේ ද අතීත ඉරණම විය හැකි බවය. ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යවරයා ඉන්දීය සංචාරයක නිරතව සිටින බැවින් මේ සම්බන්ධයෙන් විමසීමට ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සහ කළ ද නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ කරගත නොහැකි විය. අප ඉල්ලන්නේ රට කළ සියලු ආණ්ඩු විසින් නිර්මාණය කළ ඛේදවාචකයට තම ජීවිත හා දේපළ වලින් වන්දි ගෙවූ මීතොටමුල්ල ජනතාවත් අතරමං නොකරන ලෙසටය.

 සකීෆ් සාම් තන්වීරි