2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

ක්‍රිකට් මැද්දේ සයිටම් බකට්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී සයිටම් විරෝධීන්ගෙන් පල වූ නිර්මාණශීලී විරෝධය කුසල් ජනිත්ගේ හයේ පහර තරම්ම ආකර්ෂණීය විය. ක්‍රිකට් තරග අතරතුර සිය හැඟීම් දැනීම් විවිධාකාරයෙන් ප්‍රදර්ශනය කරන්නට ප්‍රේක්ෂකයෝ පුරුදු වී සිටිති. ඇතැමෙක් සංගක්කාරට, ඩි විලියර්ස්ට, ක්‍රිස් ග්‍රේල්ට ආදරය පල කරන බැනර් ඔසවාගෙන සිටියදී තවකෙක් කෝලිට, මැක්ස්වෙල්ට දෙහි කපන බැනර් ප්‍රදර්ශනය කරති. සිංහලේ හෝ ඉංග්‍රීසියේ අසභ්‍ය වචන මිසක ශාස්ත්‍රීය සංයත බස් වහරක් ඒ සඳහා යොදාගන්නේ නැත. 

මේ අවලාද සහිත වැකි දැකීමෙන් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව අප්‍රසාදයට ලක් වන්නේයැයි මෙතෙක් කිසිවෙක් කුලප්පු වූයේ ද නැත. එහෙත් එදා තරගයේ සයිටම් විරෝධීන්ගේ නිශ්ශබ්ද විරෝධයට හතර අතින්ම විරෝධය එල්ල වුණි. ක්‍රිකට් නැමැති රන් දෙවොල සයිටම් විරෝධීන්ගේ පාපී දේශපාලන කිල්ලට ගොදුරු වූයේ යැයි හිස අත් බදා වැළපෙමින් නහය සූරමින් හුන් ක්‍රීඩා ප්‍රෙමීන් බොහොමයක් සයිබර් අවකාශයේ හමුවුණේ එබැවිනි.

සිය විරෝධතා පල කිරීම සඳහා ජාත්‍යන්තර තරග යොදාගැනීම ලෝක ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී සිදු වී තිබේ. හෙන්රි ඔලෙන්ගා කෙරෙහි අපට ප්‍රසාදයක් තිබෙන්නේ ඔහුගේ හිස කේ විලාසිතාව හෝ පන්දු යැවීම නිසා නොව සිම්බාබ්වේ ඒකාධිපති පාලකයා වූ රොබට් මුගාබේට එරෙහිව වරක් කළු පටි පැලද ක්‍රීඩා කරන්නට තරම් ධෛර්යයක් තිබූ බැවිනි. එම තරගයේදී ඇන්ඩි ෆ්ලවර්ට ද කළු පටි පැලද ගන්නට තරම් පිට කොන්දක් තිබුණේය. පාපන්දු කුසලානය සඳහා වූ අවසාන මහා තරගයේදී බ්‍රසීල පාපන්දු තරුවක් වූ රොනාල්ඩෝ සිය වම් කලවයේ ක්‍රස්ත්‍රෝගේ පච්චයක්ද සිය දකුණු අත් ගොබයේ චේ ගේ පච්චයක්ද සහිතව ක්‍රීඩා කළේය. ඒ තුන්වැනි ලෝකයේ රටවල් පෙලන නව යටත් විජිත වාදයේ දුෂ්ඨ පීඩනයට එරෙහිවය. සිය රාජ්‍යයේ දුර්දාන්ත වර්ණ භේද වාදය පරාජය කොට සුදු කළු ජන වර්ග අතර සහජීවනය ගොඩනැගීමේ අරමුණින් රගර් අවසාන මහා තරගයක් යොදාගන්නට නෙල්සන් මැන්ඩෙලා කටයුතු කළේය. ඔලිම්පික් තරගවලදීද එබදු දේශපාලන සංඥා සලකුණු වූ අවස්ථා ඇත්තේ එකක් දෙකක් නොවේ.

වඩා යහපත් ජීවිතයක් සඳහා වූ පොදු ජනතාවගේ අරගලය සෑම විටම ක්‍රීඩාවේ ප්‍රමෝදයට ඉහළින් ලඹ දෙන්නකි. එහෙත් අපගේ රටවල බහුලව හමුවන්නේ එකී ප්‍රමෝදයද උන්මාදයක් බවට පත් කර ගත් තරුණ පිරිසකි. උන්මාදයට සිහි බුද්ධිය යටපත් වීම ඉතාම ස්වභාවික බැවින් ඔවුන් ඇතැම් සිදුවීම් වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නේ අසාමාන්‍ය අසංවේදීත්වයකින් සහ බරපතළ මුග්ධ භාවයකිනි. සයිටම් විරෝධීන් නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ පාරිශුද්ධත්වය කෙළෙසී ගියේයැයි චෝදනා කරන ක්‍රීඩා ලෝලීන්ට සැබවින්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ගෙල මිරිකාලන සාහසික අත පෙවීම් පෙනෙන්නේම නැත. ලංකාවේ ක්‍රිකට්වලට දේශපාලනය ගෑවුනේ අද ඊයෙක නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද එකම රටද ලංකාව වග සනත් ජයසූරිය මන්ත්‍රීතුමාගේ ක්‍රිකට් ජීවිතයේ අවසාන භාගය මතක ඇත්තෙකුට අමතක වන්නට හේතුවක් නැත. ක්‍රිකට් නිලවරණ සමයට මුල් පුටුවට තිබෙන පොර ඇල්ලිල්ලද දේශපාලන ක්‍රීඩාවකි. රට වටේට ක්‍රීඩා පිටි ඉදිකරන්නට පසුගිය කාලයේ එක් අමාත්‍යවරයෙකුට පැමිණි දොළ දුක ද එබදුම හැංගි මුත්තමකි. මේ හැංගිමුත්ත නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස යොදාගත යුතුව තිබූ මිලියන දහස් ගණනක ධනස්කන්දය කොහිදැයි ඇසූ කටවල් එදා හිඟ විය. හතරේ පහරකට හයේ පහරකට ඔල්වරසන් දීමෙන් පමණක් ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සුරුකෙන්නේ නැත. සූරියවැව ground එකේ සෙල්ලම් කරන්නට අපහසු යැයි කියූ මහේලත්, සුප්‍රකට “ක්‍රවුඩ්රි” දේශපාලනයෙන් වදින තැන්වලට රිදෙන ලෙස නිල මිරිකූ සංගක්කාරත් හැරුණු කොට ක්‍රිකට් ක්‍රීඩාවේ දේශපාලනීකරණය පිළිබඳව රට ඇවිස්සූ කතාවක් කියන්නට සමත් කිසිවෙකු එදා නොවීය.

මෙකී ව්‍යසනය සිදුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොවේ. කලෙක ලංකාවට වැඩිපුරම මුදල් පැමිණියේ පාපන්දු ක්‍රීඩාව සඳහාය. එය අද ක්‍රිකට් සඳහා ලැබෙන මුදලටද වැඩි මුදලකි. එහෙත් ලංකාවේ පාපන්දු තිබුණු තැනිනුත් පිරිහුණා මිස දියුණුවක් අත් කර නොගත්හ. එහෙත් මනිලාල් සහ ඔහුගේ ගෝලයෝ දවසින් දවස සංවර්ධනය වූහ. සිංහ කොඩිය කම්මුලේ අලවගෙන පපරබෑන්ඩ් රිද්මයට ජාති ආලේ චූන් කරගන්නා ක්‍රීඩා ලෝලීන්ට පිටියෙන් එපිට සිදුවන මේ කිසිවක් අදාළ නැත. ඔවුන්ට ඒ ගැන සොයා බලන්නටද වෙලාවක් නැත. ඔවුන් කැමැත්තේ පිටියේ මීටර් අසූවක අනූවක සීමාවේ නිරුපද්‍රිතව ක්‍රිකට් ලෙළ දෙන අයුරු දකින්නටය.

එදා සයිටම් විරෝධීන් විසින් කුඩු කරන ලද්දේ මේ සම්ප්‍රදායික ක්‍රීඩා ලෝලියාගේ සුකුරුත්තං විනෝදයය. ලෙළ දෙන සිංහ ධජවලට එපිටින් කුසල්ට උපුල්ට වැදුනු “චියර්” එකට ඔබ්බෙන් මේ රටේ අවවරප්‍රසාදිත ජනතාවට වදින කම්මුල් පහරක් ගැන ඔවුන් මතක් කර දුන්නහ. එකම විනෝදය ක්‍රිකට් කරගත් රටක ඒ කම්මුල් පහර ගැන සිහිපත් කරන්නට ඔවුන් පැවිලියන් එක වේදිකවක් කරගත්තහ. නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වල පල්ලට යවන්නට සැරසෙන වග ඔවුන් ඒ ජයග්‍රහණයේ ආස්වාදය මධ්‍යයේම මතක් කර දුන්නහ. එය කළ යුතුව තිබුණු විරෝධයකිගවීදි සටන් සියයකින් නොඇරුණු දෑස් ඒ එක විරෝධතාවයකින් විවර විය. එංගලන්තයේ ලෝඩ්ස් පිටිය මැදට නිරුවතින් කඩා පනින යුවතියන් මෙන් මොරටුවේ ශිෂ්‍යයන් එදා හැසිරුනේ නැත. ඊළාම් ධජය රැගෙන කඩා පනින එල්.ටී.ටී.ඊ හිතවාදීන් මෙන් කලහකාරී වූයේද නැත. හතරකට හයකට ද චියර් කරමින් ජයග්‍රහණයේ ප්‍රීතිය ද සමරමින් අන්තරේ ප්‍රමුඛ ශිෂ්‍ය ව්‍යාපාරයට ඔවුන් නව සටන් ආකෘතියක් සොයා දුන්නහ. එබදු ආකර්ෂණීය ආකෘති ඇතුළේ ශිෂ්‍ය සටන් නවීකරණය වීම තීරණාත්මක බව පෙන්වා දුන්නහ. වීදි දිගේ බාටා ගෙවෙන තුරු පාද යාත්‍රා කිරීම පරම සටන් ආකෘතියක් නොවෙන බව පෙන්වා දුන්නහ.

ක්‍රිකට් සෙල්ලම් කරන්නටද රටක් ඉතුරු විය යුතුය. ඒ රටේ නිරෝගීමත් පරපුරක් බිහි විය යුතුය. දේශපාලනය වුවමනා වන්නේ අන්න ඒකටය. එහෙම රටක් හදන්නටය. අපේ ජීවිතය යා යුතු අත තීන්දු කරන ඉරණම්කාරී බලය ඇත්තේ අප වටා කැරකෙන දේශපාලන කොන්දේසි තුළ මිස දුරබැහැර ග්‍රහලෝක අතර නොවේ. එනිසා අප දේශපාලනයට මැදිහත් විය යුතුය. ක්‍රිකට් පිටිය මැදට රැගෙන යන සිංහ කොඩිය වීදි දිගට ගෙනෙන්නට ඔබට හැකි විය යුතුය. මාලිංගට, ගුණරත්නට චියර් කරන කටහඬින්ම සටන් පාඨ හඬ තලන්නට ඔබට හැකි විය යුතුය. පපරබෑන්ඩ් තාලයට ගැහෙන දෙපා විමුක්තිකාමීත්වයේ රිද්මයටද ඔසවන්නට ඔබට හැකි විය යුතුය. ක්‍රිකට් ඇසුරේ ඔබට ඇත්තේ සරල විනෝදයකි. එය දේශප්‍රේමීත්වය ලෙස වරදවා වටහා නොගැනීම ඔබ ලබාගත යුතු මූලික දැනුමයි. විනෝදය යනු ආදරය නොවේ. ඔබ රටට ආදරය කරන්නට උගත යුතුය. ඔබ රටේ සුවහසක් ජනතාවට ආදරය කරන්නට උගත යුතුය. ඒ සඳහා ඔබ විනෝදකාමියාගේ භූමිකාවෙන් විමුක්තිකාමියෙකුගේ භූමිකාවට විතැන් විය යුතුය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මොර දෙන තරුණ පිරිස් විකාරයක් ලෙස එවිට ඔබට නොපෙනෙනු ඇත. අනික් අතට නව ලිබරල් වාදය ක්‍රීඩාවේ කන්‍යාභාවය විනාශ කරන්නට පටන් ගෙන බොහෝ කල්ය. මහතත්තුරැන්ගේ ක්‍රීඩාව මස් වැද්දනගේ ක්‍රීඩාවක් බවට පත් වීමට මහා කාලයක් ගත නොවෙනු ඇත.

ක්‍රිකට් ද ඇතුළු සියලු ප්‍රපංචයන් නව ලිබරල් වාදයේ ගොදුරැ බවට පත් වෙමින් ඇති රටක සයිටම් විරෝධීන් නිසා සිත නරක් කර ගැනීම ළදරු වලිප්පුවකි. ඔබේ කැමැත්ත අකැමැත්ත කෙසේ වෙතත් සියලු දුර්දසාපන්න තත්ත්වයන් කණපිට පෙරලීමේ යතුර ඇත්තේ දේශපාලනය තුළය. ඉතින් ළදරු වලිප්පුවෙන් වහාම මිදී අන්න ඒ යතුර අතට ගන්න. නිදහස් අධ්‍යාපනයද, නිදහස් සෞඛ්‍යයද, ක්‍රිකට්ද බේරාගත හැක්කේ එවිට පමණි.

♦නලින්ද සංජීව ලියනගේ