2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

ආණ්ඩු පෙරළන්නේ ග්‍රහ බලයෙන් මිස ඡන්ද බලයෙන් නොවේ

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 155

2017 දී මේ ආණ්ඩුව පෙරළන්න බැහැ

කලබලේට කොරහෙ කටේ වුවත් අත දමාගැනීමට නුපුළුවන. ඉක්මන්කම තිබුණාට ශ්‍රී ලංකාවට මැතිවරණ ලබාගැනීමටවත් ආණ්ඩු වෙනස් කරන්නටවත් පුළුවන්කමක් නැත. ඊට කිසියම් න්‍යායක් පවතී. ශ්‍රී ලංකාවේ මැතිවරණ මෙන්ම ආණ්ඩු මාරුකිරීම තට්ටුමාරු ක්‍රමයට සිදුකර දෙනු ලබන්නේ ග්‍රහ මණ්ඩලය විසින් මිස, ඡන්ද බලය හිමි ජනතාවත් දේශපාලනඥයාවත් නොවන බවට තේරුම්ගත යුතුයි. සියලු දේශපාලනඥයින්ද දේශපාලන පක්ෂද කටයුතු කළයුතු වන්නේ, ග්‍රහ ශක්තිය විසින් මැතිවරණ සටනට දොර විවර කරදුන් විට දේශපාලන පොරයේ යෙදී ඉන්පසු ජයගැනීමට ජනතාව නොතලා තම වාරය එළඹෙන තෙක් ඊට සුදුසුකම් ඇති කර ගැනීමය.

මේ සඳහා උදාහරණය 2015 පැවති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයයි. ජනතාව හිටපු ජනාධිපතිවරයාට බලයේ රැඳීසිටීමට 2017 දක්වාම අනුමැතිය ලබාදී තිබිණ. සියලු යටිතල පහසුකම් බලතල, නිලබල, ධනබල තිබුණත් ග්‍රහ බලය තමාට සුපුරැදු නිශේධ බලය ක්‍රියාත්මක කොට වෙනත් ජනාධිපතිවරයෙකු රටට ගෙනාවේය.

මේවාට ජ්‍යොතිෂ සිද්ධාන්ත පවතී. අංක: 01 දරන රෑප සටහනක් ශ්‍රී ලංකාවේ නිදහස් දින පැවති ලග්නයෙන් ශ්‍රී ලංකා මැතිවරණ න්‍යාය ක්‍රියාත්මක කරන ආකාරය මැනවින් පැහැදිලි වෙයි.

1948.02.04 නිදහස ලැබුණු දින උදා තත්කාලය

මෙම තත්කාල ලග්න කුණ්ඩලියේ කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික යනු 01-04-07-10 යන කේන්ද්‍රස්ථාන වන්නේය.
ඒවාගේම තුලාවට ගැනෙන ධර්මස්ථානය වන නමවැන්නද සුවිශේෂී ස්ථානයක් වන්නේය.

තවද දෙවැන්න වන මීනයත් එකළොස්වැන්න වන ධනුවත් ප්‍රබල සන්ධිස්ථාන දෙකකි.

ශ්‍රී ලංකාවට මීන ලග්න හිමියන් සුවිශේෂී පුද්ගලයින් බවද පෙනේ. මීනය හා ධනුද හිමි ගුරු ග්‍රහයා මැතිවරණ මෙහෙයවන අයුරු අපූරුවට ඉතිහාසය පෙන්වනු ඇත.

1956.5.22 සිට 1956.10.28 දක්වාද
1957.4.18 සිට 1957.06.19 දක්වාද

ගුරු සිංහ රාශියේ ගමන් කළේය. යුග පෙරළියක් සිදුකරමින් බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බලය ලැබීය. එවිට කුම්භ ලග්නයේ 7 වැන්න වන කේන්ද්‍රස්ථානයේ ගුරු ගෝචරය විය.

1960.01.22 සිට 1961.02.10 දක්වා

ගුරැ ග්‍රහයා ධනු රාශියේ ගමන් කළ අතර සිරිමා බණ්ඩාරනායක බලය ලැබූ මැතිවරණයක් ශ්‍රී ලංකාවට ලැබිණ. පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විය. ධනුව පාර්ලිමේන්තු නිවේදක මධ්‍යස්ථානයයි.

1965.03.21 සිට 1965.08.06 දක්වා

ගුරු ග්‍රහයා වෘෂභයේ සැරිසැරැවේය. එය කුම්භ ලග්න නිදහස් කේන්ද්‍රයේ 4 වැන්න වන කේන්ද්‍රමානයයි. ගුරුගේ කේන්ද්‍රගතවීම මත ශ්‍රී ලංකාට මැතිවරණයක් ලැබිණි. එ.ජා.ප.යෙන් ඩඩ්ලි සේනානායක මහතා ජය ලැබීය.

1969.11.12 සිට 1970.12.11 දක්වා

ගුරු ග්‍රහයා තුලා රාශියේ ගමන් කළේය. ශ්‍රී ලංකාවට මැතිවරණයක් දීමේ සුවිශේෂී ස්ථානයක් වන ත්‍රිකෝණස්ථානයක් වන්නේ එයයි. සමගි පෙරමුණකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙමින් සිරිමා මැතිනිය ජයගත්තේ 1970 මැයි මාසයේ පැවති මැතිවරණයෙනි.

1977.02.23 සිට 1977.07.18 දක්වා

ගුරු ග්‍රහයා වෘෂභයේ ගමන් කළේය. එය කේන්ද්‍ර ස්ථානයකි. තට්ටු මාරුව ක්‍රියාත්මක විය. ග්‍රහ බලය ශ්‍රී ලංකාවට මැතිවරණය දුන් අතර ජේ. ආර්. ජයවර්ධන එ.ජා.ප.ය ලබා ගත්තේය.

1988.01.21 සිට 1988.06.21 දක්වා

ගුරු ග්‍රහයා වෘෂභය වූ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයේ ගමන් කරමින් ආර්. ප්‍රේමදාස ජයගෙන එ.ජා.ප. බලය ඇල්ලීය.

1993.10.12 සිට 1994.11.11 දක්වා ගුරු ග්‍රහයා තුලාව වන ත්‍රිකෝණයේද 

1994.11.11 සිට 1995.12.07 දක්වා ගුරු ග්‍රහයා වෘෂ්චිකය වන කේන්ද්‍රස්ථානයද ගමන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ලබා දෙමින් චන්ද්‍රිකා මැතිනිය ජය ගත්තේ ග්‍රහ බලය විසින් නිර්මාණය කළ මැතිවරණයෙනි.

2000.06.05 සිට 2001.06.16 දක්වා ගුරු වෘෂභය වන කේන්ද්‍රස්ථානයේය. ශ්‍රී.ල.නි.ප. ජනාධිපතිනිය යටතේ එ.ජා.ප. නායක රනිල් අගමැති කළ මැතිවරණය ග්‍රහ බලය නිසා ඇතිවිය.

2005.09.28 සිට 2006.12.27 දක්වා

ගුරු ග්‍රහයා ත්‍රිකෝණය වන සුවිශේෂී ස්ථාන වන්නාවූ තුලා රාශියේ ගෝචරය වූයේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය අත්පත් කරගනිමින් මහින්ද රාජපක්ෂ මහතා ජයගත් මැතිවරණය ලබාදීමට ග්‍රහ බලය ක්‍රියා කළේය.

2009.05.01 සිට 2010 මැයි 02 දක්වා

ගුරු ග්‍රහයා කුම්භයේ ගමන් කළේය. 2010.01.26 වෙනි දින ශ්‍රී ලංකාවට මැතිවරණයක් ලබාදීමට ග්‍රහ බලය ක්‍රියා කළේ ගුරු ග්‍රහයා ශ්‍රී ලංකාවේ නිදහස් දින තත්කාල ලග්න කුණ්ඩලියේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන ලග්නයේ ගෝචරය වීම නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා ජයලැබීය.

2014.06.20 සිට 2015.07.13 දක්වා

ගුරු ග්‍රහයා කටකයේ ගමන් කළේය. එයද කුම්භ ලග්න නිදහස් කේන්ද්‍රයේ ධනු ලග්නයෙන් ත්‍රිකෝණස්ථානය වන කටකයේය. 2015.01.08 දින මැතිවරණයක් ග්‍රහ බලය මගින් ලබාදුන් අතර ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට නව අත්දැකීමක් දෙමින් ප්‍රධාන පක්ෂ දෙකම බලයට ගෙනෙමින් සම්මුතිවාදී ආණ්ඩුවක් බිහි කෙරුණි.

2017 වසර උදාව සමඟ ගුරු ග්‍රහයා දැනට ගෝචරය වන්නේ කන්‍යා රාශියේය. ග්‍රහ බලය විසින් ශ්‍රී ලංකාවට මැතිවරණයක් ගෙනදීමට සැප්තැම්බර් 12 දක්වා කටයුතු නොකරනවා ඇත.

එයින් අනතුරුව වුවද ගුරු ග්‍රහයා ගමන් කරනුයේ තුලා රාශියේය. ඒ 2017.09.12 සිට 2018.10.11 වෙනි දින දක්වාය.
ගුරු ග්‍රහයා 1970- 1994- 2005 යන වර්ෂවලදී තුලාවේ සැරිසැරැවේය. එවිට ශ්‍රී ලංකාව පාලනය කළේ ශ්‍රී.ල.නි.ප. පක්ෂයයි.

2017 දී ගුරු ග්‍රහයා තුලා රාශි ගතවන විට එ.ජා.ප.ය සහ ශ්‍රී.ල.නි.ප.ය එකතුවී සම්මුතිවාදී පාලනයක් ගෙනයයි. ඉතිහාසයේ ශ්‍රී ලංකා පක්ෂය, සමසමාජ පක්ෂය, කොමිනිස්ට් පක්ෂය ආදී වශයෙන් පක්ෂ රාශියක් ක්‍රියාත්මක වෙයි. නමුත් සියල්ල අභිබවා සිටින ප්‍රධාන පක්ෂ දෙක පමණක් රාජ්‍ය පාලනය ගෙන යන බව පෙනේ.

මේ අනුව සනාථ වෙන්නේ 2017දී ආණ්ඩු වෙනසක් නොසිදුවන බවකි. නමුත් ගුරු ග්‍රහයා කන්‍යා සහ තුලා රාශිවල ගමන් කරන කාලවලදී ප්‍රධාන පක්ෂ දෙකෙන් යම් යම් කොටස් කැඩී වෙන්වී යයි. වර්තමානයේදී ද ග්‍රහ බලය විසින් අපූරැවට එයද සිදුකර හමාරය. ලංකා කේන්ද්‍රයේ නමවැන්න අයත් තුලා ලග්න හිමියනුත් දෙවැන්න අයත් මීන ලග්න හිමියනුත් එකතුවී බත්මුනෙන් ඇත්මූණ බිඳි මින් උපායමාර්ග තුළින් බලය රඳවා ගනු ලබන ග්‍රහ බල න්‍යායක් පවතින බව පෙනේ.

ජ්‍යොතිෂ නන්දන 
විශ්වකීර්ති ජ්‍යොතිර් විද්‍යා පණ්ඩිත ශිරෝමනී
සාමවිනිසුරු
තලගහ, අක්මීමණ
සුරා ශ්‍රී ගුණවර්ධන