2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

මැණික් පුරේ සල්ලි මුරේ

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 555

සිංහල අවුරුද්ද එළඹීමත් සමඟම රත්නපුරේ ජනයා අතර කතාබහට ලක්වෙන මැණික් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ය. ඒ ඔවුන් සිංහල අවුරුද්දට සල්ලි බෙදන නිසාය. මේ නිසා සිංහල අවුරුද්දට දින දෙකකට තුනකට පෙර සිට මේ සල්ලි බෙදන ව්‍යාපාරිකයන්ගේ නිවෙස් ඉදිරිපිට දිගු පෝලිම්ය. බුදු දහමේ එන අතීත කතා වස්තූන්ගේ මහා ධනකුවේරයන් සිහි ගන්වමින් පාන්දර සිට සවස් වෙනතුරු සල්ලි බෙදුවද අවසන් නොවන පෝලිම් නිසා සමහර මැණික් ව්‍යාපාරිකයන් පසුදාත් ටික වෙලාවක් සල්ලි බෙදීම සිදු කරයි.

වසර කිහිපයකට පෙරදී මෙය ප‍්‍රදේශයට නැවුම් සිද්ධියක් වුවත් දැන් එය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. සල්ලි බෙදුවේ නැත්නම් එය පුදුමයකි. මේ නිසා පිටස්තර කෙනෙකුට එය අලුත් වූවාට රත්නපුර සහ අවට ප‍්‍රදේශවල ජනයාට සාමාන්‍ය දෙයකි. මේ ආකාරයට හැම ව්‍යාපාරිකයාම සිංහල අවුරුද්ද සල්ලි බෙදන්නේ නැත. එය කරන්නේ අති ධනවත් කිහිප දෙනෙක් පමණි. කාලයක් තිස්සේ මැණික් ලොවේ නම් දරා සිටින මැණික් ව්‍යාපාරිකයන්ද මේ සල්ලි බෙදීමේ කටයුත්ත නොකරයි.

මේ ආකාරයට බෙදන මුදල් ප‍්‍රමාණය කෝටිය, දෙක ඉක්මවයි. සමහරු රුපියල් පන්සියය, දහස, එක්දහස් පන්සියය, දෙදහස, දෙදහස් පන්සියය ආදී ගණනින් මෙසේ සල්ලි එක් එක් පුද්ගලයන් වෙත ප‍්‍රදානය කරමින් මේ සල්ලි බෙදීමේ පිංකම කරයි. මේ සල්ලි බෙදීම මගින් මැණික් ව්‍යාපාරිකයාගෙ ධනවත් බව, පෞරුෂය, සමාජ තත්ත්වය විදහා පායි. කලකට පෙර මැණික් ව්‍යාපාරිකයන්ගෙන් සිංහල අලුත් අවුරුදු සමයේ මෙවැනි දෙයක් බලාපොරොත්තු වුයේ මැණික් ක්ෂේත්‍රයට සම්බන්ධ වූවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ය.

මැණික් පතල්කරු හවුල්කරුවන්, හරි හවුල්කරුවන්, බලපත‍්‍රහිමියන්, පතල් මැනේජර්වරු, පතල් සඳහා දැව, කැකිල්ල ආදී අමුද්‍රව්‍ය සපයන්නන්, පතල් එංජින් ආදී යන්ත‍්‍ර සූත‍්‍ර අලුත්වැඩියා කරන කාර්මිකයන් ආදී පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය මැණික් ව්‍යාපාරිකයාගෙන් සිංහල අවුරුද්දට යමක් බලාපොරොත්තුවම සිටියහ. මැණික් ව්‍යාපාරිකයන්ද ඒ ආකාරයම ඒ අයගේ බලාපොරොත්තු ඉටු කළහ. සමහර මැණික් ව්‍යාපාරිකයන් සිංහල අවුරුද්දට මැණික් පතල්වල වැඩ නවත්වන දිනයේ තමන්ගේ මැණික් කර්මාන්තයට සහාය දක්වූ සියලූ දෙනා සන්තෝෂයට පත් කරමින් ඔවුන්ට තෑගි බෝග දී සතුටු කළහ.

නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. මේ සල්ලි බෙදන මැණික් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගන්න එන පිරිස් ඒ මැණික් මුදලාලි ඇහැටවත් දැක නැත. ඔහුගේ නිවස තියන තැනක්ද දන්නේවත් නැත. “අර අවුරුද්දට සල්ලි බෙදන ......... අහවල් මුදලාලිගෙ ගෙදරට යන්නේ කොහොමද?” කියා පාර දැන අසාගෙන යන පිරිස් බොහෝය.

සමහර පිරිස් අඹුදරුවන් සමඟ එන අඩු ආදායම්ලාභීන්ය. තව සමහරු නිකන් දෙන නිසා ගන්න එන පිරිස්ය. තව සමහරැ හැන්දෑවට ‘අඩියක්’ ගහන්න කීයක් හරි හොයාගන්න එන අයය. ඇති හැකි අය වගේම නැති බැරි අයත් මේ සල්ලි ගන්න පෝලිමේය. ඒ අතර මැණික් ව්‍යාපාරය ගැන අබමල් රේණුවක් හෝ නොදන්නා අයද වෙති. 
මහ රෝහලක සායන සිහිපත් කරමින් උදේ පාන්දර සිට පෝලිමට එන පිරිස් පැය ගණන් සියවාරය එනතුරු බලා සිටිති. පෝලිම කඩාපැන අතරමැදින් රිංගන මිනිස්සුද සිටිති. එවිට පිටුපස සිටින්නන් විරෝධය පළකරයි. කෙසේ නමුත් සමහර මැණික් ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගන්න එන පිරිස් පාලනය කරන්නට පොලීසියේ සහායද අවශ්‍ය වේ.

පවුල්පිටින් එන සමහරු පවුලේ සාමාජිකයන් තැනින් තැන යොදවන්නේ එක පවුල්කට දෙන මුදල සීමාකර ඇති බව දැන්වුවහොත්ය. අතදරුවන් සමඟ එන තරුණ වැඩිහිටි කාන්තාවන්, වයෝවෘද්ධ කාන්තාවන්, පිරිමින්, තරුණ කාන්තාවන් සහ පිරිමින් මෙන්ම, යෞවනයන්ද සල්ලි පෝලිම්වලදී දැකගත හැකිය. මේ සල්ලි ගන්න එන සමහරු තමන්ගේ නැති බැරිකම කියන්නට ද ලජ්ජාය. “මම මේ ජොලියට ආවේ. මේකත් මරු. දාහක් හම්බවුණත් ඉතින් නිකංනේ. ඒකයි ආවේ...” කියන්නේ ලජ්ජාව මකාගන්නටය.

මැණික් ව්‍යාපාරිකයන්ද මේ සල්ලි බෙදන්නෙ තරගයටය. මුලින් බෙදන ව්‍යාපාරිකයා කවුරුන්ද යන්න ගැන සල්ලි ගන්න බලාගෙන සිටින පිරිස් ඉන්නේ ඇහැගහගෙනය. සමහරු සල්ලි බෙදන දෙතුන් පොළටම යන්න සැලසුම් කරගෙන සිටිති. 

සල්ලි බෙදන ව්‍යාපාරිකයා ලොකු කාර්ය මණ්ඩලයක් ඒ සඳහා යොදවනු ලබයි. සල්ලිවලට අමතරව තේ පැන්, කෑම ආදී සංග‍්‍රහ ද පවත්වයි. ඒ නිසා මේ ව්‍යාපාරිකයන්ට ඊටද මුදල් වැයවෙයි. ඒ නිසා මේ අවුරුද්ද සල්ලි බෙදීම ලේසි නැත. සමහර පුද්ගලයන් අනුන් දෙන සල්ලි ගන්න ඇවිත් රණ්ඩු සරැවල්ද කර ගනිති. පෝලිමේ දෙතුන්පාර එන්නට තැත්කරන පුද්ගලයෝද නැතුවා නොවේ. පළමුවර පැමිණ ඇඳුම් වෙනස් කරගෙන දෙවන වරද පැමිණෙයි.ව්‍යාපාරිකයාගේ කාර්ය මණ්ඩලයේ අයට නොදැනෙන්නට එය කිරීම හරිම අපහසුය. නමුත් කරන අය නැතතේම නොවේ. දැන්නම් බොහෝ ස්ථානවල සීසීටීවී කැමරා ඇති නිසා එවැනි වංචා සහගත ක‍්‍රියාවල ඇති අවස්ථාව අඩුය.

මේ ව්‍යාපාරිකයන් මුදල් බෙදීම සද්භාවයෙන් කරද්දී තවත් පිරිසක් ඒ මුදල් කොල්ල කන්නේ අමුතු ආකාරයටය. සල්ලි බෙදන ව්‍යාපාරිකයන් ඉන්නේ අතලොස්සක් නිසා ඔවුන් කවුරුන්ද යන වග ප‍්‍රදේශයේ ඕනැම කෙනෙක් දනිති. සල්ලි බෙදන ස්ථානයට තරමක් දුරින් කොහේ හෝ තැනක මත්වතුර අලෙවිසැල්ද අටවා ගනිති. මේවා කරන්නේ අර සල්ලි බෙදන ව්‍යාපාරිකයන්ට නොදැනෙන්නටය. සමහර වෙලාවට ව්‍යාපාරිකයාට හොරෙන් ඔහුගේ ගෝල බාලයෝ ඊට වක‍්‍රව සහාය දෙති.

පැය ගණන් පෝලිමෙ සිට මුදල්  ලබාගත් පසු ඇතිවන මහන්සිය අකාමකා යන්නට ‘හීන් අඩියක්’ දමාගන්නට මේ මත්වතුර අලෙවිසැළට ගොඩවෙයි. අතේ සල්ලි නොතිබුණාට මුදලාලි දුන්න සල්ලි තියන නිසා ලෝභ නැතුව රහමෙර පානය කර පැය ගණන් පෝලිමේ ඉඳ ගත්ත මුදල වියදම් කර හිස් අතින් ගෙදර යයි. තව සමහරැ ඒ ගත් මුදල් නගරයේ තැබෑරුමට දී “කාලක්, බාගයක්” රැගෙන යති.

සැබැවින්ම සල්ලි බෙදන ව්‍යාපාරිකයන්ගේ අරමුණ එය නොවේ. ඒ දෙන මුදල රැගෙන පවුලේ අය සමඟ එක වේලක් හෝ කටට රහට කෑම කාවිය, යන අරමුණු ඇතිව මේ පිංකම කරති. නමුත් සැබෑවම මේ බෙදන මුදල් ප‍්‍රයෝජනවත්ද යන්න නැගෙන පැනයකි.

සිංහල අවුරුදු සමයේ මැණික් ව්‍යාපාරිකයන් තරම් අසීරුවට පත්වන වෙනත් පිරිසක් රත්නපුර අවට තවත් නැත. අවුරුදු උත්සව සංවිධායකයන්, සංගීත සංදර්ශන, සහ වෙනත් උත්සව ආදියට අනුග‍්‍රහයන් ලබාගන්නට එන පිරිස් නිසා අවුරුද්දට සතියකට පෙර සිටම ගේට්ටු වසා දමන්නට සමහර මැණික් ව්‍යාපාරිකයන්ට සිදුව තිබේ. සමහර මැණික් ව්‍යාපාරිකයන් සල්ලි බෙදන අතර එවැනි දේටද අනුග‍්‍රහයන් දක්වති. රුපියල් දහදාහේ සිට පහළට කරන අනුග‍්‍රහයන් වලටද ලක්‍ෂ ගණනක් වැය කරති.

කලකට පෙර දී සුලු මැණික් ව්‍යාපාරිකයන් නම් වූ ව්‍යාපාරික ප‍්‍රජාවක් සිටි නිසා ලොකු ලොකු මැණික් ව්‍යාපාරිකයන්ට යම් සහනයක් තිබුණි. නමුත් ලොකු ලොකු මැණික් ව්‍යාපාරිකයන් එක්ව සහ වෙන් වෙන්ව බැකෝ සහ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා මහ පොළොවේ සියලුම මැණික් සම්පත් සූරා කෑමෙන් අද වනවිට මේ කියන “සුළු මැණික් වෙළෙන්ඳන්” සමාජයෙන් තුරන්ව ගොසිනි. ඒ නිසා එහි විපාකද මේ කියන මහා පරිමාණ වෙළෙන්දන්ට විඳින්න සිදුව තිබේ.
සල්ලි තිබූ පලියට ප‍්‍රචාරයන් උදෙසා හෝ වෙනත් අරමණකින් හෝ මේ ආකාරයට ප‍්‍රයෝජනවත් නොවන අන්දමින් සල්ලි බෙදන ව්‍යාපාරිකයන්ට වඩා දැවැන්ත සමාජ මෙහෙවරයන් කරන මැණික් ව්‍යාපාරිකයෝද සිටිති. ඔවුන් සමහරවිට අප‍්‍රසිද්ධය. ඔවුන්ගේ ක‍්‍රියාවන්ද අප‍්‍රසිද්ධය. නිසි ආකාරයට අඩු ආදායම්ලාභී පාසල් දරුවන් තෝරාගෙන අවුරුද්දකට සෑහෙන පොත්පත් උපකරණ ද, අතිරේක පාසල් ඇඳුම් කට්ටලද, සපත්තු, පොත්පත් ආදියද බෙදා දෙති. ඒ නිසි නිර්ණායකයන් මත තෝරා ගැනීමෙනි.

තවත් සමහරු අඩුඅදායම්ලාභීන් පවුලක් දෙකක් තෝරාගෙන අංග සම්පූර්ණ නිවසක් තනා දෙති. පාසල් සහ විශ්වවිද්‍යාල දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙති. පාසල්වල අංගසම්පූර්ණ ගොඩනැගිලි ලබාදෙති. ගංවතුර, නායයාම් වැනි ස්වභාවික ආපදාවන් ගොදුරුවූවන්ට සහන සලසති. ඒවාද ප‍්‍රසිද්ධිය බලාගෙන නොවේය. මේ ආකාරය බලාගෙන යද්දී “මැණික්” වලට අගතැන්පත් යන අරුත ඇති “රත්නපුරේ” මැණික් වැඩ අපුරැය.     

♦ අජිත්ලාල් ශාන්තඋදය
ඡායාරෑප l අන්තර්ජාලයෙන්

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00