2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන මුහුදේ

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 205

ඉන්දියනු සාගර කලාපය කියන්නේ බොහොම සුන්දර මුහුදු කලාපයක්. එහි සුන්දරත්වය තවත් වැඩිවෙන්නේ එය පොහොසත් මුහුදු ජීවි කලාපයක් වීම නිසා කිව්වොත් තවත් නිවැරදියි. ලංකාව වට කරගෙන පිහිටලා තියෙන මේ මුහුදේ සුන්දරත්වය දැකබලා ගැනීමේ අලුත් අත්දැකීමක් ඉකුත් දා මිරිස්සේදී ආරම්භ වුණා. ඒ Sail Lanka Charter සේවාව හරහා හඳුන්වා දුන් Opal සංචාරක යාත්‍රාවයි.

OPAL යාත්‍රාවේ මංගල ගමන සිදුකෙරුණේ අප කිහිපදෙනකු රැගත් මාධ්‍ය චාරිකාවකිනුයි. මිරිස්ස ධීවර වරායෙන් යාත්‍රාව හෙමින් හෙමින් දියඹට දියත් කරනවිටම අප සමඟ හුන් බෙල්ජියානු ජාතික කපිතාන්වරයා යාත්‍රාව ගැනත් Sail Lanka Charter සේවාව ගැනත් විස්තර ඉදිරිපත් කළා. 

OPAL යාත්‍රාව අති නවීන පහසුකම් එක්කෙරුණු සංචාරක නාවික යාත්‍රාවක්. එහි මුළුතැන්ගෙයක්, නිදන කාමර, නානකාමර දෙකක් වගේ නවීන පහසුකම් තිබෙනවා. පුංචියට පෙනුණත් මෙය මහල් තුනක නාවික යාත්‍රාවක්. බෙල්ජියානු කපිතාන්වරයා හැරුණුවිට මෙහි සේවය කරන සියලු දෙනා ලාංකිකයන්. කපිතාන්වරයාගේ උපදෙස් අනුව හරි හරියට සුක්කානම මෙහෙයෙව්වෙත් අවුරුදු විසිපහක විතර තරුණයෙක්. කුඩා ප්‍රමාණයේ ශරීරයක් තිබුණත් කඩියකු මෙන් යුහුසුළුව ඔහු තමන්ගේ රාජකාරි අකුරටම ඉටුකළා. කාර්ය මණ්ඩලයේ අනිත් සියලුදෙනාගෙනුත් දකින්න ලැබුණේ බොහොම සුහදශීලී ඇවැතුම් පැවැතුම්.

පැයක ගමනකින් පසු අපි කුඩා දූපතක් අසලට ඇවිත් නැංගුරම් දැම්මා. ඡායාරූප මාධ්‍යවේදී ලලිත් පමණක් අනිත් සියලු දෙනා බලාසිටියදී මුහුදට බැස්සෙ ගමනේ උපරිම තෘප්තිය ලබාගනිමින්. ඒ අතරේදීම දිවා ආහාරයත් පිරිනැමුණා. දේශීය ආරයට ලබාදීපු ආහාරත් පංකාදුයි.  තවත් මිනිත්තු කිහිපයක් එහි රැඳී සිටි අපි නැවත ගොඩබිම බලා පිටත් වුණේ හැන්දෑවේ හිරු බැහැගෙන යන්න පටන් ගනිද්දියි. 

OPAL මගින් සාගරය හා බැඳුණු අත්දැකීම් රාශියක් සමීප කෙරෙනවා. ඩොල්පින් හා තල්මසුන් නැරඹීම, හිරු බැස යාම නැරඹීම, දිය යට කිමිදීම වගේ අත්දැකීම් රැසකුත් දින 3ත් 6ත් අතර ගමනකින් දකුණේ සිට උතුරට මුහුදු ගමන් පවා ඔවුන් සපයනවා. සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජුනි 30 වෙනකන් සියයට 20ක වට්ටමකුත් ඔවුන්ගෙන් ලැබෙනවා. 

- රජිත
- සේයා රු - කුෂාන් පතිරාජ (ඩේලි මිරර්)

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00