2021 මාර්තු 06 වන සෙනසුරාදා

පශ්චාත් මරණාධාර සමිතිය

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 966

මරණාධාර සමිතිය යනු, සිරි ලංකාවේ මිනිසුන්ගේ ගුණ යහපත්කම හා මනුස්සකම විදහා දක්වන වැදගත් සංවිධානයකි. ශෝකයට පත් පවුලක් වෙනුවෙන් ඉදිරිපත්ව ඔවුන්ගේ ඥාතියකුගේ අවසන් කටයුතු සඳහා උපකාර කිරීම (විවිධ භාණ්ඩ සැපයීම, සහභාගීත්වය හා මුල්‍යාධාර ලබාදීම වැනි) මෙම සමිතිවල ප්‍රධාන කටයුත්තයි. 

මෙම සමිතිවලට විවිධාකාර නම් යොදා ඇත. එක්සත් සුහද මරණාධාර සමිතිය යනු එබඳු එක් නමකි. ගමක ඇති එක්සත්කමත්, සුහද බවත් ඉන් කියැවෙයි. ගමේ නම මුලට යෙදීමද මෙම සමිතිවල සිරිතකි ඒ අනුව මාරවිල මරණාධාර සමිතිය මෙන්ම ජයසිරිපුර මරණාධාර සමිතිය වැනි නම්ද දක්නට ලැබෙයි. 

මාසිකව හෝ රුස්වන මරණාධාර සමිතිය රුස්වීම් වාරයකින් පසුව, පෞද්ගලික මට්ටමින් සුහද හමුවක් පැවැත්වීමද සම්ප්‍රදායක් බවට පත්ව තිබේ. සමිතියේදී අවදිවන මරණ බය දුරුකර ගැනීමේ අටියෙන්, මෙම සම්ප්‍රදාය ඇරුඹුණා විය හැකිය. 
සිරිලංකාවේ, පිරිත් පිංකම්, ධර්ම දේශනා ආදිය අවසානයේද, මෙබඳු පෞද්ගලික සුහද හමු අප්‍රසිද්ධියේ හෝ පැවැත්වෙන බව රහසක් නොවේ. ඒ අනුව බලන කළ, මරණාධාර සමිතියක එබඳු මධු සාදයක් පැවැත්වීමට සාධාරණ අයිතියක් ඇතැයි තර්ක කළ හැකිය. 

නූතන ජන ප්‍රවාදයක එන අන්දමට, එක්තරා ප්‍රදේශයක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, වසර අවසානයේදී සිය ඥාති මිත්‍රාදීන් හා අසල්වැසියන් කැඳවා, ධර්ම කථිකයාණවහන්සේ නමක් ලවා, සුමධුර ධර්ම දේශනවක් පැවැත්වීම සිරිතක් ලෙස කරගෙන ගියේය. 
එබඳු දම් දෙසුමකට වැඩම කළ, හිමිනමක් ව්‍යාපාරිකයාගේ ඇවතුම් පැවතුම් ගැන හොඳින් දැන සිටියේය. දම් දෙසුම අවසානයේ, පූජා භාණ්ඩ පිරිනැමු පසු උන්වහන්සේ තම මිත්‍ර ව්‍යාපාරිකයාගෙන් මෙසේ විමසූහ. 

මහත්මයා, යාළුවන්ට දෙන්න පූජා භාණ්ඩ කීයක් විතර ගෙනාවද? ව්‍යාපාරිකයාගේ මුහුණ රතු විය.

ඉහත කී පශ්චාත් මරණාධාර සමිති සුහද හමුවලදී, රසවත් කයි කතන්දරද අසන්නට ලැබේ. කලක් පාසල් ක්‍රිකට් විනිසුරුවරයකු වශයෙන්ද කටයුතු කළ පෙරේරා මහතාගේ නිවසේ පැවැති එබඳු හමුවකදි, ඔහු විසින් පවසන ලද කතාවකි වේ.

දිව්‍ය ලෝකයේ මරණාධාර සමිති නැත. ඒ වෙනුවට ඇත්තේ  චුත වීමේ (සමුගැනීමේ) සාදයන්ය. එක් එක් රටවලින් පැමිණි දෙවිවරු සුභසාධක සංගම් පවත්වාගෙන යාමේ සිරිතක් නම් ඇත. එබඳු එක් අන්තර්ජාතික සංගමයක් රුස්වූ අවස්ථාවේ දේව විනෝදය සඳහා ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවා ගැනීමට යෝජනා විය. ඒ ඇසූ සභාපති දෙවියා, මෙසේ කීය.

ඒක අපිට පහසුවෙන්ම කරන්න පුළුවන්. ලෝකේ හිටපු හොඳම ක්‍රීකට් ක්‍රීඩකයෝ වැඩි දෙනෙක් ඉන්නෙ මෙහෙනෙ.

එහෙමනම්, සංචිතයක් දාලා, හොඳම අය තෝරගෙන ටීම් එකක් හදමු. ක්‍රිකට් ලෝලී දෙවියෙක් කීය.

ක්‍රිකට් ටීම් එක බලාගන්ඩ, ක්‍රිකට් බෝඩ් එකකුත් පත්කරමු. අත්දැකීම් ඇති අය මෙහෙ ඇතිනේ. තවත් දෙවියෙක් යෝජනාවක් ගෙන ආවේය. 

එක නං ලේසි වෙන එකක් නෑ. ක්‍රිකට් බෝඩ්වල හිටපු කිසිකෙනෙක් මෙහෙ ආවේ නෑ. සේරම අපායේ.

ඉන්පසුව, පාලන මණ්ඩලයකින් තොරව, ක්‍රිකට් කණ්ඩායමක් පමණක් පිහිටුවීමට තීරණය කෙරුණි. (නිකරුණේ අපාගත වීමට කිසිදු දෙවියෙක් කැමති නොවීය) වර්තමාන යමරජු පවා, මැච් ෆික්සින් වලට සම්බන්ධව සිටි කෙනෙකු බව, සභාපති දෙවියෝ කියා සිටියහ.
අන්තර්ජාලයේ දැක්වෙන විශ්වාස කටයුතු ආරංචිවල හැටියට, අපායේ ද ජනප්‍රිය ක්‍රිකට් කණ්ඩායමක් දෙකක් ඇත. ඉන් එක කණ්ඩායමක් නියොජනය කරන්නේ නීතීඥවරුය. අනෙක හොර අවුට් සහ නෝ-බෝල් අම්පයර්ලාය. එම කණ්ඩායමේ  නායකයා ඔස්ට්‍රේලියානු ජාතික ඩැරල් හෙයාර්ය. මරණාධාර සමිතිය හරහා, දෙව්ලොවටත් නරකාදියටත් ගිය නමුදු, එය කසකාරයා කරගනිමින් මට අවශ්‍ය වූයේ, ඊට වඩා වැදගත් දෙයක් කීමටය.

තම නිවසේ පැවති පශ්චාත් මරණධාර සුහද හමුවකදී, පෙරේරා මහතා මෙසේ කීවේය.

දැන් ජීවත්වීම හරි අමාරුයි. මම රස්සාවට ගිය මුල් කාලේ රුපියල් සීයක් සාක්කුවේ දාගෙන පොළට ගියාම දාහක බඩු ගේනවා. දැන් දාහක් සාක්කුවේ දාගෙන ගියාම, ගෙදර ගේන්නෙ සීයක බඩු.

ඕකට කියන්නෙ උද්ධමනය හිටපු ආදායම් බදු නිලධාරියකු වූ අබේකෝන් මහතා කීය.

ඒ මොහොතේ, මුළුතැන්ගෙයි සිටි පෙරේරා මහත්මියද සාලය දෙසට පැමිණියාය.

උද්ධමනය නෙවෙයි ඕකට කියන්නෙ බේබදුකම. දාහක් අරන් ගිහින්, නවසීයක බීලා සීයක බඩු අරන් එනවා. 

ඉන්පසු, සභා තොමෝ සතුටින් විසිර ගියාය.

කපිල කුමාර කාලිංග