2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

මිනිසත් බව ඉතිරෙන පොතක් - කේ.එම්.අයි. ස්වර්ණසිංහගේ ඉන්දුමතී

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

ප්‍රකට කවියෙකු හා ගත්කතුවරයෙකු වන කේ.එම්.අයි. ස්වර්ණසිංහගේ දෙවැනි කෙටිකතා සංග්‍රහය වන ඉන්දුමතී කරුණු කිහිපයක් නිසා අපගේ අවධානයට ලක්විය යුතු කෘතියකි.

මූලිකවම ඔහුගේ බොහෝ කාව්‍ය නිර්මාණ රූප භාවිතයට ප්‍රමුඛස්ථානයක් ලබා දුන්නද, ඔහු මෙම කෙටිකතා නිර්මාණයේදී බහුලව උපමා භාවිත කරයි. පරිසර වර්ණනාත්මක පක්ෂයට නැඹුරු වෙයි. ඒවා මෙම කෙටිකතාවල අනර්තගතය විසින්ම මතුකරනු ලබන අනන්‍යතාවක් බව පෙනේ.

දෙවැනි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ, මෙම සියලු කෙටිකතා පාදක කරගන්නේ රජරට වියළි කලාපීය පරිසරය වීමයි. ඉන්දුමතී හි සඳුන්, දැන් අගනුවර ආසන්නයේ ජීවත්වන ප්‍රකට ලේඛකයකු වුවත් ඔහුගේ ළමා විය සහ යොවුන් විය ගෙවෙන්නේ රජරට, දරිද්‍රතාවයෙන් පිරි සමාජ ආර්ථික වාතාවරණයකය. කේන්ද්‍රීය පුවතට අදාළ බිඳුණු ආදර වෘතාන්තය ගොඩනැගෙන්නේ මෙම පසුබිම තුළය. අනෙක් කෙටිකතා තුනේම කේන්ද්‍රීය සිදුවීම් ගොඩනගා ඇත්තේ රජරට ගොවි ජනතාව මුහුණ දෙන අපමණ දුක්ඛ දෝමනස්සයන් සහ අපේක්ෂාවන් පාදක කරගෙනය.

තෙවැනි ලක්ෂණය ලෙස මා දකින්නේ සියලු මිනිසුන් කෙරෙහි කතුවරයා දක්වන මානව හිතවාදයයි. ඉන්දුමතිය හා සඳුන් යොවුන් වියේදී තමා අපේක්ෂා කළ ආදරයෙන් පරාජිත වන්නේ, ඉන්දුමතී වෙනත් තරුණයකු හා ප්‍රේමයෙන් වෙලී සරණ බන්ධනයට පත්වීම නිසාය. එහෙත් තමා වෙනත් තරුණියක හා පවුල් ජීවිතයක් අරඹා තිබුණද සඳුන්ගේ හදවතේ සිය ප්‍රථම ප්‍රේමයේ ඈ රුඳී සිටී. ඇයගේ යුග දිවිය දෙදරා ඇය අසරණභාවයට පත්වූ බව දැනගන්නා සඳුන් විවිධ වධබන්ධන මැද වුව ඇයට රුකවරණය හා ආදරය ලබාදීමට පෙළඹෙන්නේ ඔහු තුළ වන මානවවාදී හැඟීම් නිසාය. සරල සේ පෙනුණ ද එහි යටිපෙළෙන් දිවෙන ඉතා සියුම් වූ ජීවන අරුත බොහෝ ප්‍රබලය. මහවැලි ඉඩම් කෙටිකතාවේදී ගොවි ජනතාව තෙල්දෙණියේ සිට රජරට ඉඩම් ලැබ නික්ම ගියද ඔවුන් එහිදී ජීවිතයේ බොහෝ පීඩාවන්ට ලක්වූ ආකාරය රචකයා දක්වන්නේ ප්‍රබල මානව හිතවාදී දෘෂ්ටියකිනි. මිරිස් හි රජරට ගොවි ජනතාව මහත් අපේක්ෂා දල්වාගෙන ක්‍රියා කළද ඔවුන්ට මුදලාලිලාගේ සූරාකෑමෙන් ගැලවීමක් නැත. මේ ගොවි ජනතාවගේ ජීවන අරගලය සටන් පාඨවලින් පිරවිය හැකි වුවත් රචකයා ඒ වෙනුවට තෝරා ගන්නේද මානවවාදයයි. දේවතා ප්‍රශ්නය කෙටිකතාවේදී රජරට හේන් ගොවියා මුහුණ දෙන පාරිසරික ගැටලු හා එයින් ලබන මහත් පීඩාව විශේෂයෙන් වල් අලි තර්ජනය විෂය කරගත්තද ඔවුන් වල් අලියා කෙරේ දක්වන්නේද ග්‍රාමීය බෞද්ධ සංස්කෘතියෙන් හික්මවනු ලැබූ මානව හිතවාදී ආකල්පයක් වීම විශේෂත්වයකි.

දෘෂ්ටිවාදීව කොතෙක් මානවවාදි වුවත් කතුවරයා තම ආකල්පය ප්‍රකාශ කරනු සඳහා සංවාද හෝ ඍජු කථනයන් සටන් පාඨ ලෙස ඉදිරිපත් නොකිරීමට ප්‍රවේශම්ව ඇත. ඒ වෙනුවට ප්‍රවේශමෙන් තෝරාගත් සිද්ධි සියුම් ලෙස යොදාගැනීමත් ඊට පරිසරයෙන් අනුබල ලබා ගැනීමත් මැනවින් සිදුකරයි. එහිලා කතුවරයා, කතා සන්දර්භය ගොඩනැගීමේදී හා භාෂාව පරිහරණයේදී දක්වා ඇති පරිණතභාවය සියලු කෙටිකතාවලින් මනාව විද්‍යමාන වේ.
මෙම කෙටිකතාවලින් ප්‍රකට කෙරෙන තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ, කතුවරයා විකසිත කරන අතීතකාමී භාවයයි. මහවැලි ඉඩම් මිරිස් හා දේවතා ප්‍රශ්නය යන කෙටිකතා මඟින් වියළි කලාපීය ජන ජීවිතයේ සරල භාවයද එහෙත් ඔවුන් මුහුණ දෙන ගැටලුවල සංකීර්ණභාවයද ඒ හා බැඳුණු මානව සම්බන්ධතා මුහුණ දෙන සංකීර්ණ සුඛ දුක්ඛ වේදනාවන්ද අතීත කාමය හා බැඳී පවතී. පළාත්බද විශේෂතා මතුකළද අවසානයේදී ඒවා ඉක්මවා මනුෂ්‍යත්වය පිළිබඳ පොදු හැඟීම් ජනනය කරන්නේ අතීතකාමී නැඹුරුවකිනි.

මෙහි ඇතුළත් සියලු කෙටිකතා ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයකින් රචනා කර තිබීම අනෙක් කැපී පෙනෙන ලක්ෂණයයි. අනෙක් සියලු කෙටිකතා සඳහා එය සාධාරණ වුවත්, ඉන්දුමතී හි අන්තර්ගතය සමඟ එය සුසංයෝගී නොවූ බව මගේ විශ්වාසයයි. එහි කතා සංදර්භය අනුව මුළු සිදුවීම් මාලාව, කතානායක සඳුන්ගේ මතකානුසාරයෙන් විදාරණය කර ඇති බැවිනි. එහෙත් එය කැපී නොපෙනෙන්නේ කතුවරයාගේ විශිෂ්ට භාෂාමය භාවිතාවෙන් රසිකයා වශී වීමෙනි.

මෙම කෙටිකතා සංග්‍රහයේ ඒ දේවතා ප්‍රශ්නය ආඛ්‍යාන රීතිය අතින් මෙන්ම භාෂාමය නිපුණතා අතින් අන් සියලු කෙටිකතා ඉක්මවයි. මෙහි ඇතුළත් සියලු කෙටිකතා යථාර්ථවාදී රීතිය පාදක කරගෙන ඇතිමුත් දේවතා ප්‍රශ්නය රසිකයා වඩාත් පරිකල්පනයට යොමුකරන සුළුය. රජරට හේන් ගොවියකු වන සීරාල, එහි පරිසරය සමඟ කරන අරගලය එහි තේමාව වේ. වල් අලියා ගැමියාට තර්ජනයක් වුවත්, සීරාල එම ප්‍රශ්නය හමුවේ හැසිරෙන්නේ සතා සීපාවාටද තමාට සේම ජීවත්වීමට අයිතියක් ඇති බව පිළිගනිමිනි. එහෙත් ගැමි සාරධර්මද විපරිණාමයට පත්වේ.

ඉන්දුමතීහි ප්‍රකට කරන භාවමය ප්‍රකාශන ශක්තිය හා සෙසු කෙටිකතාවල භාවිත වන සුගම ජනවහර ආශ්‍රිත භාෂා රීතිය එකිනෙකට වෙනස් වුවත් එය කතුවරයාගේ භාෂා නෛපුණ්‍යයේම ප්‍රතිඵලයක් ලෙස සඳහන් කළ මනාය. මෙම සියලු කෙටිකතා ගැඹුරින් දිවෙන මානව බැඳීම්, ඒවා මුහුණදෙන ගැටලු මෙන්ම එහිදී කෙරෙන හෘද සංවාදය මගින් ඉතා සියුම් ලෙස ජීවිත යථාර්ථය මතුකරන ආකාරය ඉතා අගනේය. පොදුවේ ගත් විට පාඨක හා විචාරක අවධානය යොමුවිය යුතු ප්‍රශ්ස්ත කෘතියක් ලෙස ඉන්දුමති හඳුන්වා දීම සාධාරණය.

මෙම කෘතිය සුරස ප්‍රකාශනයකි.
සුගත් වටගෙදර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00