2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

VIP සහ LIP

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 216

ජර්මනියේ චාන්සලර් ධූරය හොබවන ඇන්ජිලා මර්කල්, එක් කලෙක ලෝකයේ බලවත්ම ගැහැනිය ලෙස හැඳින්වුණි. 2016 දී ඇය, නිදහස් ලෝකයේ නායිකාව යනුවෙන් ද ගෞරවයට පාත්‍ර වූවාය.

ජර්මනියේ විපක්ෂ නායිකාව මෙන්ම පරිසර හා න්‍යෂ්ටික ආරක්ෂක ඇමැතිනිය (වෙනත් ඇමැති ධූරයන්ද දරා ඇත.) ලෙස ද කටයුතු කළ ඇන්ජිලා, එරට ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ දේශපාලන චරිතයකි.

ඇය සමඟ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී, මාධ්‍යවේදියෙක් ඇයගෙන් අමුතු ප්‍රශ්න කිහිපයක් ඇසුවේය.

ඔබ නිතරම එකම ඇඳුම අඳින්නෙ මොකද? වැඩිපුර ඇඳුම් නැද්ද?

මම රජයේ සේවකයෙක් මිස, නිරෑපිකාවක් නෙවෙයිනෙ.

ගෙදර වැඩ කෙරෙන්නෙ කොහොමද? ඔබට ගෘහ සේවිකාවක් සිටිනවාද?

නෑ. මට ගෘහ සේවිකාවෝ ඕන කරන්නෙත් නෑ. මායි, මගෙ මහත්තයයි තමයි, ගෙදර වැඩකාර ගන්නෙ.

ඔබගේත්, සැමියාගේත් රෙදි සෝදන්නෙ කවුද?

මම සේදිය යුතු ඇඳුම් තෝරල දුන්නම, මහත්තයා වොෂින් මෙෂින් එකේ හෝදල දෙනවා. සාමාන්‍යයෙන් අපි ඒක කරන්නෙ රූට. මොකද, රාත්‍රියට විදුලි බලය ලබාගැනීම හැම අතින්ම හොඳ නිසා.. අනික, අපේ මහල් නිවාසෙ අසල්වැසියන්ට කරදරයක් නොවන විදිහට ඒක කරන්නත් ඕනෙ නිසා.

මාධ්‍ය සාකච්ඡාව අවසානයේ, චාන්සලර්වරිය සිනාමුසුව මෙසේ කීවාය.

මම හිතුවෙ, ඔබ අපේ රජයේ වැඩපිළිවෙළවල් ගැන අහයි කියලා. ඒවායෙ සාර්ථක අසාර්ථකභාවය ගැන.

යුරෝපයේ ධනවත්ම රාජ්‍යයක් වන, ජර්මනියේ චාන්සලර් ධූරයට (අග්‍රාමාත්‍ය) පත්වීමට පෙර සිටම, ඇන්ජිලා ජීවත් වූයේ එම මහල් නිවාසයෙහිමය. ගෘහ සේවකයන්, ගෘහ උද්‍යාන, පිහිනුම් තටාක ආදිය ඇයට හිමි නොවීය.     (අන්තර්ජාලය ආශ්‍රයෙනි.)

දියුණු, ධනවත් රටවල අගමැතිවරු, ජනපතිවරු, මැති ඇමැතිවරු සාමාන්‍ය මෝටර් රථයකින්, පා පැදියකින්, දුම්රියෙන් එසේත් නැතිනම් කුලී රියකින්, වැඩට යනු, අපි මාධ්‍ය මගින් දැක ඇත්තෙමු. අගමැති හෝ ජනපති ද, මහජන සේවකයෙකි. ජනතාවගේ මුදලින් වැටුප් ලබන, තවත් රජයේ නිලධාරියෙකි. ඔහුට හෝ ඇයට මහජනතාවගේ බදු මුදල් හිතු මනාපේ වැය කරමින්ද, රාජ මන්දිරවල රාජ භෝජන වළඳමින්ද, රාජකීය, මහේශාඛ්‍ය ජීවිත ගත කිරීමට අයිතියක් නැත. දියුණු රටවල, දියුණු මිනිස්සු, ඒ වැරදි වැඩවලට ඉඩ දෙන්නේ ද නැත.

නොදියුණු රටවල මිනිස්සු, ඒ නමට කැමති නැති නිසා (හීනමානය), සංවර්ධනය වන රටවල් යනුවෙන් තමන් හඳුන්වා ගනිති. එහෙත් සංවර්ධනය වන්නේ කවුරුන්දැයි දන්නෝ දනිති.

මහජන සේවය සඳහා, පාර්ලිමේන්තුවට යන සංවර්ධනය වන රටවල මැති ඇමැතිවරු, ටික දිනකින්ම යාන වාහන ගනිති. මාලිගා වැනි මන්දිර තනති. මිලදී හෝ තෑගි වශයෙන් හෝ ගනිති. ඉඩකඩම් හෝ රක්ෂිත වනාන්තර හෝ තමන් සතු කර ගනිති. තම දූ දරුවන් හෝ නෑදෑ හිතවතුන් රුකියාවන්ට හෝ අධ්‍යාපනයට රට යවති. ජනතාව බලා සිටියදී, මෙම ඌන සංවර්ධිත මැති ඇමැතිවරුන්ගේ ජාතික චින්තනය දියාරු වී, නැති භංග වී ගොස්, අවසානයේ, බ_නායි චින්තනයක් බවට පෙරළෙයි. 

කාලයාගේ ඇවෑමෙන් වැඩි කාලයක් අවශ්‍ය ද නොවේ. මෙම දෙකයි පනහේ උදවිය, මහා ධනස්කන්ධයක් හිමි, විශේෂ වරප්‍රසාදිත ජන කොට්ඨාසයක් බවට පත් වෙති.

අමෙරිකාවේ ජනප්‍රිය ජනාධිපතිවරයකුව සිටි ජෝන්. එෆ්. කෙනඩිගේ පියා, තම පුත්‍රයා දේශපාලන මාවතට පිවිසෙන්නට තීරණය කර ඇති බව දැන, ඔහුගෙන් මෙසේ ඇසීය.

ජෝන්, අමෙරිකාවේ ජනාධිපති වෙන්න නම් ඔබ, කාරණා තුනක් සපුරා ගත යුතු බව දන්නවාද?

නෑ. ඒ මොනවද?

ජෝන් ඇසීය. පියා මෙසේ කීය.

එක, මුදල්

දෙක, මුදල්

තුන, මුදල්

අමෙරිකාවට නොව, මුළු මහත් ලෝකයටම දැන් මේ කතාව සාධාරණය. සිරි ලංකාව වැනි රටක, පාර්ලිමේන්තුවට නොව පළාත් සභාවකට රිංගීමට පවා මුදල් අවශ්‍යය. ජනතාවගෙන් බලය පැහැර ගැනීමට අවශ්‍ය ප්‍රධානම සුදුසුකම, මුදල්ය.

දේශපාලනය යනු, මුදල් විසිකොට, මුදල් උපයන සූදුවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ.

සිරි ලංකාවේ සිටියා නම්, අලි බබා සහ හොරු හතළිහද, වී.අයි.පී (VIP) ලාය. සංවර්ධනය වන රටවල සිටින නමගිය අයි.ආර්.සී. (I.R.C.) කාරයන්ට පවා, මුදල් විසි කළ හැකි නම් VIP ලා විය හැකිය.

VIP යන ඉංග්‍රීසි අකුරු තුනේ තේරුම, Very Important Person (ඉතා වැදගත් පුද්ගලයෙකි) යන්නය. එබඳු පුද්ගලයන්ගේ වාහනවල, එම අකුරු තුන ප්‍රදර්ශනය කෙරේ. මෙම කණ්ඩායම දේශපාලනඥයන් පමණක් නොව වෛද්‍යවරු, නීතිඥවරු ද රිංගා ගන්නේ, තම තම වෘත්තීය ලාංඡන රථවල ඉදිරිපස, පසුපස ප්‍රදර්ශනය කිරීමෙනි. එහෙයින් ඔවුන්, විශේෂ වරප්‍රසාද ඉල්ලන V.I.P විශේෂයක් ලෙස ද දැකිය හැකිය. මේ දෙවර්ගයම පොදු නමකින්ද හැඳින්විය හැකි යැයි යෝජනා කර සිටිමි. එනම්, M.M.Y.P.ය. එහි තේරුම මහජන මුදලින් යැපෙන පුද්ගලයා යනුය.

මේ කාලයේ, සිරි ලංකාවේ V.I.P ලාටද උඩින් සිටින කට්ටියක් සිටී. ඒ, P.H.I. ලාය.

මහජනතාව වන අප LIP ලාය. එනම් Less Important Persons නොහොත්, වැදගැම්මකට නැති එවුන්ය. LIP ලා නැත්නම්, VIP ලාද නැත. ඒ බව නොදන්නා නිසා, මහජනතාවට වඩාත් ගැලපෙන්නේ, M.P.H. ලාය. (ඒ අකුරුවල තේරුම, ඔබට කැමති පරිදි වටහා ගැනීමට ඉඩ තබමි.)

කපිල කුමාර කාලිංග

 

 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00