2021 ජනවාරි 23 වන සෙනසුරාදා

නෙළනු බැරි පොකුරු

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

මල් පොකුරු පොකුරු

ඇය එන මග ඈ වෙතටම නැමීයන්

- ආචාර්ය වික්ටර් රත්නායක

- සංගීතය: ස්ටැන්ලි පීරිස්

පොකුරු පොකුරු මල් සැණකෙළි 

ඔමරි ලතාවයි

- ලතා වල්පොල

- සංගීතය: ප්‍රේමසිරි කේමදාස

පොකුරු යෙදුම සහිත ඉහත ගී දෙකම මෙරට සංගීත රසිකයන් අතර ඉතා ජනප්‍රියය. මේ ගීත රචනා කළේ අජන්තා රණසිංහයන්ය. පොකුරු වදන සහිත තවත් ගී හා කව් බොහෝය.

පොකුර යන්නෙහි අරුත සමූහය හෝ රාශියයි. එහෙත් යෙදෙන තැනේ හැටියට වෙනත් අරුත් දෙන අවස්ථාද අපේ සිංහලයේ ඇත. නිදසුනක් වශයෙන් පොකුරු බොරුව යනු බොරු රැසය. අද අපේ රටට සමාජයට පොකුරු බොරු කාරයන්ගෙන් අඩුපාඩුවක් නැත. පොකුරු වැස්ස යන යෙදුම තද වැස්සට සේම මඳ වැස්සටද යෙදේ. ඇත් සොඬ අගින් විසිරී යන දිය බිඳු කාව්‍ය සාහිත්‍යයේදී හැඳින්වෙන්නේ පොකුරු පොද යන අලංකාර යෙදුමෙනි.

එහෙත් මෑතක සිට පොකුර යන වදන භාවිත වන්නේ ඇසූවන් බියගන්වන අයුරිනි. කොරෝනා වසංගතයේ පැතිරීයාමත් සමඟම කොරෝනා පොකුරු නමින් යෙදුමක් නිර්මාණය වුණි. ඒ තැන තැන මතු වූ කොරෝනා රෝගී කණ්ඩායම් හැඳින්වීමටය. බ්‍රුන්ඩික්ස් පොකුර, නේවි පොකුර, පෑලියගොඩ හා අටුළුගම පොකුර යනාදී වශයෙන් පොකුරු බිහිවන්නට වූයේද එතැන් සිටය. ඊයේ පෙරේදා අසන්නට ලැබුණු අලුත්ම පොකුර දියවන්නා පොකුරයි.

ඒ පිළිබඳව ජනතාව ප්‍රතිචාර දක්වන්නට වූයේ, එය කල්තියාම බලාපොරොත්තුවෙන් සිටි පොකුරක් ලෙසිනි. යම් හෙයකින් දියවන්නා කොරෝනා ආසාදිතයන්ට ඒ ප්‍රතිචාර ගැන දැනගන්නට ලැබුණේ නම් ඔවුන් සිරිලංකාව අතහැර යුක්රේනයට හෝ යනවාට සැක නැත.

සිරිලංකාවේ සිටින්නේ කෙළෙහිගුණ නොදන්නා සිත් පිත් නැති ජාතියකි. පාස්කු ප්‍රහාරයෙන් පසුද ඔවුන් දියවන්නාවේ උදවිය ගැන කියුවේ, අද කියන ජාතියේම කතාය. එහෙත් ඒ කතා ඔවුන්ට අමතක වූයේ කොච්චිකඩේ පල්ලිය ප්‍රතිසංස්කරණයටත් පෙරමය.

උදේ හවා පිරිත් අසන, බණ අසන ජාතියක්, තවකෙකුට රෝග පීඩාවක්, විපතක් වූ කළ සතුටුවීම නම් කිසිසේත් අනුමත කළ නොහැකි අශිෂ්ට ක්‍රියාවකි. ආරක්ෂක පවුරු වළලු, දිය අගල්, මුරකාවල් සියල්ල නොතකා කෝවිඩ් සතුරා දියවන්නාවට රිංගා ගැනීම ගැන මා තුළ නම් ඇතිවූයේ බලවත් කම්පාවකි. දියවන්නාවෙහි සිටින්නේ රට ජාතියට හෝ තම තමන්ගේ උදවියට හෝ සේවාවක් කිරීමට ගිය පරාර්ථකාමී මානව හිතවාදී පිරිසකි.

මේ දිවයින සෞභාග්‍යයට හෝ අගාධයට ගෙන යන්නේ ඒ මහත්වරුන්ය. කැලෑ කපන්නේ හෝ කැලෑ වවන්නේත් ඒ මහත්වරුන්ය. මේ දූපත චීනයට හෝ ඉන්දියාවට විකුණා මහ බැංකුවට මුදල් සොයා දෙන්නේත් ඒ මහත්වරුය. මෙකී නොකී මහත් කටයුතු රුසක් කරගෙන යාමට සිටින පිරිසකට කොරෝනා ආසාදිත වීම ගැන සතුටු විය හැක්කේ කුමන ආකාරයේ පුරවැසියකුටද? තවත් සමහරු ඒ මහත්වරුන්ගේ අවසාන කටයුතු ගැනද කතාබස් වෙති.

මේ සියලු නින්දා අපහාස, ශෝකාලාප, අනාගත වාක්‍ය ආදියෙන් ඒ ප්‍රභූ ජනයා ගලවා ගැනීම සඳහා හැකි ඉක්මනින් කොවිඩ් එන්නත් 250ක් හෝ සිරිලංකාවට (දියවන්නාවට) ගෙන්වා ගත යුතුය.

මක්නිසාද යත් දියවන්නා මහත්වරුන්ට කිසියම් විපතක් සිදුවුවහොත් එය මුළු රට ජාතියටම බලපාන නිසාය. පොදු ජනතාව නමැති දෙපිටකාට්ටු, කයිවාරුකාරයන්ට රටක් පාලනය කිරීමට තබා රටකට සුදුසු පාලකයන් පත් කිරීමටවත් නොතේරේ. තමන්ට අවස්ථාවක් ලැබෙන හැම වාරයකම ඔවුහු අනාගනිති. ඉන්පසු අනාගන්නවා යැයි අනුන්ට බැණ වදිති.

මා මිත්‍ර වාසිබෝලන්ත මාධ්‍යවේදියකු පැවසූ අන්දමට ඔවුන්ගේ රටේ ජනතාවගේ ප්‍රතිශක්තිය ටෙස්ට් කිරීම සඳහා කොරෝනා රටවලින් සංචාරකයන් ගෙන්වන්නේ නැත. ඒ වෙනුවට කරන්නේ වසරකට දෙතුන් වතාවක් රට සවාරි යන දේශපාලනඥයන්ව කොරෝනා රටවලට යැවීමය.

රට ජාතිය වෙනුවෙන් දිවි පිදීමට වුවත් පසුබට නොවනබව ප්‍රසිද්ධියේ පවසන දේශපාලන මහත්වරුන්ගෙන් සිරි ලංකාවටද අඩුවක් නැත. මෙය ඔවුන් යොදාගනිමින් ප්‍රතිශක්ති පරීක්ෂණ විදේශ චාරිකා වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ඉතා සුදුසු කාලයකි. එමගින් සිරි ලංකාවේ ජාතික වීරයන්ගේ නාමාවලිය තව දිගු කර ගැනීමටද අවස්ථාව සැලසෙනු ඇත. (ඔවුන් කොරෝනා විරුවන් යනුවෙන් හැඳින්විය හැකිය)

මගේ වාසිබෝ මිත්‍රයා පවසන අන්දමට කොරෝනාව සුනාමියටත් වඩා සාධාරණය. ප්‍රජාතන්ත්‍රවාදීය. එය උස් පහත්කම්, දුප්පත් පොහොසත්කම්, තාරාතිරම් නොතකයි. මුලින්ම බැටදීමට පටන් ගත්තේ මහ ජාතියෙන් සිටි රටවලටය. ස්වර්ගයේ දොරටු දිවා රූ දෙකේම විවෘතව තබන්නට සිදුවූයේ එහෙයිනි.

හෘදයාබාධයකින් මියගිය සිරි ලාංකිකයෙක් ස්වර්ගයට ගියේය. ප්‍රධාන දොරටුවේ සිටි ආරක්ෂක දෙවියා, ඔහුට පසෙක ඇති දැන්වීම් පුවරුවක් දැක්වීය. එහි මෙසේ විය. යුක්රේනියානුවන් ස්වර්ගයට බාර ගනු නොලැබේ.
සිරි ලාංකිකයා පුදුමයට පත්විය.

දෙයියනේ! ඒක මට අදාළ  නෑනෙ. මම  සිරිලාංකිකයෙක්නෙ?

ඒක ගිහින් කියනවා, ඔහෙලගෙ සංචාරක ඇමැතිට. දෙවියා ගුගුළේය.

මට දැන් ලංකාවට යන්ඩත් බෑ. ස්වර්ගෙ ඉන්ඩ දෙන්නෙත් නෑ. මේක හරි අසාධාරණයිනෙ.

මට ඔහේව යුක්රේනයටනං යවතෑකි. සිරි ලාංකිකයො බාර ගන්නෙ එහෙට විතරමයි.

වෙන කළ හැකි දෙයක් නැති තැන සිරි ලාංකිකයා ස්වර්ගයේ සිට යුක්රේනියාවට ගියේය. එහිදී ඔහු පිළිගැනීමට ආවේ ප්‍රකට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකි.

මල්ලි, ඔයා මගෙ පොකුරට එනවද මෙයාගෙ පොකුරට යනවද? මගෙ පොකුරට ආවොත් දුර ගමනක් ගියෑකි. එක් අයෙක් පැවසීය. අනෙකාද කතා කළේය.

මල්ලි, ඔයා මගෙ පොකුරට ආවොත්. මිග් යානයක නග්ගල ගෙදර යවනව.

සිරි ලාංකිකයා අන්දමන්දව බලා සිටියේ ඒ පුද්ගලයා කවරෙකුදැයි සැකහැර දැනගනු පිණිසය.

 කපිල කුමාර කාලිංග