2021 ජනවාරි 16 වන සෙනසුරාදා

එන්නතට විරෝධයක්!

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

සිකුරාදා උදෑසන රොබින් කන්තෝරුවට ආවේ කොරෝනා පොසිටිව් වූ කාලෙක මෙන් බය බිරාන්තවය. සාමාන්‍යයෙන් සිකුරාදාට අපේ කන්තෝරුව තුළ පවතින්නේ හැපි මූඩ් හෙවත් සතුටුදායක මානසික තත්ත්වයකි. පරිගණක අංශයේ මොරීන්ගේ භාෂාවෙන් කියනවා නම් තෑන්ක් ගෝඩ්, ඉට්ස් ෆ්‍රයිඩේය.

වැඩකරන දින පහක කලබලය සිකුරාදායින් නිමාවෙයි. ඉන්පසු එළඹෙන්නේ විවේකී සති අන්තයයි. රොබින්ද සිකුරාදාව එනතෙක් ඇඟිලි ගනිමින් සිටින්නෙකි. එසේ තිබියදී ඔහු මෙසේ මුහුණ කමිස සාක්කුවේ දමාගෙන සිටීම කිසිවකුට දිරෙව්වේ නැත.

රොබින්, මොකද ඕයි තමුසෙට වෙලා තියෙන්නෙ? ජයසේන ඇසුවේය.

අර එන්නත එනවලු නේද සර්?

මොන? කොරෝනා එන්නත?

ඔව්. බ්‍රුන්ඩික්ස් එකෙනුත් ඩොලර් මිලියන ගාණක් සල්ලි දෙනවලු ඒක ගෙන්නන්න.

ඔව්... ඔව්... ඉතින් හොඳයිනෙ. අපි සල්ලි නැතුවනෙ හිටියෙ ඕක ගෙන්න ගන්න.

ඔව්... ඔව්.... මුල් වටේදී තිස්හතර ලක්ෂෙකට දෙන්ඩ යනව කියලා පත්තරේ මුල් පිටුවෙම තිබුණෙ.

එසේ කීවේ දවසින් වැඩි කොටසක් පත්තර කියැවිමේ යෙදෙන සලකසූරියය. 

රොබින්ගේ මුහුණ තවමත් සාක්කුවේය.

මොකද රොබින් අප්සෙට් එක. මොරින් ඇසුවාය. එවර රොබින් ජයසේන ළඟට කිට්ටු කළේය.

සර්... ඒ එන්නත ගැහුවට පස්සෙ මාස දෙකක් මතට තිත තියන්න ඕනෙලු.

මළ කෙළියයි! තමුසෙ කොහොමද ඒක දන්නේ. රොබින්ද ඇතුළත් කන්තෝරුවේ බී කමිටුවේ (බොන කට්ටිය) කැපී පෙනෙන සාමාජිකයෙකු වන ජයසේන හිසේ අත ගසා ගත්තේය.

පත්තරේ තිබුණෙ.

බලනවකො අයිසෙ. මුන් මාධ්‍ය නිදහස අයුතු විදිහට පාවිච්චි කරන හැටි.

ජයසේනද මුහුණ එල්ලා ගත්තේය. නරක ආරංචි පැතිර යාමට ගතවන්නේ සුළු මොහොතකි. බී කමිටුව එක තැනකට රැස්වුණි. විවිධ අදහස් පළවුණි.

මම මුල ඉඳලම කිව්වනෙ ඔය මළඉළව් එන්නතේ අතුරු ආබාධ තියෙන්න පුළුවන් කියලා. සිරිල් කම්පිත හඬින් කීය.

අපේ ගෙදර උන්දැ හෙට කිරිබත් උයයි ඕක දැනගත්තොත්. මත්ලෝලී ප්‍රියලාල් ද කීවේය.

නොදකින් විතරක්, තටමල තටමල හොයාගත්තු එන්නතේ හැටි. තවත් කවුදෝ කෝපයෙන් පැවසීය

මාස දෙකක් කියන්න සති අටක්... මං ජීවිතේ කවදාවත් එච්චර කාලයක් නොබී ඉඳල නෑ. කොරෝනා මුල් වටේදිත් පෙරාගෙන හරි බිව්වා... ප්‍රියලාල් යළිත් කතාවට එක්වුණේය.

මීට වඩා හොඳයිනෙ කොරෝනා හැදිලා කොරන්ටයින් වෙලා හිටියනං.

මාස දෙකක් අමද්‍යපව ඉන්න ගිහින් අපිට වෙන ලෙඩක් හැදෙයි. විවිධ අදහස් මතුවෙයි.

හැම මඟුලටම කටදාන්න සංගම් ඉන්නවා. මේ වගේ වැදගත් ප්‍රශ්නයක් ගැන කතා කරන්න  එකෙක්වත් නෑ.

අපි මේක හරීන්ටවත් කියල බලමුද... මිනිහනං ඕන එකයි, එපා එකයි දෙකටම කට දානවා.

එපා... එපා... එතකොට මෑන්ස් කියයි එන්නත හොඳ නැති විත්තිය. එයාගේ තාත්තා කලින්ම කියල තිබුණා කියලා

ඔව්... මේකට දේශපාලනේ ගාව ගන්නම හොඳ නෑ.

කමිටුව මොහොතක් කල්පනාවෙහි යෙදුණහ. නිහැඬියාව බිඳිමින් සකලසූරිය කතා කළේය.

බලං ගියාම පැණිය හොඳයිනෙ. ෂැන්ඩියට වුණත් ගතෑකි. බ්‍රුන්ඩිය වගේ තියෙයි. නෝ ආෆ්ටර් ඉෆෙක්ට්ස්.

ඒකනෙ, පැණිය වටේ ඇඹලයො වගේ පොරකන්නෙ. ඒ කතාවට කවුරුත් සිනාසුණේ. පැතිර තිබූ එන්නත් ආතතිය තරමක් තුනි කරවමිනි.

දැන් අපි කරන්න ඕනෙ මේ එන්නතෙන් ගැලවිලා ඉන්න වැඩපිළිවෙළක් හොයාගන්න එක. සකලසූරිය කීවේය.

අපි රටේ තැන තැන එන්නත් විරෝධී පොකුරු හදමු. ජයසේන යෝජනාවක් ගෙන ආවේය.

නියමයි! ඒ පොකුරු එකතු කරල, මහ පොකුරක් හදලා, ගෝල්ෆේස් ගිහින් ලොකු උද්ඝෝෂණයක් කරමු. සකලසූරිය යෝජනාව ස්ථීර කළේය.

ඈතට වී බලා සිටි මොරීන් සභාව මැදට පැමිණියාය.

මට ඇහුණා ඔයගොල්ලන්ගෙ කතාව. එන්නත ගහගත්තෙ නැතුව කන්තෝරු එන්නද හිතන්නෙ? ගේට්ටුවෙන් මේ පැත්තට ගන්න එකක් නෑ.

එහෙම කොහොමද? එන්නත නොගහා ඉන්න එකත් මානව අයිතිවාසිකමක්. සකලේ කීය.

ඔහෙලගෙ බේබදුකම නිසා, කැඩෙන්නෙ අපේ මානව හිමිකම්.

මොරීන් තදින් කියමින් ඉවතට ගියාය. කමිටුව මොහොතක් නිහඬ වුණි.

එන්නතට විකල්පයක් ඇත්තෙම නැද්ද? සකලේ වටපිට බැලීය.

සර්, අපි කලින්ම කොරෝනා හදාගෙන, හොඳ කරගමු. එතකොට ආයෙ එන්නත ගහන්න ඕනෙ නෑනෙ.

රොබින්ගේ යෝජනාව ඒකමතිකව සම්මත විය. සිරි ලංකාවේ රටේ වෙද්දුන්ට නැවත වරක් අවස්ථාවක් උදා වී ඇත. එනම්, මත්පැනට ඔරොත්තු දෙන ලෝකල් එන්නතක් සොයාගැනීමය. ඒ ලබාගැනීමට හැදෙන පෝලිම දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාම දිගු වෙනවාට සැක නැත.

කපිල කුමාර කාලිංග