2021 ජනවාරි 09 වන සෙනසුරාදා

නත්තල් සීයලා දෙන්නෙක්

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

දෙසැම්බර් 31දා, මිතුරකුගේ නිවෙසේ තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වූ මම, පා ගමනින්ම නිවෙස බලා යමින් සිටියෙමි. එවිට මධ්‍යම රාත්‍රිය ද ඉක්මවා ගොස් තිබුණි. පරිසරය පුරා සිහින් මිහිදුමක් පැතිර තිබූ අතර, ඈත අහසේ තරුවක් දෙකක් යාන්තමට දිස්වුණි. එක්වරම මග අසලින් සිහින් කෙඳිරියක් හා කැස්සක් ඇසුණෙන්, මම මොහොතකට නැවතී එදෙස බැලුවෙමි.

අතහැර දමන ලද, පාළු නිවෙසක් ඉදිරියේ මහළු පුද්ගලයෙක් හිඳ සිටී. එක්වරම, මම ඔහු හැඳින ගතිමි. ඒ, අන් කවරකුවත් නොව, ලෝක ප්‍රසිද්ධ සැන්ටා ක්ලෝස් නොහොත්, නත්තල් සීයාය.

මා, ඔහු දැකීමෙන් මහත් පුදුමයට පත්වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. අනෙක් අතට, නත්තල් සීයා, දෙසැම්බර් 25න් පසු, ආපසු යාම සාමාන්‍ය සිරිතය. මාසය අවසාන වන තෙක්ම, මෙසේ තැන තැන අගුපිල්වල ලැගීම ඔහුට තරම් නොවේ.
මා තුළ එක්වරම සැකයක් උපනි. මොහු සැබෑ නත්තල් සීයා නොවිය යුතුය. කාර්යාලයක හෝ වෙනත් ආයතනයක, ප්‍රමාද වී පැවැත්වෙන නත්තල් උත්සවයකට සහභාගිව යන බීමත්, ලෝකල් නත්තල් පප්පකු විය යුතුය. නත්තල් කාලයේදි මෙවැනි කුලී සැන්ටලා, ලොකු සාප්පු ඉදිරියේද දක්නට ලැබෙයි.

නැවතත් කෙඳිරියක් නැගුණි. කළ හැකි කිසියම් උපකාරයක් වේදැයි විමසනු පිණිස, මම නත්තල් සීයාට ළං වූයෙමි.

මොකද නත්තල් සීයෙ මෙතන කරන්නෙ. අසනීපයක්වත්ද?

ෂ් ෂ්.. සද්ද කරන්න එපා. මගෙ මේ ආතරයිටිස් අමාරුව නිසා, දණිස් කැක්කුම අල්ලනවා.. ටිකක් විවේක ගන්නයි මෙතන නැවතුණෙ.

මේ ටිකේ ලොකු රවුමක් යන්ඩත් ඇතිනෙ නේද?

අපොයි නෑ. මේක හරිම සවුත්තු නත්තලක්. මගෙ ගමන සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා.

කොරෝනා කේස් එක හින්දද?

ඔව්.. මිනිස්සු මං ගෙනාපු තෑගිබෝග එපා කියනවා.. මගෙ ළඟ වැඩිපුරම තිබුණෙ පුංචි ළමයින්ට ගෙනාපු තෑගිනෙ.. අර, ඒවා මලු පිටින් එහෙමම..

නත්තල් සීයා දෙපසින් වූ බඩු මලු, මගේ ඇස ගැසුණේ එවිටය.

හරි අපරාදයක්නෙ.. ඇයි, සීයට ගෙවල්වලට එන්ඩ දුන්නෙ නැද්ද? කොරන්ටයින් වෙලා නෙවෙයිද ආවෙ?

මොකද නැත්තෙ, දවස් දාහතරක් කන්දකාඩු මධ්‍යස්ථානෙ ඉඳලා, පී.සී.ආර්. එකකුත් කරගෙන ආවෙ.

ඉතින් මොකක්ද ප්‍රශ්නෙ?

මේ රටේ මිනිස්සු පුදුම දේවල්නෙ මගෙන් ඉල්ලන්නෙ.

ඇයි, මොනවද ඉල්ලන්නෙ?

කොරෝනා පැණිය ගෙනාවද අහනවා.. මගෙ ළඟ කොහෙද පැණි?

පිස්සුනෙ මුන්ට! වෙන මොනවද ඉල්ලුවෙ?

එන්නත් තියෙනවද අහනවා.. කොවිඩ් එන්නත. ඒක මං ඇහැටවත් දැකල තියෙනවයැ.

ඒක නං, ලබන නත්තලටවත් ලංකාවට එයිද කියන්ඩ නෑ. ඉතින්, වෙන මොනවද ඉල්ලන්නෙ?

කහ තියෙනවද කියල අහනවා.

කහ..?

ඔව් ඔව්... අමු කහ හරි, වේලපු කහ හරි, කහ කුඩු හරි..

අපොයි, කහ කොහෙන් හොයන්නද මේ දවස්වල.. හරියට, කළුනික වගේ. තිබුණත්, රත්තරන් වගේ ගණන්.

මම දන්නෙ නෑනෙ ඒ විත්තියක්. දන්නව නම්, කොහෙන් හරි කහ ගෝනියක් අරන් ඇවිත් බෙදන්න තිබුණා, ඕන තරම් කහ ගනිල්ලා කියලා.

වෙන මොනවද සීයගෙන් ඉල්ලුවෙ?

රුපියල් පන්දාහ ගෙනාවද අහනවා.

අම්මට සිරි! සල්ලිත් ඉල්ලුවද?

ඒකනෙ කියන්නෙ, මම කවදාවත් කරපු වැඩක්යැ, සල්ලි බෙදන එක.

ඡන්දයක් කිට්ටුවෙනකොට තමයි, පන්දාහවල් බෙදන්නෙ. දැන් මිනිස්සු ඒකට පුරුදු වෙලා. ඒකනෙ නත්තලටත් බලාපොරොත්තු වෙන්නෙ.

එහෙමද? ඒක නං එච්චර හොඳ පුරුද්දක් නෙවෙයි නේද?

කොහොමත්, මේ පාර නං පන්දාහක් නෙවෙයි, පන්දාහේ ඒවා පහක්වත් දෙන්ඩ වෙයි.

අනේ පුතා, බොහොම ස්තූතියි, මාව දැනුවත් කළාට.. මට තව එක දෙයක් දැනගන්න ඕනෙ.

මොකක්ද සීයේ?

මට ආපහු යන්න හොඳ එයාර්පෝට් එක මොකක්ද? මත්තලද? කටුනායකද?

මත්තල  පැත්තෙ යන්න එපා සීයෙ. එහෙ කොරෝනා යුක්රේන්කාරයො වගයක් බැහලනෙ.

මා කියූ දෙය, නත්තල් සීයාට පැහැදිලි නොවූ බව පෙනුණත්, ඔහු ඒ ගැන හාරා අවුස්සන්නට නොගොස්, කටුනායකින් ගුවන්ගත වීමට තීරණය කළේය. බෙදන්නට ගෙනා සෙල්ලම් බඩු ඇතුළු, මලු දෙක අතිනුත්, උරිනුත් ගත් නත්තල් සීයා, හැඟීම්බර ලෙස මගෙන් සමුගත්තේය. මම ද යළිත් ගමන් කරන්නට වීමි.

මඳ දුරක් යන විටම, මා ඉදිරියට පැමිණියේ තවත් නත්තල් සීයා කෙනෙකි. මම ඔහු ඇමතුවෙමි.

සුබ අලුත් අවුරුද්දක් වේවා! මේ දැනුත් නත්තල් සීයා කෙනෙක් මුණගැහුණා.. කොහෙද මේ අවේලාවෙ යන්නෙ?

මම.. මම.. පොඩි ගමනක් යනවා.

නත්තල් සීයා ගොත ගැසුවේය. මට ඔහුගේ කටහඬ හොඳට පුරුදුය. ඉදිරියට අඩියක් තැබූ මම, සීයාගේ බොරු රුවුල, පහතට ඇද්දෙමි. මගේ සැකය හරිය. ඒ අපේ ....... ඇමැතිතුමාය.

මොකද සර් මේ වෙස් වලාගෙන ඇවිදින්නෙ?

නැතුව කොහොමද බං අපි පාරට බහින්නෙ.

ඇමැතිතුමා බිඳුණු හඬින් කීය. තමන්ගේ දුක් ගැනවිල්ල කියූ ඔහු, මගෙන් සමුගත්තේය. මා තුළ මහත් සංවේගයක් ඇතිවුණි. දේශපාලනඥයෝ ද මනුෂ්‍යයෝය. යනුවෙන්, පාර්ලිමේන්තුව ඉදිරිපස තාප්පයක ලියා තබන්නේ නම්, එය ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත් ගැටලුව වන්නේ, ඒ සඳහා තාප්ප සිත්තරකු සොයා ගැනීමය. 

කපිල කුමාර කාලිංග