2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

කොම්පියුටර් පරිවර්තන මහ අවුලක්!

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 204

ප්‍රවීණ පරිවර්තක සුදත් රොහාන්

සුදත් රොහාන් මුලින්ම ඉනිඩ් බ්ලයිටන්, ආර්.එල්. ස්ටයින්, රෝල් ඩාල් වැනි ලේඛකයන්ගේ කෘති පරිවර්තනය කරමින් ළමා හා යොවුන් ලෝකයට ලෝක සාහිත්‍යය විවර කළේය. ඉංග්‍රීසි ලේඛකයන්ගේ කෘති පරිවර්තනයට වැඩි රැචිකත්වයක් දක්වන ඔහුගේ අලුත්ම පරිවර්තනය එක්ස් ෆයිල්ස් කතා මාලාවයි. කෙවින් ජේ. ඇන්ඩර්සන්ගේ එක්ස් ෆයිල්ස් කෘති තුනක් මේ වනවිට ඔහු සිංහලට පරිවර්තනය කර තිබේ. ඒ මායා අග්නි, ස්වාරාක්ෂකයෝ සහ විපරීත මාරැතයයි. ඒවා සූරිය ප්‍රකාශන වශයෙන් පළකර ඇත.

• එක්ස්ෆයිල්ස් මාලා නාටකය අපේ රටෙත් රූපවාහිනියේ අතිශය ජනප්‍රිය වුණා. ඔබේ එක්ස්ෆයිල්ස් පරිවර්තන පොත්වලට ලැබුණු ප්‍රතිචාර කෙසේද?

ඇත්තටම එක්ස් ෆයිල්ස් කියන සංකල්පය අපිට මුලින්ම හමුවෙන්නේ රූපවාහිනියෙන් විකාශනය වුණු එක්ස් ෆයිල්ස් මාලා නාටකයෙන්. ඒ දවස්වල ඒක උන්මාදයක් බවට පත්වෙලා තිබුණා. ඉතින් එක්ස් ෆයිල්ස් ගැන තියෙන මතකය නිසා එක්ස් ෆයිල්ස් පොත්වලටත් හොඳ ඉල්ලුමක්, කැමැත්තක් ඇතිවුණා. ඇත්තටම මේක තමයි සම්පූර්ණ එක්ස් ෆයිල්ස් නවකතාවක් සිංහලට පරිවර්තනය වුණ මුල්ම අවස්ථාව. මීට පෙර කුඩා ප්‍රමාණයේ කථා පොත් කිහිපයක් පළවෙලා තිබුණත් ඒවා එක්ස් ෆයිල්ස් නවකතා නෙවෙයි. සමහරු පොතක සාර්ථකත්වය කියලා කියන්නේ පළවුණු අලෙවි වාර ගණනින්. හැබැයි මම ඒකට වැඩිපුරම එකඟ වෙන්නේ නැහැ. මම දකින්නේ පොතක සාර්ථකත්වය මැනෙන්න ඕනෑ ඒ ගැන පාඨකයා අතර ඇතිවෙන සංවාද විසංවාද වලින්. මෙන්න මේ මිනුම් දඬු දෙකම උපයෝගී කරගෙන මැනලා බැලුවමත් මම පරිවර්තනය කළ එක්ස් ෆයිල්ස් පොත් මාලාවේ පළමු පොත් 3ම සාර්ථකයි කියලා මට කියන්න පුළුවන්. හැබැයි අවාසනාවට කොරෝනා වසංගතය ප්‍රකාශන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරලා තියෙනවා. අන්න ඒ කාරණය නිසයි මේ දවස්වල පොත්වල අලෙවිය ගැන සතුටුදායක ප්‍රවණතාවයක් දකින්නට නැත්තේ. ඒ කාරණය එක්ස් ෆයිල්ස් පොත්වලටත් බලපාලා තියෙනවා. 

• රහස් පරීක්ෂක කතාවලට දැන් ඉල්ලුම වැඩිවෙලා ඇති බව පේනවා. ඒ ගැන කිව්වොත්?

රහස් පරීක්ෂක කතා විතරක් නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි, වැම්ෆයර් වගේ ෂානරවල පොත්වලට ඉතා දැඩි ඉල්ලුමක් ඇතිවෙලා. හැබැයි මේ ඉල්ලුමට සරිලන නියම ආකාරයේ සැපයුමක් තවම ලේඛකයාගේ පැත්තෙන් ලැබෙන්නේ නෑ කියලා මට හිතෙනවා. මේකට මූලික හේතුව විදිහට මට නම් පෙනෙන්නේ සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන අසීමිත ප්‍රචාරය. මේ ප්‍රචාරය තුළ වාසි සහ අවාසි සහගත තත්ත්වයන් ඇතිවෙනවා කියලා මට හිතෙනවා. අසීමිත ප්‍රචාරය නිසා පොත්වල අලෙවිය ඉහළ යනවා. ඒක ප්‍රකාශකයාගේ පැත්තෙන් සුබදායක තත්ත්වයක්. නමුත් අසීමිත ප්‍රචාරය නිසාම පාඨකයා මුලාවෙන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ මුලාවීම තුළ තමන් අකමැති පොතක් මිලට ගැනීමේ අවස්ථාව පාඨකයාට ලැබෙනවා වෙන්නත් පුළුවන්. අනිත් කාරණය තමයි ඔන්ලයින් පොත් අලෙවිය. මේ කාරණයේදීද ප්‍රකාශකයාට ලැබෙන වාසිය ඉහළයි. නමුත් පාඨකයාට සහ ලේඛකයාට පොඩි අවාසියක් සිදුවෙනවා.

• අවාසිය ගැන විස්තර කළොත්?

පොත් සාප්පුවක තියෙන පොතක් දැක්කම පාඨකයා ඒකේ පිටු කිහිපයක් පෙරළලා, කියවලා බලලා තමන්ගේ රුචිකත්වයට ගැළපෙනවා නම් මිලට ගන්නවා. ඔන්ලයින් අලෙවියේදී ඒ අවස්ථාව පාඨකයාට ලැබෙන්නේ නෑ. පොත් රාක්කයක පොතක් පෙරළලා බලනකොට ඒක ලියපු ලේඛකයා ගැන පාඨකයාට යම් මතකයක් ඇතිවෙනවා. අන්න ඒ මතකය ඔස්සේ ලේඛකයා ලබන ප්‍රසිද්ධිය අතිශයින්ම වැදගත්. ඇත්තටම මේ කාරණා හරිම විවාද සම්පන්නයි. 

• අපට පේනවා අද පරිවර්තන ක්ෂේත්‍රයේ සමහරු මුල් කෘතිය හෝ කතුවරයා ගැන කිසිම අධ්‍යයනයකින් තොරව ඔහේ කරන්නන් වාගේ පරිවර්තනය කරන බවක්. ඔබට එය නිරීක්ෂණය වුණාද?

බහුතරයක් නෙවෙයි. කිහිප දෙනෙක් අතින් මේ වැරැද්ද සිද්ධ වෙනවා කියලා හොඳටම පෙනෙනවා. ඒකේදී ලොකුම අසාධාරණය සිද්ධ වෙන්නේ පාඨකයාට. මොකද මුල් කෘතිය සහ පරිවර්තනය යන දෙකම කියවන ද්විභාෂා පාඨකයින් දැන් ලංකාවේ බහුලව හමුවෙනවා. පරිවර්තනය අවුල් සහගත නම් ඒ අය කරන්නේ මුල් කෘතිය කියවන එක. හැබැයි ඒකභාෂා පාඨකයින්ට සිදුවෙනවා. අර අවුල් සහගත පරිවර්තනය කියවලා සැනසෙන්න. මෙතැනදි තවත් කාරණයක් එකතු කරන්න ඕනෑ. වර්තමානයේ පරිවර්තනවලට තියෙන අධික ඉල්ලුම නිසා සමහරැ පරිගණක වැඩසටහන් යොදාගෙන භාෂාව පරිවර්තනය කරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවානේ. මේ චෝදනාව ඇත්ත නම් ඉදිරියේදී ලංකාවේ දක්ෂ පරිවර්තකයෝ බිහි නොවේවි. පාඨකයින්ට සුමට සිංහල භාෂාවෙන් පොත් කියවන්න අවස්ථාවක් නොලැබේවි. පොත් ප්‍රකාශකයෝ පමණක් ඕනෑම පොතක් ප්‍රකාශයට පත් කරලා මුදල් උපයන්න උත්සාහ ගනීවි.

• අපේ පැරණි සම්භාව්‍ය කතා පරිවර්තකයන් වූ සිරිල් සී. පෙරේරා, කේ.ජී. කරුණාතිලක, ජේ.ඊ. ගුණසේකර වැන්නන් ගැන ඔබේ අදහස කුමක්ද?

ඔවුන් ලාංකික පරිවර්තන සාහිත්‍යය ගොඩනැංවූ මුල් ගල්. ඒ මුල්ගල්වල ශක්තිය නිසයි මේ සාහිත්‍යය මෙතරම් දුරකට පැමිණ තිබෙන්නේ. ඔවුන්ගෙන් පසුව තවත් අංකුර පරිවර්තකයින් බොහෝ දෙනෙකු බිහිවුණත් නිසි ඇගයීමක් නොමැති නිසා ඔවුන් යටපත් වුණා. සමහරවිට ක්ෂේත්‍රයෙනුත් සමුගත්තා. මෙන්න මේ කාරණයට අර මම මුලින් කිව්ව අසීමිත ප්‍රචාරය කියන කාරණයත් නැවත වලංගු වෙනවා. වයින් පරණ වනවිට රසවත් වන්නා සේම පරිවර්තන ක්ෂේත්‍රයේ පතාක යෝධයින් වූ පෙරකී ලේඛකයින්ගේ කෘතිවලට මේ වනවිට නොසිතූ විරූ ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. 

• අද සිටින පරිවර්තකයන්ගේ කාර්යභාරය ඔබ දකින්නේ කෙසේද?

කවුරු මොනවා කිව්වත් වර්තමාන පරිවර්තකයින් ඔවුන්ගේ වගකීම ඉටු කරමින් සිටිනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ විශ්ව සාහිත්‍ය කෘති සිංහල පාඨකයාට සමීප කිරීම. විශේෂයෙන්ම නව පරපුරේ ඉතා හොඳ පරිවර්තකයින් කිහිප දෙනෙක් ඉන්නවා. පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා තමයි. හැබැයි මොන දේ වුණත් පරිවර්තකයා කියන භූමිකාව නිර්මාණය වෙන්නේ ප්‍රකාශකයා කියන සාධකය මතයි. පරිවර්තකයා අතින් මොනතරම් සාර්ථක, හොඳ නිර්මාණයක් බිහිවුණත් ඒකට ප්‍රකාශකයෙක් නැතිවුණොත් නිර්මාණය පළකර ගැනීමේ ගැටලු මතුවෙනවා.

 කුසුම්සිරි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00