2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

සුළි කුණාටු අවශ්‍ය කර තිබේ

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 143

බුරවි ආවේය. ගියේය. වැඩිය බිරුවේත් නැත. ඒ නිසා, සුළි කුණාටු සංදර්ශනයක් නැරුඹීමට සූදානම්ව සිටි බොහෝදෙනාගේ බලාපොරොත්තු සුන්වුණි.

"ෂිහ්... සුළි සුළඟ ආපහු ගිහිල්ලා. කිසි ගේමක් නෑ."

ත්‍රිරෝද නැවතුම්පළේ ඇන්ටන් කීවේ, මුහුණ නාලු කරමිනි.

"ඔව් බං... මං එදා බෝතලේකුත් අරං ගෙදර ගියේ, දවස් දෙක තුනක් ටී.වී.බලන්න ලෑස්ති වෙලා." විල්සන්ද ඇන්ටන්ට එකතු විය.

"කලින් කියපු පාරෙන් නෙවෙයි ඇවිත් තියෙන්නෙ. රෝන් සයිඩ් ගිහිල්ලා..." ජගත් කීවේය.

"ෂුවර් එකට ට්‍රුෆික් පොලිස්කාරයෙක් ඉන්ඩ ඇති." ඇන්ටන් සිනාසුණේය.

"මං ගේ ළඟ තිබුණු, ගස් දෙක තුනකුත් කැප්පෙව්වා. සුළි සුළඟ නිසා මට අතින් පාඩුයි." තවත් කවුදෝ කියනු ඇසුණි.

"කාලගුණේ දෙයක් කිව්වොත් ඔහොම තමයි."

ඈතින් නවතා තිබූ ත්‍රිරෝද රථයේ සිටි නීල්, පිටතට එමින් කීය. ඔක්කොම කුණු බේරුවල් බොක්කටය!

පාරේ වැටී තිබූ සිගරට් කොට ඇහිඳිමින් සිටි "නට් ලූස් සැමී"ටද මේ කතාබහ ඇසුණි. මොහොතකට නැවතුණු ඔහු ත්‍රිරෝද රියැදුරන් දෙස බැලුවේය.

"තමුසෙලට සුළි සුළඟ ගෙන්නල දෙන්ඩද?" රියැදුරෝ, සුපුරුදු ලෙස %සැමී^ට සිනාසුණහ. මානසික රෝගියකු වන ඔහුගේ කතා ඔවුනට විනෝදයකි.

"කාට කියලද ගෙන්නන්නෙ?" එකෙක් සැමී ඇවිස්සීය.

"මහා බ්‍රහ්මයාට කියලා... සුළි සුළඟ ආවට පස්සේ එපා කියන්ඩ බෑ හරිද? කොරෝනා එක අස්සෙ, තව බුරවියෙකුත් ගෙන්ව ගත්තම හොඳට තියෙයි."

සැමී උස් හඬින් කියමින්, ඔහුගේ ගෝනි මල්ල කර තබාගෙන එතැනින් පිය මැන්නේය.

ඒ පිරිසේ සිටි අයගෙන් සැබෑවටම "නට් ලූස්"ව ඇත්තේ කාහටද යන්න අමුතුවෙන් පැහැදිලි කළයුතු නැත.

බිහිසුණු සිවිල් යුද්ධයක හා කැරලි කෝලාහල කීපයක අත්දැකීම් ඇති සිරිලංකාවේ මිනිසුන්ගේ මොළයේ සංවේදී "මීටරය" දැන් ගෙවී, මොට වී ගොසිනි. කලකට ඉහත පාර අයිනේ බලු නාට්ටෙක් මැරී සිටියත්, ඒ වටා රොක්වන මිනිස්සු දැන් නැත.කොරෝනාවෙන් පසු, පාරේ වැටී සිටින කෙනෙකුටවත් ළංවන කෙනෙක් නැත. ත්‍රිරෝද භාෂාවෙන්ම කියතොත්, දැන් තිබෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටින ජාතියේ මුස්පේන්තු ආත්මාර්ථකාමී සමාජයකි.

එවැනි සමාජයක මිනිසුන්ගේ සංවේදීතාවයේ "මීටරය"ට දැනෙන්නේ බරපතළ සිදුවීම් පමණි. ඔවුන්ගේ "වාසනාවට" මෙන් එවැනි සිදුවීම්වලින්ද සිරිලංකාවට අඩුවක් නැත. ස්වභාවික ආපදාවක් හෝ දේශපාලන අර්බුදයක් නැති කළ හිරකාරයෝ හෝ ගහ මරා ගනිති. ජනතාවට "ආතල්" සපයති.

සිද්ධිය කොතරම් බරපතල වුවත්, ඒවාට අවසාන විසඳුමක් නොලැබීමද, සිරි ලාංකිකත්වයේ ලක්ෂණයකි. එවිට, හොඳ රහස් පරීක්ෂක නවකතාවක මෙන් දිගටම කුතුහලය හා සංත්‍රාසය පවත්වාගෙන යා හැකිය. නවකතාවලදී නම්, රහස් පරීක්ෂකයා කෙසේ හෝ අවසානයේ, නිගමනයකට හෝ විසඳුමකට එළඹෙයි. සිරි ලංකාවේ එසේ නොවන්නේ රහස් පරීක්ෂකයාද හිරේ යාමට ඇති බැවිනි.

සිරි ලංකාවේ මෙන් නොව, වාසිබෝලන්තයේ නීතිය එතරම් බලසම්පන්න නැත. ඒ නිසා, ඇතැම් සටකපට උදවිය, නීතියේ දෙවඟනගේ කණින් රිංගා යන බවට චෝදනා ඇත. මේ පිළිබඳව අවධානය යොමුකළ එරට මාධ්‍යවේදියෙක්, ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකුගෙන් මෙසේ ඇසුවේය.

"කිසිවෙකුට බිය නැති දෙවියකු නොයොදා සුකුමාල දෙවඟනක නීතියේ සංකේතය බවට පත්කර ඇත්තේ ඇයි?"

"නීතිඥයන් පමණක් නොව, විනිසුරුවන් පවා, ඇයට හිස නමන නිසා."

"දෙවි කෙනෙකු පත්කළා නම්, වෙනසක් වෙනවද?"

"නැතුව? ඒ දෙවියා, ආධුනික නීතිඥවරියකට වුණත් හිස නමයි."

කටකාර නීතිඥයා කට කොනකින් සිනාසුණේය.

නීතියේ දෙවඟන අතෙහි තරාදියක් ඇත්තේ, එයින් සාධාරණත්වය අඟවනු පිණිස මිස, ඇය වෘත්තියෙන් වෙළෙන්දියක නිසා නොවේ. සාමාන්‍යයෙන්, වෙළෙඳපොළේ ඇති තරාදි සඳහා නගර සභාවෙන් බලපත්‍රයක් ලබාගත යුතුය. නීතියේ දෙවඟනගේ තරාදියට එය අවශ්‍ය නැත. මේ නිසා, ලෝකයේ ඇතැම් රටවල "නීතියේ තරාදි", කල් ඉකුත්ව, මළ කෑ ඒවා බවටද චෝදනා ඇත. එබඳු තරාදියක් නිසා, නීතියේ දෙවඟනට වුව පිටගැස්ම හැදීමට ඉඩ ඇත.

නීතියේ දෙවඟනගේ දෑස් වැසෙන සේ, රෙදි කඩක් බැඳ තිබීමෙන් අදහස් කෙරෙනුයේ, ඇය අන්ධ බවක් නොව, බලය, ධනය, ජාතිය හෝ ස්ත්‍රී පුරුෂ භේදය නොසලකන බවය. එහෙත්, වර්තමානයේ නම් එය විනිවිද පෙනෙන සුළු දුහුල් රෙදිකඩකැයි සමහරු සැක උපදවති.

සුළි සුළඟෙන් තල්ලු වී, වැරදි පැත්තකට ගිය බව හැඟෙන හෙයින්, මම නැවතත්, මුල් කතාබහට හැරෙමි. සුළි සුළං සඳහා නම් යෙදීම, ලෝක කාලගුණ සංවිධානය මගින්. කලින් කලට, එක් එක් රටවලට පවරාදෙන කටයුත්තකි. මෙවර "බුරවි" යන නම යෝජනා කෙරුණේ මාලදිවයිනෙනි. එහි "දිවෙහි" බසින් "බුරවි" යනු "කළු කඩොලාන" (Black Mangrove) ය.

ඉදිරයේ එන සුළි කුණාටු සඳහා සිරි ලංකාවෙන්ද නම් යෝජනාවීමට නියමිතය. ඒ සඳහා පුවත්පතක් මගින් පාඨකයන්ගෙන් අදහස් විමසූ අවස්ථාවේ බොහෝ දෙනෙකු යෝජනා කර තිබූ නම මෙසේය. "භාර්යා"

 කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00