2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

කොහේ ගියත් හිරේ!

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 153

ලෝක විවාහක දිනය යනුවෙන් දිනයක් ඇතැයි කියන නමුදු, මට ඒ පිළිබඳ කිසිදු දැනීමක්, හැඟීමක් නැත. දිගු කලක් විවාහකයකු වශයෙන් ජීවත්වන බැවින්, ඒ පිළිබඳ හැඟීමක් ඇතිවන්නේ ද නැත. කොටින්ම, මට මා විවාහ වූ දිනයවත් මතකයට නගා ගත නොහැක. 

කෙසේ වෙතත්, ලෝකයේ ඇතැම් රටවල විවාහකයෝ, එම දිනය සමරති. වාසිබෝලන්තයේ පැවති විවාහක දින උළෙල ඇරඹුණේ, විනාඩි තුනක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙනි. තවත් රටක, එම උළෙල පවත්වා තිබුණේ, අඹු-සැමියන් වෙන් වෙන්ව, දෙතැනක රුස්වීමෙනි. එහි අරමුණ වූයේ, එම දිනය හෝ සාමකාමීව ගත කිරීමය.

විවාහක දින උත්සවවල, ජනප්‍රියම දේශකයන් වන්නේ, අවිවාහක තරුණයන්ය. ඔවුන් විසින් පවත්වන ලද දෙසුම්, එකතුකොට, ග්‍රන්ථයක් පළ කෙරුණු අතර, එහි නම වූයේ, විවාහය පිළිබඳ සුරංගනා කතාය. ඇත්තෙන්ම, ලෝකයේ බොහෝ මිනිසුන්, විවාහය පිළිබඳව කතා කරන්නේ ද, සැලසුම් හදන්නේ ද, විවාහ වීමට පෙරය.

ඉන්පසු එළඹෙන්නේ දීර්ඝ නිශ්ශබ්ද යුගයකි.

වළක වැටීම මොළයට හොඳ යැයි කියමනක් ඇත. ඒ අර්ථයෙන් ගත් කල, විවාහ ජීවිතයට එළඹීම ද වළක වැටීමකි. ලෝකයේ විසූ විවිධ බුද්ධිමතුන් හා ප්‍රකට පුද්ගලයන් විසින්, විවාහය පිළිබඳ අගනා අදහස් පවසා ඇති අතර, විවාහයට පෙර, විවාහ අපේක්ෂකයන් විසින් ඒවා කියවා බලා වටහා ගැනීම ඉතාම ප්‍රයෝජනවත්ය. එවිට, ඔවුනට, විවාහ රෙජිස්ට්‍රාර් නමැති සිත් පිත් නැති පුද්ගලයා හමුවට යාමට, සුළු වේලාවකට පෙර හෝ සිහි එළවා ගැනීමට අවස්ථාවක් උදා වේ.

විවාහය පිළිබඳව, මගේ සිතේ රැඳී ඇති රුවන් වැක කිහිපයක් මෙසේය.

ඔබට හොඳ බිරිඳක් ලැබුණහොත්, ඔබ ඉතා ප්‍රීතිමත් මිනිසකු වනු ඇත. එසේම, ඔබට නරක බිරිඳක් ලැබුණහොත්, ඔබ දාර්ශනිකයකු බවට පත්වනු ඇත.- සොක්‍රටීස්

විවාහයෙන් පසු, සැමියා සහ බිරිඳ එකම කාසියක දෙපැත්ත වනු ඇත. කිසිම විටෙක ඔවුහු එකිනෙකා නොදකිති. එහෙත් එකට ජීවත් වෙති.- අල් ගෝර් (අමෙරිකානු උප ජනාධිපතිවරයෙකි.

මා මගේ බිරිඳට වචන කිහිපයකින් කතා කළ විට, ඇය මට ඡේද කිහිපයකින් පිළිතුරු දෙයි.- බිල් ක්ලින්ටන්

හොඳ බිරිඳ, තම සැමියාට සමාව දීමට මැළි නොවන අතර, ඒ ඈ අත වරද පවතින අවස්ථාවලය.- බැරක් ඔබාමා

පුදුමයකට මෙන්, මගේ මතකයට නැගුණු රුවන් වැකිවලින් තුනක්ම, ලෝකෙට ලොක්කන්ව සිටි අමෙරිකානු ජනාධිපති හා උප ජනාධිපතිවරුන්ගේය. ජනාධිපතිවරණ රැස්වීම්වලදී, තම බිරිඳ ද ළඟින්ම තබාගැනීම, එම අපේක්ෂකයන්ගේ සිරිතය. ඩොනල්ඩ් ට්‍රම්ප් ද එසේම ක‍ළේය. එහෙත්, ඔහු පරාජයට ළඟාවත්ම, ට්‍රම්ප් ආර්යාව, කියා සිටියේ, ඇය ඔහුගෙන් දික්කසාද වීම, ජනාධිපතිවරණයේ අවසානය තෙක් කල් දමා තිබූ බවය.

ළඟදීම, ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ද, විවාහ ජීවිතය පිළිබඳ වටිනා අදහස් දැනගැනීමට හැකිවනු ඇත. සමහර විට, ඒ ඔහු, තම ජීවිත කාලය තුළ පවසන බුද්ධිමත්ම අදහස වීමට ද ඉඩ ඇත.

ඇතැම් පුද්ගලයන්, විවාහයෙන් පසුව හෝ විවාහ ජීවිතය ගැන විවෘතව කතා කිරීමට පසුබාති. එනිසාදෝ, තම අදහස් පවසන තැනකදී වුව නිර්නාමිකව සිටිති. පහත දැක්වෙන්නේ, එබඳු විනීත, විවාහකයන් දෙදෙනකුගේ ප්‍රකාශයන්ය.

විවාහ ජීවිතය යනු, විශාල වනාන්තරයක් බඳුය. එහිද නිර්භීත සිංහයෝ වෙසෙති. එහෙත් උන්, සුන්දර මුවැත්තියන්ට ගොදුරු වෙති.

ප්‍රේම කරන කාලයේ, බොහෝ පුදුමාකාර දේවල් සිදුවන අතර ඉන් ඔබ කුල්මත් වෙයි. විවාහ වූ පසුව ද බොහෝ පුදුමාකාර දේවල් සිදුවනු ඇති අතර, ඉන් ඔබ බියපත් වෙයි.

වාසිබෝලන්තයේ, විවාහක දින උළෙලට සමගාමීව, දිගු කලක් විවාහ ජීවිතය ගත කළ, යුවල කිහිපයක් තෝරාගෙන ඔවුනට උපහාර පිදීම ද සිදු කෙරුණි. පළමු තැන හිමිවූයේ, අවුරුදු 75ක් විවාහ ජීවිතය ගතකොට, දියමන්ති ජුබිලිය ද සැමරෑ යුවලකටය. උපහාර ප්‍රදානයේ දී, මාධ්‍යවේදීහු, ඔවුන්ගේ දිගු විවාහයේ පදනම කුමක්දැයි විමසූහ. පිළිතුර ඉතා අවංක විය.

අපි දෙන්නම ජීවත් වුණේ වෙන වෙනම ගෙවල් දෙකක. දිස්ත්‍රික්ක දෙකක.. බැන්ඳට පස්සෙ, මුණගැහුණෙ අද තමයි.

උත්සවයේ වැඩ කටයුතු ද එතැනින් අවසන් වුණි.       

වෙඩින් රින්ග් නොහොත් මඟුල් මුදුව යනු, ලෝකයේ ඇති කුඩාම මාංචුව යැයි කියමනක් ඇත. එසේම, විවාහ ජීවිතය යනු දින නියමයක් නැති සිර දඬුවමකි. යනු, තවත් කියුමකි. ස්වර්ගයට ගියත්, අපායට ගියත් මේ හිරයේ වෙනසක් නොවේ.

කොරෝනාවෙන් මියගිය ප්‍රංශ, ඉතාලි, චීන ජාතිකයෝ තිදෙනෙක්, ස්වර්ගයට ගියහ. මුල් දිනයේ තම තමන්ට ලැබුණු මහල් නිවාස වෙත යමින් සිටි ඔවුනට, මග හරහා තිබූ චතුරශ්‍රයක් පුරා සිටි ලක්ෂ සංඛ්‍යාත තාරාවුන් දක්නට ලැබුණි. මග අසල සිටි ආරක්ෂක නිලධාරියෙක්, මෙසේ කීය.

පරිස්සමින් යන්න. තාරාවුන් පෑගීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.

මුලින් ගිය ප්‍රංශ ජාතිකයාට තාරාවෙක් පෑගුණි. ඒ සැණින්ම ඇමේසන් වනාන්තරයේ, ගෝත්‍රික තරුණියක් ඔහුගේ අතේ එල්ලුණි. දඬුවම එයයි. ඒ විරෑපී කත, ස්වර්ග රාජ්‍යයේ දී ඔහුගේ බිරිඳයි.

ඉතාලි ජාතිකයාට ද තාරාවෙක් පෑගුණි. ඒ සැණින්ම, තරබාරු නීග්‍රෝ කතක් ඔහුගේ ඉණ වටා අත දමා ගත්තාය. ඒ ඔහු ලද දඬුවම් බිරිඳයි.

චීනා, කල්පනාවෙන්, පියවර තැබූයෙන්, තාරවුන් නොපාගාම තම නිවෙසට ගියේය. මාසයකට පසු, ආරක්ෂක නිලධාරියා විසින් කැඳවාගෙන ආ ඉතා රෑමත් තරුණියක්, කනස්සලු මුහුණින් යුතුව, චීනා පසෙකින් හිඳගත්තාය. චීනා මහත් සතුටට පත්වුණි.

ඔයා වගේ ලස්සන බිරිඳක් ලැබීම මගේ පෙර පිනක් වෙන්න ඇති. නේද සුදූ?

යනෝයි යන්ඩ! මට අර වල් තාරාවෙක් පෑගුණා, පෙර කරුමෙකට!

රූමතිය දත්මිටි කෑවාය. චීනාගේ මුහුණ බෙරි වුණි.

කපිල කුමාර කාලිංග