2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

දරුවන්ගේ අධ්‍යාපනයට බාධා

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා තමාට සම රාශි භවනක් වූ වෘශ්චික රාශියට 2020 නොවැම්බර් මස 28 වැනි ශනි දින පාන්දර 7 පසුවී විනාඩි 4ට පිවිසේ. එසේ පැමිණ බ්‍රහස්පතිට අයත් විසා නැකතේ 4 වැනි පාදයෙන් හා සෙනසුරුට අයත් අනුර නැකතේ සම්පූර්ණවත්ව හා බුධටම අයත් දෙට නැකතේ සම්පූර්ණවත් ගමනින් දෙසැම්බර් 17 ගුරු දින උදේ 11 පසුවී විනාඩි 37 දක්වාම මෙසේ බුධ වෘශ්චිකයේ ගමන් කරනු ඇත.

බුධ වෘෂ්චික රාශිගත වීම ආරම්භයේදී ඇතිවන බලපෑම නිසා ගෙවතු වගාවලට මහජනයා වැඩි වශයෙන් උනන්දුව දක්වන කාලයක් වුවද එම ගොවිතැන්වලට හානි ඇති වීමෙන් වගා විනාශ වීම්ද සිදුවනවා ඇත. අධ්‍යාපන කටයුතු පිළිබඳව විවිධ පාර්ශවවලින් දෝෂාරෝපණ ඇතිවීමත් දූ දරුවන්ට අයහපත් බලපෑම් ඇතිවීමත් සිදුවන කාලයකි. රජයේ ප්‍රධාන ආයතන ආශ්‍රිතව අයහපත් බලපෑම් හා අශුභ සිදුවීම් ද ඇතිවන වකවානුවක් වේ. රජයේ ප්‍රධානීන්ට හා විවිධ ආයතන ප්‍රධානීන්ට දෝෂාරෝපණ ඇතිවීමෙන් ගැටලු සිදුවන සමයකි.

මීළඟට ඔබට.

මේෂ - ස්නායු රෝග

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධාවීම් ඇතිවනු ඇත. ලියකියවිල්ලකට අත්සන් තැබීමකින් කරදරයට පත්විය හැකි බැවින් පරිස්සම් වන්න. ස්නායු ආශ්‍රිත රෝග පීඩා ද මතුවනු ඇත.

වෘෂභ - ව්‍යාපාරවලට යහපත්

අන් අයගේ උදව් උපකාර අත්වන කාලයක් වන අතර පදිංචි ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න ද මගහැරී යනු ඇත. පවුල් කටයුතු හා ව්‍යාපාරික කටයුතු ආරම්භයට යහපත් වන කාලයක් වේ.

මිථුන - ඥාති ප්‍රශ්න

නෑදෑයන්ගෙන් ප්‍රශ්න ඇතිවන කාලයක් වේ. ඔබගේ කටයුතු අඩපණ වන සමයකි. කෙටි ගමන් යෙදෙන අතර ස්නායු රෝග පීඩාවන් ද ඇතිවනු ඇත.

කටක - සිත් අමනාපකම්

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වන අතර හිත මිතුරන්ගෙන් උදවු උපකාර ද අත්වනු ඇත. තමා සමඟ ආදර බැඳීමකින් සිටි අය සමඟ සිත් අමනාපකම් ඇතිවීමක් ද සිදුවන කාලයකි.

සිංහ - අලුත් ඉඩකඩම්

තම මතයට කටයුතු කරන කාලයක් වේ. අලුතින් ඉඩකඩම් මිලදී ගැනීමටද ශුභ කාලයක් වේ. පවුල් දිවියේදී සමගිය වර්ධනය වන අතර සිතේ සතුට ඇති වන සමයකි.

කන්‍යා - නව නිර්මාණ

නව නිර්මාණ බිහිකිරීමට යහපත් වන කාලයක් වේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ද ශුභ වනු ඇත. ස්නායු රෝගවලින් පීඩා විඳින අය පරිස්සම් විය යුතු සමයක් වේ

තුලා - ආර්ථික වාසි

තමාට පක්ෂපාති අය වැඩිකර ගත හැකි කාලයක් වේ. ආර්ථික වාසි අත්වන නමුත් තම කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති වනු ඇත. උණ රෝග මතු වන කාලයක් වේ.

වෘශ්චික - තුවාල පීඩා

ඔබගේ කටයුතු ඉටුකරගත හැකි කාලයක් වේ. හදිසි තුවාල පීඩා ඇතිවීම ද වනු ඇත. අන් අයට ප්‍රිය වන අතර තමන්ගේ නිවසේ අලුත්වැඩියා කිරීමකට ද ශුභ වන කාලයකි.

ධනු - ස්ථාන මාරු

සේවා ස්ථානයෙන් ස්ථාන මාරුවක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි කාලයක් වන අතර සමහර අයගේ ක්‍රියා නිසා තමාගේ දියුණුවට බාධා එල්ල වනවා ඇත.

මකර - සමාජ සේවා

සිතමිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. ලැබීම් මාර්ග ඇතිවන කාලයක් වන අතර සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල ප්‍රයෝජන වෙනවා ඇත.

කුම්භ - දරුවාගේ ජයක්

තමාගේ සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරී යන කාලයක් වේ. තම දරුවකුගේ ජයග්‍රහණයක් නිසා සතුට ඇති කරනු ඇත. තම පවුලේ නෑදෑයන්ගෙන් දුරස් වී සිටින සමයක් ද වේ. ඔබට වාහනයක් හෝ ඉඩමක් මිලදී ගැනීමට ද යහපත් වන කාලයක් වේ.

මීන - හොඳ හිත් වර්ධනය

ඔබගේ යම් යම් කටයුතු අතපසුවීම් වන කාලයක් වේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ වනු ඇත. සහෝදර සහෝදරියන් සමඟ හොඳ හිත වර්ධනය වනවා ඇත.
 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00